හරින්ගේ කතාව

1684

”මන්ත‍්‍රීවරු වටේ යනවා. පවතින අර්බුදය ගැන සාධනීය කතාබහක් නැහැ. මේ ගැන මම බලවත් සේ කනගාටු වෙනවා.”

මෙම කතාව කියන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතායි. කථානායකවරයාගේ කථාවෙන් ගම්‍ය වනුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ මේ මොහොතේත් සිය දේශපාලන බල වුවමනාවෙන් කටයුතු කරන බවයි. රටේ මේ මොහොතේ පත්ව ඇති අර්බුදයට තමන්ගේ විසඳුම් නොකියා ඒ සඳහා අදාළ යෝජනා ඉදිරිපත් නොකර ප‍්‍රශ්නය වටේ කැරකෙන මහජන නියෝජිතයන්ගෙන් රටට පලක් නොමැත.

සාමාන්‍යයෙන් පාසලක සමිතියකදී පවා ගන්නා තීන්දු තීරණ ගැන ඊළඟ සභා වාරයේදී සමාලෝචනයක් ඉදිරිපත් කෙරේ. නමුත් පාර්ලිමේන්තුව රැස්වී අර්බුද පිළිබඳව තීන්දු තීරණ නොගෙනම විසිර යයි නම් අපේ රටට හෙට අත්වන ඉරණම පිළිබඳව ඇත්තේ දැඩි අවිනිශ්චිතතාවයකි.

මේ සියලූ අලකලංචි මැද පසුගිය 6 වැනිදා පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා කළ කතාව ගැන අපේ අවධානය යොමු වන්නේ හේතු කීපයක් නිසාවෙනි. ඔහු යෝජනා කරනුයේ සියලූ පක්ෂ එක්වී මාස හයකට හෝ භාරකාර ආණ්ඩුවක් පත්කරගෙන වත්මන් අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවයි. සජිත් පේ‍්‍රමදාස හෝ අනුර කුමාර දිසානායකට ජනාධිපතිවීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉදිරියේදී කාලය ඇති බවත් සිහිපත් කරන හරින් ප‍්‍රනාන්දු මහතා මේ මොහොතේ ප‍්‍රමුඛ කාර්යය වන්නේ රට වෙනුවෙන් සාමූහික තීරණයක් ගැනීම බව ද පසක් කර සිටී. මොනවා කරන්නත් ජනතාව ජීවත් කරවිය යුතු බවත්, ඒ සඳහා එකතු විය නොහැකි නම් ජනතා නියෝජිතයන්ගෙන් ඇති ඵලය කුමක්ද යන්නත් හරින් ප‍්‍රනාන්දු ප‍්‍රශ්න කර සිටී.

හරින්ගේ ප‍්‍රශ්න කිරීම යුක්ති සහගත ය. මේ මොහොතේ රටේ සියලූ මහජන නියෝජිතයන් තම යුතුකම හා වගකීම ඉටු නොකළොත් ඔවුන්ට දේශපාලනය කරන්න රටක් ඉතිරිවේද යන්නත් ප‍්‍රශ්නයකි. පවතින උග‍්‍ර ආර්ථික අර්බුදය හමුවේ නොමැරී මැරී ජීවත්වෙන ජනතාවට තවත් දුක් නොදී රටේ අර්බුදය විසඳීමට ජනතා නියෝජිතයන් කැපවිය යුතුය.

මේ අතර හරින් ප‍්‍රනාන්දු මහතා මහජන නියෝජිතයකු ලෙස තවත් ආදර්ශයක් දී තිබේ. ඔහු වසරක් යනතුරු මාසිකව ලබන රුපියල් දෙලක්ෂ පනස්දහසක් පමණ වැටුප නොගැනීමටත්, පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම නොගැනීමටත් තීරණය කර ඇත. රට වැටී ඇති නරාවළ අනුව පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට වැටුප් නොගෙවා සිටියත් පවතින අර්බුදය විසඳෙන්නේ නැත. එහෙත් මහජන නියෝජිතයකු ලෙස හරින් ප‍්‍රනාන්දු මහතා ලබාදී ඇති ආදර්ශය අන් මහජන නියෝජිතයෝද ආදර්ශයට නොගතහොත් අප රටට නව දේශපාලන සංස්කෘතියකට අවැසි පසුබිම සකසා ගත නොහැක. මීට දශක ගණනකට පෙර අප රටේ දේශපාලනයට පිවිසියේ සැබෑ ලෙසටම ජනතා සේවයට කැපවූ ප‍්‍රභූන්ය. ඔවුන්ට රට හෝ ජනතාව උගසට තබා මුදල් හම්බකර ගැනීමේ වුවමනාවක් නොතිබිණි. අද රට පත්ව ඇති අර්බුදය හමුවේ දේශපාලනය නමැති බූරු කුට්ටම ඒ මේ අතට අනමින් තමන්ගේ මඩිය තරකර ගැනීමට සමහර දේශපාලනඥයෝ වලිකන අයුරු ද දැකගත හැකිය. ‘මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ තමන් දූෂිත නැත්නම් දේශපාලනඥයන් තමන්ගේ වත්කම් බැරකම් පෙන්වා දීමට මැළි නොවිය යුතු බවයි. දේශපාලනඥයන්ට තවදුරටත් තක්කඩිකම් කිරීමට ඉඩක් නොමැති බව ද හෙට්ටිආරච්චි මහතා කියා සිටී. මේ මොහොතේ රට පත්ව ඇති අර්බුදයට එරෙහිව ජනතාව නඟන හඬ ඊට හොඳම නිදසුනයි. අද මුළු රටේම ජනතාව දේශපාලන භේදයකින් තොරව ඉල්ලා සිටිනුයේ තමන්ටත් තමන්ගේ දරුවන්ටත් මතු පරපුරටත් නිදහසේ ජීවත් විය හැකි රටකි. ඒ සඳහා පාරේ කරන අරගලය සඳහා එක්ව සිටින තරුණයන් සහ ජනතාව නඟන හඬ අමතක කළ නොහැක. එසේම මේ මොහොතේ රට අරාජික නොකිරීමට වග බලා ගැනීම ද සියලූ දෙනාගේ යුතුකමකි. රටක් වශයෙන් අප මේ පසු කරමින් සිටින්නේ ඉතිහාසයේ අතිශය තීරණාත්මක මොහොතක් බව අමතක නොකළ යුතුය.

සුද්දාගෙන් මේ රට නිදහස් වී මේ ගෙවී යන්නේ 74 වසරයි. සුද්දා අප රටේ පාලකයන්ට ලබා දුන්නේ ණය නැති රටකි. එනමුදු කාලයාගේ ඇවෑමෙන් රට පාලනය කළ පක්ෂ හා හවුල් පාලන විසින් අප රට ණය බරින් හෙම්බත් කර ඇත. රටේ නිෂ්පාදන ක‍්‍රියාවලියට පණ නොදී, රටට හිතැති, රටට ඔබින ආර්ථික ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකර ගෙනගිය ආර්ථික ප‍්‍රතිපත්තියක ප‍්‍රතිඵල අපි සියලූ දෙනාටම මේ මොහොතේ භුක්ති විඳීමට සිදුව ඇත. අප රටේ අහිංසක පුරවැසියන්ගේ ජීවිත උගසට තබා දේශපාලන ගේම් ගැසීමට කවුරුන් හෝ තවදුරටත් සූදානම් නොවිය යුතුය. දේශපාලන න්‍යාය පත‍්‍ර පසෙකට තබා අප රට ගොඩ ගැනීමට මේ මොහොතේ සියලූ දෙනා එක්විය යුතුය. මැති සබයේදී ජනතාවගේ දුක ගැන පුන පුනා කියමින් ව්‍යාජ බස් දෙඩුවාට ජනතා ප‍්‍රශ්න විසඳෙන්නේ නැත. ප‍්‍රායෝගිකව රටත් ජනතාවත් මුහුණ දී ඇති අර්බුදයට විසඳුම් සෙවීමට නොහැකි නම් එම දේශපාලකයන්ට අනාගතයේ හිමි තැන ජනතා අධිකරණය විසින් තීරණය කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment