හලෝට රක්‍ෂණයක් දෙනතුරු සමහර ෂෙඩ් QR බැහැ කියයි

189

ඉන්ධනහල තුළ ජංගම දුරකථන ක්‍රියාත්මක කිරීමට රක්‍ෂණ ආයතන හෝ රජය නීත්‍යානුකූල සහතික වනතෙක් ජාතික ඉන්ධන බලපත්‍රය (QR) ක්‍රමය ක්‍රියාත්මක කළ නොහැකි යැයි ඉන්ධන හල් හිමියෝ කිහිපදෙනෙක් ප්‍රකාශ කර සිටියහ.

ඉන්ධන හල් රක්‍ෂණය කිරීමේදී ජංගම දුරකථන ක්‍රියාත්මක නොකිරීම, දුම්පානය නොකිරීම, වාහනයේ ඇන්ජිම ක්‍රියාවිරහිත කිරීම ඇතුළු කොන්දේසි පනවා ඇති බවත් එම කොන්දේසි කඩකර ඉන්ධන හලේ ගිනි ගැනීමක් සිදුවුවහොත් වන්දි නොගෙවන බවට රක්‍ෂණ ආයතන දැනුම්දී තිබෙන බවත් නාරාහේන්පිට ඉන්දීය තෙල් පිරවුම්හලේ හිමිකරු සම්පත් කොතලාවල මහතා පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන තිබෙන තීරණයකට අනුව QR ක්‍රමයට ඉන්ධන ලබාදීමට තමාද එකඟවන බවත්, එසේ එකඟවීමට පෙර ජංගම දුරකථන භාවිතය නිසා ඉන්ධනහලේ ගිනි ගැනීමක් සිදු වුවහොත් රක්‍ෂණ ආයතනයක් හෝ අමාත්‍යාංශය එහි වගකීම භාරගන්නා බවට ලිඛිත සහතිකයක් ලබාදිය යුතු බවත් ඔහු කීය.

ඉන්ධන හලට ඉන්ධන ලබාගැනීමට පැමිණෙන සෑම වාහනයකම එන්ජිම ක්‍රියාවිරහිත කිරීමට අමතරව වාහනය තුළ හඳුන්කූරක් හෝ දල්වා ඇත්නම් එය නිවාදමන තෙක් ඉන්ධන ලබාදීම සිදුනොකරන බවද ඔහු පැවැසීය. ඇතැම් අවස්ථාවල ඉන්ධන පොම්පය අසල ජංගම දුරකථන ක්‍රියාත්මක වීම නිසා පොම්පය අක්‍රීය වීමද සිදුව තිබෙන බව ඔහු කීය.

තමාගේ ඉන්ධන හලේ පොම්ප හතරක් එකවර ක්‍රියාත්මක වන බවත් QR ක්‍රමයට ඉන්ධන ලබාදීමට යෑමේදී ජංගම දුරකථන අටක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් පැවසූ ඒ මහතා මෙම ස්ථානයේ නිතරම පාහේ ඉන්ධන උපරිමයෙන් තබාගන්නා අතර නොසිතූ ආකාරයෙන් ඉන්ධන හලේ ගිනි ගැනීමක් සිදුවුවහොත් ඉන්ධන හලට නොව අවට ප්‍රදේශයටද සිදුවන හානිය සිතාගැනීමටත් අපහසු බවත් අවධාරණය කළේය. මෙයින් දේපළ වලට අමතරව මනුෂ්‍ය ජීවිතයක් හෝ අහිමි වුවහොත් එහි වටිනාකම තක්සේරු කරන්නේ කවුද යන්න අපහැදිලි බව පැවසූ ඒ මහතා ඉන්දියන් ඔයිල් ඉන්ධනහල් අතරින් හොඳම ඉන්ධනහල ලෙසට පත්ව ඇත්තේ තම ඉන්ධන හල බවද පැවසීය.

කිසියම් රක්‍ෂණ සමාගමක් ජංගම දුරකථන ක්‍රියාත්මක කිරීම තුළින් ගිනි ගැනීමක් සිදුවුවහොත් වන්දි ගෙවීමට එකඟවනවා නම් ඊට අදාළ රක්‍ෂණ වාරික ගෙවීමට පවා තමා ඇතුළු ඉන්ධනහල් කිහිපයක හිමිකරුවන් එකඟවන බවද ඔහු කීය.

ජනතාවට ආරක්‍ෂාකාරී ලෙස ඉන්ධන ලබාදීම තම ඉන්ධන හලේ වගකීම බවත් එය ආරක්‍ෂා කරගෙන අඛණ්ඩ ඉන්ධන ලබාදීම සිදුකරන බවත් ඔහු පැවැසීය. ඉන්ධන තොග ගෙන්වා අතර මගදී වැඩි මිලට විවිධ ආයතනවලට අලෙවි කරන පිරිස QR ක්‍රමයට කැමති වුවත් එවැනි දේවල් සිදුනොකරන තමන් වැනි අයට QR කේතයට අවනත වීම අපහසු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment