හරි පාරෙන් ඩොලර් එව්වොත් විදුලි වාහන චාන්ස්

351

සූර්ය බල ආරෝපන පද්ධතිය තමන්ම සපයා ගත යුතුයි:
තීරුබදු සහනයත් ඉහළට…
ඕනෑම විදෙස් මුදලක් බැංකුවක් හරහා ලංකාවට එවන

ඕනෑම ලාංකිකයකුට වාහන ගෙන්වීමේ බලපත්‍රයක්…

බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් ප්‍රේෂණ (ඩොලර් සහ වෙනත් විදේශ මුදල්) යොමුකරන ශ්‍රී ලාංකිකයන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපළේදී ලබා දෙන තීරු බදු සහනය ඉහළ නැංවීමට සහ වැඩි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් රටට එවන අයට විදුලි වාහනයක් ආනයනයට අවසර දීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මෙහිදී එවනු ලබන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අනුව අදාළ සහනයන් හිමිවන ආකාරය කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (02දා) පැවති මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළේය. එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

“මෙච්චර කාලයකට විදෙස්ගත වෙලා දින අනූවකට අඩුවෙන් හිටි කෙනකුට මෙරටට පැමිණීමේ දී ඩොලර් එකසිය අසූහතයි සත පනහක තීරුබදු සහනයක් හිමි වුණා. අවුරුද්දක කාලයක් නම් ඩොලර් හයසිය විසි පහයි. අවුරුද්දකට වැඩි නම් ඩොලර් එක්දහස් හත්සිය පනහයි. ලංකාවට ඩොලර් එව්වත් නැතත් මේ සහනය තියෙනවා.

මේ තීරු බදු සහනය ඒ විදියටම තියෙන ගමන් දින අනූවකට අඩු කාලයකදී ඩොලර් දෙදහස් හාරසීයක්වත් අඩුම තරමේ රටට එවලා තියෙනවා නම් සිල්වර් කැටගරි යටතේ ඩොලර් හත්සිය අසූහතක් විදියට තීරුබදු සහනය ඩොලර් හයසීයකින් වැඩි කරනවා. අවුරුද්දක් නම් එක්දහස් දෙසිය විසිපහක් සහ ඊට වැඩිනම් ඩොලර් දෙදහස් තුන්සිය පනහක් විදියට තීරුබදු සහනය හිමි වෙනවා.

මේ විදියටම ඩොලර් හාරදහස් අටසීයක්වත් එවලා තියෙනවා නම් 1175, 1585 සහ 2710ක් වෙනවා. 7200ක් එවලා තියෙනවා නම් 1627, 2065, 3190 විදියට වැඩි වෙනවා. ඩොලර් 12000ක් වත් එවලා තියෙනවා නම් ගෝල්ඩ් ප්ලස් කැටගරිය යටතේ ඩොලර් 2587, 3025 සහ 4150ක තීරු බදු සහනයක් හිමි වෙනවා. අවුරුද්දට 24000ක් එවලා නම් 20%ක් වැඩිවෙලා ඩොලර් 4800කින් වැඩි වෙනවා. ඒ අනුව තීරු බදු සහනය අවම වශයෙන් ඩොලර් 4985, 5425 සහ 6550ක් වෙනවා. හැබැයි වෙනදා හම්බවුණු උපරිමය වුණේ 1750ක් විතරයි.

දෙවැනි යෝජනාව තමයි ඕනෑම විදෙස් මුදලක් බැංකුවක් හරහා ලංකාවට එව්ව ඕනෑම ලාංකිකයකුට වාහන ගෙන්වීමේදී බලපත්‍රයක් ලබා දීම. රටේ තියෙන තත්ත්වයත් එක්ක දැනට මොනම විදියකටවත් ලංකාවට වාහන ගෙන්වන්න දෙන්නේ නෑ. දෙවැනි යෝජනාව විදියට විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන්ම වාහනයක් ගෙන්වීමේ බලපත්‍රයක් හඳුන්වා දෙන්නේ ඒ නිසයි.

මෙතනදී ඩොලර් 3000ට වඩා තමන්ගේ හෝ ඥාතියකුගේ හෝ ගිණුමකට බැංකුවක් හරහා එවලා තියෙනවා නම් ඒ අයට ඒ එවපු මුදලේ අඩක වටිනාකමට විද්‍යුත් යතුරුපැදියක් මිලට ගන්න පුළුවන්. ඩොලර් 3000 තමයි අඩුම වටිනාකම. ත්‍රිරෝද රථ සඳහා මේ අවසරය නෑ.

ඒ අනුව ඩොලර් 20,000 සිට 65000ක උපරිමය දක්වා විද්‍යුත් වාහන ගෙන්වීමට අවසර දෙනවා. මේ ගෙන්වන වාහන 300-500 අතර ධාවන පරාසයක විය යුතුයි. සූර්ය බල පද්ධතිය මගින් ආරෝපනය කළ යුතු අතර එය තමන් විසින්ම සකස් කර ගැනීමට හෝ ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. ජාතික පද්ධතියෙන් මේ වාහන චාර්ජ් කරන්න දෙන්නේ නෑ.

මෙමගින් රටට ඩොලර් ගෙන්වා ගැනීම වර්ධනය කර ගැනීම සහ විදේශයන්ට ඩොලර් ඇදීයෑම අවම කිරීමත්, ප්‍රධාන ධාරාවට බලපෑමක් නොවීමත්, පරිසරය සුරැකීමත් යන ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීමටත් අපේක්ෂා කරනවා. ඒ සඳහා වන චක්‍රල්ඛය ඉදිරියේදී නිතුත් කරනවා.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment