හරිත විප්ලවයේ ප්‍රාණ ඇපයට හසුවූ දේශපාලනය සහ ලාංකික ගොවියා

664

තම ධුරයෙන් ඉවත්වූ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ගන්නා ලද පොහොර ඇතුළු සියලු කෘෂි රසායනවලට තිත තබා ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කාබනික බවට පත්කිරීමට ගන්නා ලද තීරණය තුළ කෘෂිකර්මාන්තයට හානියක් වූ බව බහුතරයකගේ මතයයි. එම හානිය තක්සේරුව පුද්ගලයාගෙන් පුද්ගලයාට, කණ්ඩායමෙන් කණ්ඩායමට, දේශපාලන පක්ෂයෙන් පක්ෂයට වෙනස්වීම ප්‍රශ්නකාරීවේ. එයට හේතුව නම් නිගමනයකට එළඹීම සඳහා පිළිගතහැකි වාර්තාද තිබිය යුතු බැවිනි. එසේ හානිවූ බවට මම ද විශ්වාස කරමි. නමුත් නිවැරදි අවසන් නිගමනයකට පැමිණීම සඳහා පිළිගත හැකි වාර්තා, එනම් භෝග වර්ගයා, කෘෂි දේශගුණික කලාප, බෝග පාලනය, එකී කාලය තුළ රජයෙන් ලැබුණු තාක්ෂණික සහය, යෙදවුම් එම කාලය තුළ දේශපාලනික බලපෑම්, පැතිරුණු කෘමි පලිබෝධ සහ රෝග ආදී තත්ත්වයන් සමඟ පිළිගත හැකි සම්පූර්ණ වාර්තාවක් නොමැතිව අවසන් නිගමනයකට පැමිණීම, උපකල්පිත මත මාධ්‍ය වෙත තොරතුරු සැපයීම, දේශපාලන වාසි තකා ප්‍රකාශ නිකුත් කිරීම තුළ සිදුවන්නේ සත්‍ය වසන්වීමයි. එය කාබනික හෝ රසායනික හෝ කිසිදු කෘෂි ක්‍රමවේදයකට වාසියක් ගෙන නොදනු ඇත. මෙම කරුණු සලකා බැලූ කල රජයේ මෙම කෘෂි රසායන තහනම තීරණය හේතුවෙන් කෘෂිකර්මාන්තයේ සිදුවූ වෙනස්වීම් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් තුළින් සපයන වාර්තාවක් අත්‍යවශ්‍ය වන අතර ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඉදිරි සැලසුම් වෙනුවෙන් එය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

● කාබනික තීරණය තෙක් පැවැති තත්ත්වය සහ ස්වයංපෝෂිත බොරුව

කාබනික තීරණය අප රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් වළ පල්ලටම යැවූ බවට දේශපාලඥයින්ගෙන් පමණක් නොව කෘෂි විද්වතුන් සමහරකගෙන්ද ප්‍රකාශ විය. එතෙක් ස්වයංපෝෂිතව පැවැති සහල් නිෂ්පාදනය පිටරටින් සහල් ආනයනය කිරීමට සිදුවන ලැජ්ජා සහගත තත්ත්වයකට පත්වූ බව සමහර කෘෂි විද්වතුන් පවා මාධ්‍ය වෙත වාර්තා කළහ. නමුත් මෙවැනි ප්‍රකාශ සහ මාධ්‍ය භාවිතය තුළින් සාමාන්‍ය ජනතාව අවුල් සහගත තත්ත්වයකට පත්වන බව මතක් කළ යුතුයි. සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව ධාන්‍යවලින් ස්වයංපෝෂිත වී සිටියා පමණක් නොව විදෙස් රටවලට ධාන්‍ය අපනයනය කරනා පෙරදිග ධාන්‍යාගාරය ලෙස නම් දරා සිටි බව ඉතිහාසයේ සටහන්වී ඇත. ඒ ක්‍රිස්තු වර්ෂ 1153 – 1186 කාල සීමාවේය.

මෙම ඉතිහාසගත තොරතුරුවලින් අපට තේරුම් යන්නේ ඈත ඉතිහාසයේ අපේ රටේ සාපේක්ෂව ඉතා දියුණු කෘෂිකර්මාන්තයක් තිබූ බවයි. නමුත් එම දියුණු කෘෂිකර්මයක් තිබූ කාලවල තිබූ පොහොර වර්ග, භෝග වර්ග, රෝග පළිබෝධ පාලනය ආදිය පිළිබඳ තාක්ෂණය, සම්බන්ධ පැහැදිලි තොරතුරු නැත. එම තාක්ෂණය විද්‍යානුකූල පුළුල් හැදෑරීමකට ලක්කොට නූතන පරම්පරාවේ යහපත සඳහා එළිදැක්වීම අත්‍යවශ්‍ය කටයුත්තකි. ලෝකයේ අතිසාර්ථක ඉපැරැණි කෘෂි ශිෂ්ටාචාර වන මෙසපොටෝනියා, නයිල්, මායා, චීන, ඉන්දුවැලි ආදියෙහි භාවිතා කළ කෘෂි තාක්ෂණය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයන්ගේ තොරතුරු ආශ්‍රයෙන් අදට ගැළපෙන තාක්ෂණයන් නිර්මාණය කර ඇත. ජීව අඟුරු සහ ජෛව පොහොර මීට කදිම උදාහරණ වේ.

ශ්‍රී ලංකාවට හරිත විප්ලවීය තාක්ෂණය හඳුන්වාදුන් 1965 සිට 2021 දක්වා කාලය තුළ විශේෂයෙන් රට තුළ වී නිෂ්පාදනය විශාල වශයෙන් ඉහළ ගිය බව අප පිළිගත යුතුයි. එසේ වීමට ඇමරිකා එක්සත් ජනපදයෙන් අපට ලැබුණු තාක්ෂණය බෙහෙවින් ඉවහල් විය. කෘෂි යෙදවුම් ලෙස කෘත්‍රීම රසායනික පොහොර වල්නාශක, කෘමිනාශක, දිලීර නාශක සහ ඒ මත යැපී ලොකු අස්වැන්නක් ලබාදෙන අභිජනන ක්‍රියා තුළින් අස්වැන්න වැඩිකිරීම සඳහාම නිෂ්පාදනය වූ අධි අස්වනු සහ දෙමුහුම් බීජ උපකාරී විය. තත්ත්වය එසේ වූ කල 2021 දී රජය ගත් ඇමරිකානු කෘෂි තාක්ෂණය කුණු කූඩයට දැමීම අමන ක්‍රියාවක් ලෙස මතුපිටින් බලන විට පෙනීයයි.

● හරිත නොවූ හරිත විප්ලවය

1965- 66 කාලය ශ්‍රී ලංකාව පමණක් නොව ආසියාවේ රටවල් බොහොමයක් නියඟයකින් පීඩාවිඳි කාලයක් වුණි. හරිත විප්ලව කෘෂි තාක්ෂණය මේ කාලය තුළම පැමිණි අතර නියඟය හේතුවෙන් කඩාවැටුණු වී අස්වැන්නේ හරිත විප්ලව තාක්ෂණය හේතුවෙන් නියඟය නිමා වූ පසු ඉහළ යෑම අපට අතිශෝක්තියකින්ද පෙනුනි. හරිත විප්ලවය යන

සිත්ගන්නා අලංකාර නාමයකින් පැමිණි මේ ඇමරිකානු කෘෂි තාක්ෂණයේ ඇතුළාන්තයේ නම් කිසිදු හරිත බවක් නොමැත. හරිත යන්න ඉංග්‍රීසි භාෂාවෙන් ‘Green’ ලෙස ගූගල්හි ඇතුළත් කර බැලූවිට ඔබට හරිත විප්ලවය පිළිබඳ සඳහනක් හෝ සොයා ගැනීමට නොහැකිවනු ඇත. හරිත බලශක්තිය, හරිත සංවර්ධනය, හරිත ගම්මාන, හරිත ප්‍රවාහන ආදී, විවිධ දේ පිළිබඳ තිබුණද හරිත තාක්ෂණයක් සඳහන් නොවනු ඇත. එයට හේතුව නම් හරිත එනම් ‘Green’ යන්න සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙනුයේ පරිසර හිතකාමී යන අර්ථය ඇතිව වුවද හරිත විප්ලවය යන කෘෂි තාක්ෂණය තුළ පරිසරය ගැන සඳහනක් හෝ නොමැත. විද්‍යාව කෙළින්ම උපයෝගී කරගෙන ඒකීය බිම් ප්‍රමාණයකින් උපරිම අස්වැන්නක් ලබා ගැනීම පමණක් එහි අරමුණ වේ. නව තාක්ෂණය තුළින් සැලකිය යුතු අස්වනු ඉහළ දමා ගැනීමට හැකිවූ බව සැබෑවකි. නමුත් ඒ නිකම්ම නොවේ. ඒ සඳහා කෘත්‍රීිම රසායනික පොහොර, වල්නාශක, කෘමි හා දිලීර නාශක විශාල වශයෙන් යෙදවීමටත් අස්වනු වැඩි කිරීම සඳහාම නිෂ්පාදනය වූ විශේෂ බීජ භාවිතයත් සිදුවිය.

මෙකී කෘෂි යෙදවුම් නිෂ්පාදනය සහ තාක්ෂණය ලෝකයේ බලවත් රටවල් කිහිපයකටම එනම් රුසියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය ආදී රටවල් අතලොස්සකට පමණක් අද ද සීමා වී ඇත. එනිසා 1965 සිට අද 2022 දක්වා ශ්‍රී ලංකාවේ අපද කළේ මේ යෙදවුම් සියයට සීයක්ම ආනයනය කිරීමයි. එනම් ආහාර නිෂ්පාදනයේ සැබැවින්ම ළඟාකරගත යුතු ස්වයංපෝෂිත තත්ත්වයන් දිගින් දිගටම ඈත්වීමත්, තම අත්‍යවශ්‍ය මූලික ආහාර වන සහල් නිෂ්පාදනය සඳහා විදෙස් බහුජාතික සමාගම්වලට නිවටවීමත්ය. ඩීසල්, පැට්‍රල්, බොරතෙල් නැව් එනතුරු මුහුද දෙස බලා සිටිනා අයුරින්ම යූරියා, පොස්පේට්, පොටෑෂ් පොහොර, වල් නාශක, කෘමිනාශක, දිලීර නාශක එනතුරුද මුහුද දෙස බලාසිටීමයි. කෘෂිකර්මාන්තයේ දියුණුවක් නොව දිගින් දිගටම අසරණවීමක් එයින් පෙන්නුම් කරයි.

අවුරුදු කිහිපයක් යූරියා පොහොර නොදැක සිටි ගොවි මහතුන් පමණක් නොව කෘෂි වෘත්තිකයින්, දේශපාලනඥයින්, පමණක් නොව විද්‍යාඥයින්ද වත්මන් රජය විසින් කලකට පසු ඉන්දියාවෙන් ණයට ඉල්ලාගත් ඩොලර් වැයකොට ඉන්දියාවෙන්ම ආනයනය කළ යූරියා පොහොර පිළිබඳ ඉමහත් ප්‍රීතියෙන් හා ආඩම්බරයෙන් කතා කරති. දුරදිග නොබලා කිසිම සැලසුමකින් තොරව විදේශවලින් ගත් ණයවලින් ගෙල සිරවී ආර්ථිකයේ පතුලටම වැටී ඇති තත්ත්වයක සිටියදී අත්‍යවශ්‍යම බෙහෙත්, වෛද්‍ය උපකරණ පමණක් නොව ඉදිනෙදා වැඩකටයුතු, කර්මාන්ත, රැකී රක්ෂා කර ගැනීමට යන්තමින්වත් අවශ්‍ය තෙල් ටිකවත් ආනයනය කිරීමට නොහැකිව අසරණව සිටින විට තවත් විදේශයන්ට ණය වෙමින් විදේශ රටවලින්ම පොහොර ආනයනය කිරීම මෙරට කෘෂිකර්මාන්තයේ ජයග්‍රහණයක් ලෙස දැකීමක් ලෙස සිතනා තත්ත්වයකට අප වැටී ඇත. අනික් අතට හරිත විප්ලවය තාන්ෂණය හේතුවෙන් අප සහල්වලින් ස්වයංපෝෂිත වි ඇති බවටත් ආඩම්බරයෙන් කතා කරයි. රටට ඇති තරම් සහල් කිසිම විදේශ රටක උදව්වක් නොමැතිව 1965 සිට 2021 දක්වා නිෂ්පාදනය කරගත හැකිව තිබූ වසරක් හෝ අපට තිබුණිද? තිබුණේ නම් ඒ කුමන වසරද? ඉන්දියාවෙන් අමතර කොටස් ආනයනය කර අප රටේ එකලස් කර රටට ඇති තරම් ත්‍රිරෝද රථ නිෂ්පාදනය කර ත්‍රිරෝද රථ නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත විය හැකිද? එසේනම් අප ඉහළින්ම ස්වයංපෝෂිත වී ඇත්තේ ඇඟලුම් නිෂ්පාදනයෙනි. ඒ අපට ඇති තරම් පමණක් නොව යුරෝපයට, ඇමරිකාවට, ජපානයටද අපනයනය කිරීමට අතිරික්ත නිෂ්පාදනයක්ද කරනා බැවිනි. එම කර්මාන්ත සඳහා අපි ශ්‍රමය පමණක් සපයනු ලබයි.

අවංකව කල්පනා කරනවිට මේ අප වැලඳගෙන ඇති හරිත විප්ලවය කෘෂි තාක්ෂණය තුළින් ශ්‍රී ලාංකික ගොවියා තම ගොවිබිමේම කම්කරුවෙකු බවට පත්ව ඇත. සබරගමුව විශ්වවිද්‍යාලය, කෘෂිවිද්‍යා උපාධි අපේක්ෂක සිසු පිරිසක් සමඟ සියඹලාණ්ඩුවේ බඩඉරිඟු ගොවි මහතෙක් සමඟ පැවැති සාකච්ඡාවකදී හෙළිවූයේ එම වගාව තුළින් ඔහුට ලැබෙන දිනක ලාභය රුපියල් 500ක් පමණ බවයි. ආනයනික, පොහොර, වල්නාශක, කෘමි නාශක, බීජ ආදි සියල්ලට වැයවූ මුදල සහ අස්වැන්න පුද්ගලික සමාගමකට විකුණා ලැබෙන ආදායම සමඟ ගණන් බැලූ විට එන ලාභයයි ඒ.

ඇමරිකානු හරිත විප්ලව කෘෂි තාක්ෂණය තුළින් වෙළෙඳපොළට නිකුත් වූ පොහොර ඇතුළු කෘෂි රසායන සහ බීජ ආදිය නොමැතිව කිසිසේත්ම අප රටේ කෘෂිකර්මාන්තයක් කළ නොහැකිය යන මානසිකත්වයකින් ගොවියා පමණක් නොව කෘෂි වෘත්තිකයින් පවා සිටිනා කල හරිත විප්ලව උගුලේ අප සියල්ල සිරවී ඇති අයුරු මනාව ඔප්පු වේ. ඇමරිකානු, රුසියානු, යුරෝපීය කෘෂි අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය තීරණය කරන තරමට මේ වනවිට තත්ත්වය බරපලතළ වී ඇත. රජයට එරෙහිව යුද ප්‍රකාශ කළ ගොවීන් යූරියා ‘පගාව’ තුළින් මෙල්ලවූවා පමණක් නොව බෙහෙවින් ‘ප්‍රශංසා’ කිරීමටද වහා ඉදිරිපත් විය. දේශපාලකයා සැමවිටම පෙලඹෙන්නේ රටට, ජනතාවට, හොඳම දේ නොව වඩාත් ජනප්‍රියම දේටය. ඊට හේතුව තමාට බලයේ සිටීමට අවශ්‍ය වන්නේ ජනතාවගේ ඡන්දයෙන් බවය. ජනප්‍රියම දේ හොඳම දේ විය නොහැකි අතර හොඳ දේ ජනප්‍රිය ද විය නොහැක. රටක හොඳම දේ ජනප්‍රියම දේ වීම සඳහා අවශ්‍යතා කිහිපයක් සපුරා ගත යුතුය. දේශපාලකයන් අවංක සහ පරාර්ථකාමී විය යුතු අතර ජනතාව අවංක පරාර්ථකාමී පමණක් නොව බුදධිමත් උගත් බහුතරයක් විය යුතුය. ශ්‍රී ලංකාවේ වාමාංශික ලේබලය අලවා ගත් දේශපාලන බලවේග පවා ලෝකයේ ධනවාදී කඳවුරේ බහුජාතික සමාගම්වල ග්‍රහණයේ තිබෙන දියුණු වෙමින් පවතින රටවල් සූරාගෙන කන කෘෂි තාක්ෂණය ආරක්ෂා කර ගැනීම සඳහා දිවි හිමියෙන් ඉදිරිපත්වන විටෙක ධනවාදී දේශපාලන පක්ෂ ගැන අමුතුවෙන් කිවයුතු නොවේ.

ශ්‍රී ලංකාවේ සමහර දේශපාලන පක්ෂවල කෘෂිකර්ම ප්‍රතිපත්ති සකස් කිරීම කෘෂි රසායන ආනයනය කර බෙදාහරින සමාගම්වල මැදිහත්වීමෙන් සිදුවීමත් එම සමාගම්වලට එසේ රිංගා ගැනීමට හැකිවී ඇත්තේ වාමංශික දේශපාලන පක්ෂ තුළට වීමත් තුළින් ලෝක කෘෂි රසායන මාෆියාවේ තරම අපට සිතාගත හැක.

● අපේම වූ කෘෂිකර්මාන්තයකට එරෙහි බලවේග

හරිත විප්ලවය සමඟ කණපිට ගැසුණු අපටම ආවේණික කෘෂි සංස්කෘතිය සහ තාක්ෂණය මේ වනවිට මුළුමනින්ම පාහේ බිඳවැටී ඇත. කෘෂිකර්මාන්තය ජීවනෝපාය කොටගත් බහුතරයක් සිටිනා පරිසර ගම්මානවල පවා අපට දැකගත හැකිවන්නේ කුඹුරු යායවල්වලට, වගාබිම්වලට යූරියා පොටෑස්, පොස්පේට් පොහොර දමන ගොවීන් පිටේ බැඳගත් යන්ත්‍ර අනුසාරයෙන් කෘමිනාශක, වල්නාශක, දිලීර නාශක, ඉසින ගොවීන්, විෂ සහිත කෘෂිරසායන අසුරන, බෝතල් ආදියෙන් අපවිත්‍රවී ඇති ඇළ දොළ, ගොවිබිම්, ආදියයි. ගමේ, කඩපිලේ, ගෙදර දොර, පන්සලේ කථාවන්නේ යූරියා, මඩපොහොර, කෘමිනාශක, ආනයනික බීජ වර්ග වල් නාශක ආදිය ගැනයි. ගමේ පරිසරය, ඇළ දොළ, වැව වස විසෙන් අපවිත්‍රවී ඇති බවත් ජෛව විවිධත්වය පිරිහී ඇති බවත්, ජල උල්පත් සිඳී ගිය බවක් පිළිබඳව අසන්නට නොලැබේ. වකුගඩු රෝග, ස්නායු රෝග, පිළිකා ආදිය තම ගම්මානවල ශීඝ්‍රයෙන් වැඩිවෙන බව කතා වුවද ඒවා තම පෙර ආත්මයේ කරන ලද කර්ම විපාකවලට භාරදී හිත හදා ගන්නා වටපිටාවක් ගම්වල නිර්මාණය වී ඇත.

ශ්‍රී ලාංකික ගොවි ජනතාව මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත්වීම පිළිබඳව ඔවුන් වගකිවයුතු නොවේ. ඒ සඳහා, මාධ්‍ය, විදේශ කෘෂිරසායන සමාගම්වල අප රටේ ඒජන්තයින්, කෘෂි රසායන වෙළෙඳාමෙන් යහමින් විවිධ ක්‍රමතුළින් ආයාදම් සහ වරදාන ලබාගන්නා දේශපාලන බලවේග සහ රාජ්‍ය සේවකයන්, ආගමික නායකයන් ආදිය වගකිවයුතු වේ. ජනමාධ්‍ය එළිපිට කාෂි රසායන ව්‍යාපාර වෙනුවෙන් කැපවන ආකාරය අපට දීර්ඝ කාලයක් තිස්සේ බලාගත හැකිවිය. 2021 මැයි මස සිට එය ඉතා තව්‍ර ආකාරයෙන් විශේෂයෙන් කෘෂි රසායන ව්‍යාපාරවලට කෙළින්ම සම්බන්ධ මාධ්‍ය ක්‍රියා කළේය. තෝරාගත් විද්‍යාඥයින් පිරිසක්, දේශපාලනඥයින්, සමාජ ක්‍රියාකාරීන් පමණක් නොව ඇතැම් පරිසරවේදීන් සහ පරිසර සංවිධාන පවා දැන හෝ නොදැන කෘෂිරසායනික ව්‍යාපාර වෙනුවෙන් දිවා රෑ නොබලා වැඩ කළේය.

දේශපාලනඥයින් පමණක් නොව එම තෝරාගත් විද්‍යාඥයන් සුළු පිරිසක් කෘෂි රසායන ව්‍යාපාර බේරා ගැනීමේ සටන පුද්ගලික මට්ටමට ගෙන ඒමට පවා ආවේගශීලී විය. කාබනික, පාරිසරික හෝ වෙනත් ඕනෑම විකල්ප ක්‍රමවේදයකට පක්ෂ වන දේශපාලනඥයින්ට, ගොවීන්ට පමණක් නොව විද්‍යාඥයින්ට, වෘත්තිකයින්ට, ජනමාධ්‍ය ආචාරධර්ම පවා අමතක කර අපහාස කිරීමට සහ පළිගැනීම් දක්වා වැඩිදියුණු විය. අපේම වූ විකල්ප කෘෂිකර්මාන්තයකට එරෙහිව විවේචන ඉතා කෙටි කාලයක් තුළ තර්ජන, අපහාස ආදී පුද්ගලික පළිගැනීම් තත්ත්වයට පත්වූ යුද්ධයක් බවට පත්විය. සමහර විද්‍යාඥයින්, වෘත්තිකයන්, රාජ්‍ය නිලධාරීන්, ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, උපාධිධාරීන්ගේ පවා මාධ්‍ය භාවිතය නූගත් දූෂිත දේශපාලනඥයින්ගේ තත්ත්වයට ඇද වැටුණි. එයින් ඔවුන්ගේ ප්‍රතිරූපයට වන බරපතළ හානිය ගැනවත් අවබෝධයක් නොතිබුණා විය හැක. තම විශේෂඥ ක්‍ෂේත්‍රයෙන් පිට විෂය ක්‍ෂේත්‍රයන් පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීම තුළින් දෙපාර්ශ්වයේම පිළිගත් චරිත විශාල හානියක් තම ප්‍රතිරූපයට කර ගත්හ.

කෘෂි රසායන මාෆියාව කොතරම් බලවත්ද යත් හරිත විප්ලව කෘෂි තාක්ෂණය වෙනුවෙන් රැල්ලක් නිර්මාණය කර ගැනීමට ඔවුන් සමත්විය. පුදුමය නම් ඒ වෙනුවෙන් රජයේ ප්‍රබලතම දේශපාලනඥයින්ද එක්ව සිටීමයි. එනම් රජය විසින් ගන්නා ලද තීරණයට එරෙහිව එනම් රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවට රජයේ දේශපාලනඥයින්, විපක්ෂ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, රජයේ විද්‍යාඥයින් පවා, පෙළ ගැසිණි. පිටතින් මැදහත්ව බැලූ කල පසුව පෙනුණේ රජය පමණක් නොව කෘෂිකර්ම අමාත්‍යාංශය පවා රජය ගත් කෘෂිකර්මයට අදාළ තීරණයට විරුද්ධව නැගී සිටින ආකාරයකි.

හරිත විප්ලවයේ ප්‍රාණ ඇපයට හසුවූ දේශපාලනය සහ ලාංකික ගොවියා

පී. අයි. යාපා
සබරගමුව විශ්වවිද්‍යාලය – කෘෂි විද්‍යා පීඨය

advertistmentadvertistment
advertistmentadvertistment