හලෝ නොකීවාට කෝපවී මොරටුව උප නගරාධිපති පී එච් අයිගේ කනට ගහලා

350

දුරකථන ඇමැතුම්වලට ප‍්‍රතිචාර නොදැක්වුවැයි කුපිත වී මොරටුව උප  නගරාධිපතිවරයා තමාගේ කනට ගැසූ බව මොරටුව මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යසන්ත රුවන්සිරි මහතා විසින් මොරටුව පොලිසියට පැමිණිලි කර ඇත. ඒ මහතා ප‍්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට පෙරේදා (09 දා) ඇතුළත්වී ඇත.

නොමිලේ ගලි බවුසරයකින් අසූචි ඉවත් කර ගැනීමේ කටයුත්තක් සඳහා උපනගරාධිපතිවරයා දුරකථනයෙන් තමා ඇමතුවත් තමා රාජකාරි කරමින් සිටි ස්ථානයේ සිට එම ඇමතුම්වලට සම්බන්ධවීමට නොහැකිවූ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යසන්ත රුවන්සිරි මහතා පැවසීය.

පසුව තමා නගර සභාවේ සිය කාර්යාලයට පැමිණෙමින් සිටියදී සිය දුරකථන ඇමැතුම්වලට ප‍්‍රතිචාර නොදැක්වුවේ මන්දැයි විමසා උපනගරාධිපතිවරයා තමාගේ කනට මෙන්ම ඇඳුම් ඉරීයන ලෙස පහරදුන් බව මොරටුව පොලිසියට පැමිණිලි කළ බවත්, පොලිසියේ නිර්දේශ මත තමා ප‍්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් වූ බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පුෂ්පකුමාර පර්ඩිනැන්ඩු මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත්, උප නගරාධිපතිවරයාද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා විසින් තල්ලූ කළ බවට පැමිණිල්ලක් පොලිසියට කර ඇති බවත්ය. සිද්ධිය සම්බන්ධයෙන් දොපර්ශ්වයම කැඳවා විමර්ශන සිදු කරන බවද ඔහු කීය.

මොරටුව මහ නගර සභාවේ බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පවතින අතර මීට පෙර මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ මොරටුව නගරාධිපතිවරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම නිසා ඔහුට බන්ධනාගාර ගතවීමට පවා සිදුවිය.

චමින්ද සිල්වා, එස්. පී. ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment