හරි පාරෙත් ගියොත් අභියෝග ජය ගන්න අමාරු නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර්

78

අයිඑම්එෆ් ආධාර දෙසැම්බර්වල ආවෙත් නෑ ජනවාරිවලත් එන පාටක් නෑ
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

හරි පාරට රට අවතීර්ණ කර ගත්තොත් අභියෝග ජය ගන්න පුළුවන් යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.

එදා ලංකාවට කිව්වේ දකුණු ආසියාවේ ස්විස්ටර්ලන්තය වෙන්න යන රට කියලා. අපි නිවැරදි දැක්මක් නැතුව වල්මත් වෙලා ගියා. රටක් විදියට සටන් පාඨවලට රැවටුනා. ඒවයේ විපාක තමයි දැන් අත්විඳින්නේ. ජනතාව අතර ගැටුම් ඇති වෙළා. වාර්ගික ප්‍රශ්න ඇති කළා. පන්ති ප්‍රශ්න ඇති කළා. මට මතක් වෙනවා ‘සාදුකින් පෙලෙන උන් – දැන් ඉතින් නැගිටියව් – අන්තිම සටනට සැරසියව්…’ ‘ධනපතීන් භංග වේවා’ වැනි සටන් පාඨ. ඒවා අපිව කොහාටද ගෙනිච්චෙ. ප්‍රවාහන සේවය රජය සතු කළා. අන්තිමට ඒවායෙන් ලැබුණු බදු ආදායම් අපට නැති වුණා. අධ්‍යාපනයට යොදන්න පුළුවන් සල්ලි අහිමි වුණා. යමක්කමක් තිබිච්ච උදවිය ව්‍යාපාර දියුණු කරගෙන ඒ අය දියුණු වෙන අතර බදු ගෙව්වා. ඒ සල්ලිවලින් නිදහස් අධ්‍යාපනය පුළුල් කරන විදියට මහපොළ දුන්නා. නිල ඇඳුම් දුන්නා. පොත්පත් දුන්නා. සෞඛ්‍ය පහසුකම් දුන්නා. අද තත්වය එදා තිබුණෙ නැහැ. නමුත් ඒවා ඔක්කොම ආණ්ඩුවට ගත්තට පස්සේ සුදු අලි බවට පත් වුණා. ඒවා නඩත්තු කරන්න ජනතාවගේ අධ්‍යාපනයට යොදන්න තියෙන සල්ලි යොදන්න සිදු වුණා. සෞඛ්‍යයට යොදන්න තියෙන සල්ලි යොදන්න වුණා. ලෝකයේ කිසිම රටක් නැහැ සටන්පාඨ දේශපාලනය තුළින් රැකියා ප්‍රශ්න විසඳපු. ලෝකයේ කිසිම රටක් නැහැ දුප්පත්කමක් ජයගත්ත රටක් සටන්පාඨ දේශපාලනය තුළින්. අපිට සාක්ෂි කියනවා සෝවියට් දේශය එදා යුරෝපයටම තිරිඟු පටවපු රුසියාව.ඔය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා තිරිඟු‍ ටික ගන්න ලෝකෙට අතපාන්න සිදුවණා. නැගෙනහිර යුරෝපයේ බඩගින්න විරැකියාව වැඩි වෙද්දී පෝලන්තය හංගේරියාව වැනි රටවල තරුණයො පාරට බැස්සා. නැගෙනහිර ජර්මනිය උදවිය තාප්පෙන් පැනලා බටහිර ජර්මනියට යනවා ජීවිත අවදානමට දාලා. චීනයේ උදවිය හොංකොංවලට පනිනවා. ප්‍රශ්නවලට විසඳුම් වැඩ නිසා ලෝකයේ කිසිම රටක් නැහැ ඔය සටන්පාඨ දේශපාලනයෙන් ප්‍රශ්නවලට විසඳුම් දීලා.

අද හර්ෂ ද සිල්වා මහත්මයා වගේ උදවිය බිලී බා ගන්න උත්සාහයන් මාධ්‍යයේ අපි දකිනවා. ඇයි ඒ දක්ෂ කණ්ඩායමක් නැති හින්දා. අද ඉන්නේ ජනතාව වරමක් නැති සංක්‍රාන්තික ජනාධිපතිවරයෙක් විජේතුංග මහත්තයා හිටියා වගේ. තමන්ගේ භූමිකාව තේරුම් අරන් විජේතුංග මහත්තය නම නරක් කර ගන්නේ නැතුව දේශපාලනයෙන් ඉවත් වෙලා ගියා. අද මොකක්ද වෙන්නේ ජන වරමක් නැති නායකයා මැතිවරණ කල් දාන්න උපාය මාර්ග යොදනවා. මාධ්‍ය මගින් ඒවාට විවිධ හේතු දක්වනවා. මැතිවරණ කල් දාන්න රටේ ජනතාව ඉඩ දෙන එකක් නෑ. ඒ වගේ තැනකට ගියොත් උපාය මාර්ගවල විපාකවලට මුහුණ දෙන්න ආණ්ඩුවට සිද්ධ වෙයි. 70 සිට 75 දක්වා වරමකින් බලයට පත්වෙච්ච ආණ්ඩුව ජනවරමක් වත් නැතුව අවුරුදු දෙකක් දික් කරලත් අන්තිමට වුණේ පාර්ලිමේන්තුවේදී ජනතාව ඒ අයව වනගත කළා. අන්ත පරාජයට ලක් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා

කර්මාන්ත අංශයත් සම්පූර්ණම කඩාගෙන වැටිලා අද ප්‍රධාන පුවත්පතක ශීර්ෂපාඨය හැටියට තියෙන්නේ තවත් ආයතන විසිදාහක් මේ අවුරුද්දේ වහන්න සිදු වෙයි කියලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කොහොමද 30% ක 35 ක පොළී ගෙවලා ආයතනයක් කරගෙන යන්නේ කියන එක පිළිබඳව කර කියා ගන්න දෙයක් නැතුව ඉතාමත්ම දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නවා. හෙට අනිද්දා වන විට නැවතත් විදුලි බිල වැඩි වෙනවා. ඒත් එක්කම සමස්ත පිරිවැය වැඩි වෙනවා එතකොට කොහොමද ඒ වැඩිවූ පිරිවැය පාරිභෝගිකයාට තල්ලු‍ කරල දාන්නේ කියන එක පිළිබඳව ඔවුන්ගේ හිතේ ලොකු ගැටලු‍වක් තියෙනවා.

බඩු මිල වැඩිවීමේ වේගය හෙට අනිද්දා වෙනකොට ජනතාව මත තවත් වැඩි වෙනවා. මූලිකම හේතුව විදුලි බිලේ බලාපොරොත්තු වෙන වැඩිවීමත් අනිත් පැත්තෙන් ජනතාවගේ බදු වැඩි වෙලා තියෙනවා. ඒ හරහා වියදම් කිරීමට අතේ ඉතුරු වෙන මුදල අඩු වෙලා තියෙනවා. ජනවාරි මාසයේ පඩියත් එක්ක ඒ වැඩි කරපු බදු තමන්ගේ ආයතනය විසින් පඩිය ගෙවන කොට කපා ගන්නවා ඒක 6% ඉඳලා 36% දක්වා වැඩි වෙලා. එක පැත්තකින් බඩු මිල වැඩි වෙනවා. අනිත් පැත්තෙන් අතට ලැබෙන ආදායම අඩු වෙනවා. ජීවන බර උහුල ගන්න බැරි තරමට බැරෑරුම් වෙනවා. පඩි වැඩි වෙනවද කියලා හොයලා බලනකොට එය කිසිම විදියකට කරන්න රජයට හැකියාවක් නැහැ.

පසුගිය පාලකයන් ගත් තීරණ සම්බන්ධයෙන් කිසිම විදිහකට තාම රජය පරීක්ෂණයක් කරන්න ආරම්භ කරලා නැහැ. ඒකෙන් කියවෙන්නේ එම කණ්ඩායම විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙච්ච කතාව ඇත්ත. රනිල් වික්‍රමසිංහ සමග මේ රට අද වෙනකොට පාලනය කරගෙන යන්නෙත් අර රට බංකොලොත් කරපු කණ්ඩායමයි. ඒ කණ්ඩායමට මේ රට ගොඩගන්න පුළුවන් කියලා කිසිම කෙනෙකුට විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ මේ මූලික ප්‍රශ්නවලට විසඳුමක් පේන තෙක් මානෙක නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර දෙසැම්බර් ඉවරවෙන්න කලින් එනවා කිවුවා. ඒක ආවෙත් නැහැ. ජනවාරි මාසේ එනවාමයි කිව්වා. ඒත් එන පාටක් නෑ. ඒ නිසා කිසි දෙයක් කරගන්න බෑ. රට ගොඩ දාගන්න බෑ. ජනතාවගේ බඩු මිල අඩු කරගන්නත් බෑ. නිෂ්පාදන පටන් ගන්න බෑ. කුඩා හා මධ්‍යම ්‍යාපාර ඉස්සරහට අරගෙන යන්න බෑ.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment