හරි වැරැද්ද නොසොයා අත්අඩංගුවට ගැනීමේ පොලිසියේ පුරුද්දට උසාවිය කියා දුන් පාඩම

936

දරුවන්ට සුරක්‍ෂිත හෙට දිනක් අප තැනිය යුතුයි
සිසුන්ට මාංචු දැම්මා නම් බලවත් වරදක් –
ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල

ගුරුවරියකගේ මුදල් පසුම්බියක් පංති කාමරය තුළදී අස්ථානගතවීමක් මුල්කරගෙන මිල්ලනිය ප්‍රදේශයේ පිහිටි එක්තරා කනිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිනිය හා නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් පහ වසරේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහරදී පොලිසියට භාරදුන්නේ යැයි කියන සිද්ධිය අරබයා ඇති වූ සිද්ධිදාමය මෙම දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වූ මාතෘකාවකි. යුක්තිය පසිඳලන අධිකරණය හමුවේ සංවාදයට බඳුන් වූ කරුණු කාරණා පමණක් පාඨක ඔබ හමුවට ගෙන එමින් අනෙකෙකුට අගතියක් සිදු කිරීමේ පරමාර්ථයෙන් තොරව වාර්තාකරණයේ නිරත අප හුදෙක් ප්‍රවෘත්තියකට ඔබ්බෙන් ගිය එකී සිද්ධිදාමය තුළ මෙරට නීතිය, විශේෂයෙන් හෙට දින රටේ අනාගතය

ගොඩනැගීමේ වගකීම පැවරෙන ළමා පරපුරේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් පනවා ඇති නීති අණපනත් අමු අමුවේ උල්ලංඝනය වන බවක් දුටුවෙමු. එබැවින් නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන්නේ යැයි කියනා උද්ධෘත පාඨය පෙරදැරිව මෙරට නීතිය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති 25 වසරක වෘත්තීය අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතාගෙන් ඒ සම්බන්ධයෙන් විමසා බලන්නට දැරූ වෑයමයි මේ.

ප්‍රශ්නය – නීතිඥතුමනි, අපේ මාතෘකාවට අදාළ සිද්ධියේදී එම පාසලේ විදුහල්පතිනිය පොලිසිය කැඳවලා අවුරුදු 10ක පමණ වයසැති එම සිසුන් දෙදෙනාව පොලිසියට භාර දුන්න බවනේ කියන්නේ. මට ප්‍රථමයෙන්ම කියන්න කුමන චෝදනාවක් නගලා හෝ විදුහල්පතිනිය භාර දුන්නත් එවැනි කුඩා දරුවන් අත්අඩංගුවට ගන්න නැතිනම් තමුන්ගේ භාරයට ගැනීමේ නීතිමය බලයක් පොලිසියට තිබෙනවාද? මොකක් ද ඒ සම්බන්ධයෙන් තිබෙන නීතිමය තත්ත්වය?

පිළිතුර – වයස අවුරුදු 12ට අඩු ළමයකු කරනු ලබන ක්‍රියාවක වරදක් ලෙස නොසැලකිය යුතු බවයි නීතියේ සඳහන් වෙන්නේ. මීට පෙර එලෙස සැලකිය යුතු වයස අවුරුදු 8ක් ලෙස සඳහන් වුණත් 2018 අංක 10 දරන ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත මගින් ඒක අවුරුදු 12ක් ලෙසට සංශෝධනය වුණා. 2018 අංක 11 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනතින් වයස අවුරුදු 12ක් හෝ ඊට වැඩි හා අවුරුදු 14 අඩු ළමයකු කරනු ලදැයි කියන වරදක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය භාර නිලධාරිවරයා විසින් වරදේ ස්වභාවය සහ එහි ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින්, එම ළමයාගේ වගකීමේ ප්‍රමාණය කොපමණ ද යන්න සහ එම ළමයාට යම් චිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ද යන්න යන කාරණය පිළිබඳ අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත්වරයාට තීරණය කිරීමට හැකි කරවන්නා වූ ප්‍රමාණවත් පැසුනු බුද්ධියක් එම ළමයා ලබා තිබේද යන්න පිළිබඳ වාර්තාවක් ලබාගන්න ඕනා. ඒ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු, ළමා හෝ නව යොවුන් විය පිළිබඳ මනෝ වෛද්‍යවරයකු හා මනෝ වෛද්‍ය විශේෂඥයකු ඇතුළත් විශේෂඥ විෂය කණ්ඩායමකට ඔහුව හෝ ඇයව යොමු කළ යුතුයි.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය, 2018 අංක 11 දරන අපරාධ නඩු විධාන පනතේ 122 අ මගින් සංශෝධනය වී ඇති නිසා අවුරුදු 12ට අඩු ළමයකු සිදු කරනු ලබන වරදකට එරෙහිව කිසිම නීති කෘත්‍යයක් පවත්වාගෙන යෑමේ බලයක් ලංකාවේ අධිකරණයකට නෑ.

ප්‍රශ්නය – ඒ කියන්නේ ඒ සිසුන් දෙදෙනා කුමන කරුණක් නිසා හෝ අත්අඩංගුවට ගැනීමේ නීතිමය බලයක් පොලිසියට නෑ කියල ද?

පිළිතුර – ඔව්.

ප්‍රශ්නය – එම දරුවන් දෙදෙනාට පොලිසිය අත් මාංචු දැම්මා කියලත් චෝදනාවක් එල්ලවෙලා තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. එහෙම පොඩි දරුවන්ට අත් මාංචු දාන්න පුළුවන්ද?

පිළිතුර – කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයකු මෙල්ල කර ගැනීමට අත් මාංචු දමන්න පුළුවන්. ඒ වගේ පුංචි දරුවෝ දෙන්නෙක් කලහකාරී ලෙස හැසිරෙයි කියලා අපිට කොහොමට වත් හිතන්න බෑනේ. ඒ නිසා මම නම් හිතන්නේ එහෙම පොලිසිය කරලා තිබෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්.

ප්‍රශ්නය – යම්කිසි කෙනකුව අත්අඩංගුවට ගැනීමක් කළ හැක්කේ කුමන අවස්ථාවකදී ද? අත්අඩංගුවට ගැනීමක් නීතිය අනුව අර්ථකථනය කර තිබෙන්නේ කුමන ආකාරයෙන්ද කියලා පැහැදිලි කළොත්?

පිළිතුර – අත්අඩංගුවට ගැනීම කියන එක ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථකථනය කරලා තියෙන්නේ අතින් ස්පර්ශ කර ඔවුන්ගේ භාරයට ගැනීම ලෙසටයි. අත්අඩංගුවට ගත හැකි හා ගත නොහැකි වැරදි කුමක් ද කියලා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ උප ලේඛනයේ සඳහන් වෙනවා. අපි විශේෂයෙන්ම ඒ ගැන සලකා බලන්න ඕනා. තොරතුරක් ලැබූ පමණින් කෙනකුව අත්අඩංගුවට ගන්න බෑ. ඊට පෙර එම

පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන මූලික විමර්ශනයක් කරන්න ඕනා. උදාහරණයක් විධියට කියනවා නම් අත්අඩංගුවට ගත හැකි වරදක් ගැන පැමිණිල්ලක් ලැබුණත් අත්අඩංගුවට ගැනීමට පෙර විමර්ශකයා ඒ තොරතුරේ සත්‍ය අසත්‍යතාවය ගැන සොයා බැලිය යුතුයි. වරදක් සිදුවී ඇති බවට විමර්ශකයා සෑහීමට පත්වුණොත් විතරයි අත්අඩංගුවට ගැනීම සිදු කළ යුත්තේ. ඒත් අප රටේ දැන් සිදුවන්නේ ඒක නෙමෙයි පැමිණිල්ලක් ලැබුණ සැනින් දුවලා ගිහින් අත්අඩංගුවට ගන්නවා. වරදක් සිදුවෙලා ද නැද්ද කියලා හොයන්නේ අර කෙනාව රිමාන්ඩ් කරලයි. ඒ නිසා තමයි අද ලංකාවේ බොහෝ අධිකරණවල පදනමක් නැති නඩු ගොඩගැහිලා තියෙන්නේ. එහෙම නිසි සොයා බැලීමක් නොකර අත්අඩංගුවට ගන්න කෙනාව වුණත් උසාවියට ඉදිරිපත් කරල කොහොම හරි රිමාන්ඩ් කිරීමේ පරමාර්ථය තමයි සමහර නිලධාරීන්ට තියෙන්නේ. පොලිසිය කියන පලියටම රිමාන්ඩ් නොකර අධිකරණ මනස යොදවලා සෑම දෙනාටම සාධාරණය ඉටුකරන උගත් විනිසුරුවරු ඉන්නවා. හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මැතිනිය 2000.12.12 වැනිදා නිකුත් කළ ඩැනි එරෙහිව සිරිනිමල් යන නඩු තීන්දුවෙන් පෙන්වා දුන්නේ විනිසුරුවරු පොලිස් නිලධාරීන්ගේ ආසාවන් ඉටුකරන රබර් මුද්‍රාවක් නොවී තමන්ගේ අධිකරණ මනස යොදවා කටයුතු කළ යුතු බවයි.

මෙතනදි තව දෙයක් කිවයුතුයි. දරුවකු කෲරත්වයට පත් කිරීම ඇතුළු චෝදනාවලට සම්බන්ධ පැමිණිලි සමථ මණ්ඩලයට යොමු කරන්න කියලා බොහෝ පොලිසි මගින් මහෙස්ත්‍රාත් අධිකරණවලින් ඉල්ලීම් කරනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. මම අත්දැකීමෙන් දන්නවා සමහර අධිකරණ මගින් එවැනි නඩු සමථ මණ්ඩල වෙත යොමු කළ අවස්ථා. ඒක නීති විරෝධියි. යම් පාර්ශ්වයක් දරුවකුට පහර දුන්නත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 314 වගන්තිය යටතේ සුළු තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ සමථ මණ්ඩලයට දානවා. නමුත් කළ යුත්තේ 1995 අංක 22 දරන සංශෝධන පනත ප්‍රකාරව එම වරද නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට පියවර ගැනීමයි. එවැනි චූදිතයන්ට ඇප දීමේ බලය මහෙස්ත්‍රාත් අධිකරණවලට තිබෙනවා.

එවැනි දරුවන් කෲරත්වයට පත් කිරීමේ නඩු විතරක් නෙමෙයි අවුරුදු 18ට අඩු දරුවකුගේ භාරකාරත්වය දරමින් ඔහුට හෝ ඇයට මානසික පීඩාවක් ඇති කිරීමත් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර නඩු පැවරිය යුතු වරදක්. ව්‍යවස්ථාදායකය විසින් සම්පාදනය කර නීතියක් බවට පත්කර ඇති නීති අණපනත් නිසි අධ්‍යයනයකින් අනතුරුව ක්‍රියාවට නන්වා රටේ අනාගත පරපුර මෙවැනි අපරාධවලින් ගලවා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීම ළමා ආරක්‍ෂණ අධිකාරිය පොලිසිය ඇතුළු නීති ක්‍රියාත්මක කරන ආයතනවල වගකීමයි. එහෙම නොකර සමථ මණ්ඩලයකට ගිහින් ඉතාම පහසුවෙන් එවැනි අපරාධවලින් ගැලවීමට ඉඩ දුන්නොත් ළමා පරපුරේ අනාගතය ඉතාමත් දුක්ඛිත තත්ත්වයකට ඇදවැටේවි.

තමන්ට සමාජය සිදුකරන කෲරකම්වලට, අසාධාරණකම්වලට හෝ හිංසනයන්ට එරෙහිව කටයුතු කරන්න දරුවන්ට බෑ. ඔවුන් වෙනුවෙන් වැඩිහිටි සමාජය නැගී සිටිය යුතුයි. අපි අපේ දරුවෝ ගැන විතරක් හිතාගෙන දරුවන් තමා රටේ සම්පත කියලා කීවාට වැඩක් නෑ. අපේ දරුවන්ගේ වගේම රටේ සෑම දරුවකුගේම අයිතීන් සුරක්‍ෂිත කළ යුතුයි.

ප්‍රශ්නය – ඔබ පෙර සඳහන් කළා සමහර පොලිස් නිලධාරීන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු විමර්ශන අංශ නිලධාරීන්ගේ එකම අභිලාෂය තමුන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන පුද්ගලයාව කෙලෙස හෝ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමයි කියලා. මෙවන් පටු පරමාර්ථ වැළැක්වීමට ව්‍යවස්ථාදායකය මොනවද කරලා තියෙන්නේ?

පිළිතුර – හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම 1997 අංක 30 දරන ඇප පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී එවකට අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉතාමත් ශ්‍රේෂ්ඨ කරුණු දැක්වීමක් කරලා තියෙනවා. ඒක හැන්සාඩ්ගත වෙලා තියෙනවා. ඒ මොකක්ද දන්නවාද ඇප පනතේ 14 වන වගන්තිය උල්ලංඝනය වන ආකාරයේ කරුණු අනාවරණය නොවන්නේ නම් රජයේ මතය තමයි කිසිම පුද්ගලයකු අධිකරණය හමුවේ නිසි විභාගයකින් අනතුරුව වැරදිකරුවකු වනතුරු ඔහුගේ නිදහස සීමා නොකිරීම කියලා. එතුමා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා අද බන්ධනාගාරගත වෙලා සිටින පුද්ගලයන්ගේ සැබෑ තත්ත්වය දකින්න නම් එයට යා යුතු බව. ඒ නිසා තමයි තමන් රිමාන්ඩ් ගතකළ සැකකරුවන් බලන්න අදාළ ප්‍රදේශයේ මහෙස්ත්‍රාත්වරුන් මසකට වරක් හෝ

බන්ධනාගාරවලට යා යුතු බවට නීති පනවලා තිබෙන්නේ. මේ කරුණු අද කොච්චර දුරට ඉටුවෙනවාද කියලා මම නම් දන්නේ නෑ. කිසිදු සාධාරණ පදනමකින් තොරව කෙටි කාලයකට හෝ නිර්දෝෂී පුද්ගලයකු බන්ධනාගාරගත කිරීමෙන් සමාජයට දැඩි අහිතකර තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවට මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කිව්ව දෙය අද බොහෝ සෙයින් ඇත්ත වෙලා. 1998 වසරේදී එවකට හලාවත පොලිසියේ සේවය කළ පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු නිලධාරින් කණ්ඩායමක් එක් අවන්හලක් තුළ දී කිසිදු පැමිණිල්ලක් හෝ සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගත් පිරිසක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමක් පිළිබඳවයි ඩැනී එදිරිව සිරිනිමල් නඩු තීන්දුවෙන් කියැවෙන්නේ. එලෙස අත්අඩංගුවට ගැනීම මෙන්ම අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණ මනසකින් නොසිතා පොලිසියේ අභිමතය ඉටුකිරීම සඳහා යාන්ත්‍රිකව මහෙස්ත්‍රාත්වරයා ඔවුන් රිමාන්ඩ් කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි එකී නඩු තීන්දුවෙන් ශිරානි බණ්ඩාරනායක මැතිනිය පෙන්වා දුන්නේ.

මේ දේ තමා අදටත් බොහෝවිට සිදුවන්නේ. නීතිය නොදන්නකමට හරි වෙන කුමන කරුණක් නිසා හෝ එකී විදුහල්පතිනිය එම දරුවන් දෙදෙනාව පොලිසියට භාර දුන්නා කියමුකෝ. නමුත් නීතිය ගැන මූලික දැනුමක් ලබා දී තිබෙන පොලිස් නිලධාරීන් බුද්ධිමත්ව හිතන්න තිබුණා. ඒ දරුවන් තමන්ගේ භාරයට හරි අත්අඩංගුවට ගන්න පෙර මම මුලින්ම කීවා වගේ අවුරුදු 12 ට අඩු ළමයකු කරනු ලබන ක්‍රියාවක් වරදක් ලෙස නොසැලකිය යුතු යැයි කියන නීතිය ඔවුන්ට සිහිපත් වුණා නම් මම හිතන්නේ අද මේ වගේ ගැටලු සහගත තත්ත්වයක් උදාවෙන්නේ නෑ. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියලා කියනවනේ. ඉදිරියටවත් එවැනි බරපතළ වැරදි සිදුනොවන්න පොලිසිය වගබලා ගන්න ඕනෑ. මේ අවාසනාවන්ත සිද්ධිය නීතිය තමන්ට ඕන ඕන විදියට නමන්න හදන කාට කාටත් හොඳ පාඩමක්. ජාතික ළමාරක්‍ෂක අධිකාරිය කොන්ද කෙළින් තියාගෙන තමන්ගේ යුතුකම හා වගකීම ඉටුකිරීම ගැන සතුටුයි. නීතිය අගයන ලොකු කුඩා හැම කෙනෙක්ම ඒ ගැන ස්තුති කරනවා.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment