හවස කන්තෝරු කෝච්චියේ ගියොත් හෙට උදේ ගෙදර යන්න පුළුවන්

203

හැමදාම දුම්රිය ප්‍රමාදයි!

වේගෙන් යන්න ඉන්දියාවෙන් තවත් ණයක්

දුම්රිය පීළි වසර 40ක් පරණයි

පසුගිය කාලයේ ප්‍රවාහන ගාස්තු නොසිතූ ආකාරයෙන් දෙතුන් ගුණයකින් ඉහළ යෑමත් සමග මෙරට මහජනතාව සිය ප්‍රවාහන මාධ්‍යය ලෙස තෝරා ගත්තේ දුම්රියයි. ඒ දුම්රිය ගාස්තු බස් ගාස්තුවට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවති නිසයි. පසුව දුම්රිය ගාස්තු දෙතුන් ගුණයකින් ඉහළ දැමුව ද අදටත් බස් ගාස්තුව හා සසඳන කල දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ලාභදායකය. එසේම ඉක්මන්ය. මේ හේතු නිසා දුම්රිය වෙත ආකර්ෂණය වූ ජනතාව දැන් ගැටලු රාශියකට මුහුණ දී සිටී. ඒ නිසා දැන් නැවතත් කෙමෙන් කෙමෙන් දුම්රියෙන් මගී ජනතාව ඉවත් වන බවක් දක්නට ලැබේ.

● දුම්රිය ප්‍රමාදය හා නිතර පීළිපැනීම

දැනට මාස තුනක හතරක සිට නිරන්තරයෙන් දුම්රිය බොහෝ වෙලා ප්‍රමාද වේ. සමහර දුම්රියන් පැය 1 – 2 දක්වා ප්‍රමාද වේ. රජයේ හා පෞද්ගලික කාර්යාල වෙත සේවයට පැමිණෙන හා සවස ගෙදර යන ජනතාවට මෙය ඉමහත් ගැටලුවකි. ප්‍රමාද වී පැමිණි විට කාර්යාලයෙන් ප්‍රමාද වීමට අදාළව වැටුපෙන් හෝ නිවාඩුවලින් ඒවා අඩු කරයි. හවසට නියමිත වේලාවට දුම්රිය ගමනාන්තයට නොගිය විට බොහෝ පිරිසකට ගම්බිම් කරා යෑමට ඇති අවසන් බසය ද ගොස්ය. එවිට තවත් දහස් ගණනක් ත්‍රිරෝද රථවලට පූජා කිරීමට සිදුවේ.

මේ ආකාරයෙන් දුම්රිය ප්‍රමාද වීමට අමතරව පසුගිය සති කිහිපයේම දුම්රිය පීළිපැනීම ද වාර්තා විය. එක සතියට දෙක තුනක් ආදී ලෙසින් එලෙස වාර්තා වූයේ පවතින අබලන් දුම්රිය මාර්ගයන් නිසාය. මරණ වරෙන්තුව අතින් ගෙන ගමන් කරනවා හා සමාන තත්ත්වයක් මේ නිසා උද්ගත විය. එවැනි අනතුරකට මුහුණ පෑවද ආණ්ඩුවෙන් සත පහක දෙයක් ලැබේ යැයි බලාපොරොත්තු විය නොහැක. එසේම මැති ඇමැතිවරු මගී ජනතාවගෙන් “ඇයි දැන දැන කෝචිචියේ ගියේ” යැයි අසනු ඇත. එවන් පන්නයේ මැති ඇමැති පිරිසක් මේ වනවිට පාර්ලිමේන්තුවට පත් වී ඇත. ගෑස් ටැංකි පුපුරන විට ගෑස්වල ප්‍රමිතිය හොයනවා වෙනුවට ළිප් වලටත් වෙනත් දේවල් කෙරෙහිත් වරද පටවමින් ගැළවුණු ආකාරය අපට මතකය.

මෙම අර්බුදයත් සමගම දුම්රියේ වේග සීමාව පැයට කිලෝමීටර් 20 – 30 දක්වා පහත දමා ඇත. ඒ මේ වනවිට පවතින රේල් පීළි වසර 5 – 10 ක් නොව වසර 30 – 40 පැරණි ඒවා බැවිනි. අලුතෙන් සවිකිරීමට පීළි නැත. දුම්රිය අමතර කොටස් නැත. ලිහිසි තෙල්, ගීස් නැත. නිසි පරිදි දුම්රිය නඩත්තුවක් නැත. කිලෝමීටර් 50 – 60 යන විට කොන්ද රිදෙනවා යැයි පවසා අලුත් අලුත් වාහන ඉල්ලන මැති ඇමැතිවරුන්ට කිලෝමීටර් සිය ගණනක් මෙලෙස අබලන් මාර්ගවල යන ජනතාවගේ දුක නොතේරීම අපේම කරුමයකි. ඉස්සර මෙන් එක් අයෙක් දෙන්නෙක්වත් දුම්රියෙන් පාර්ලිමේන්තු ආවානම් මෙම ගැටලු පාර්ලිමේන්තුවේ සාකච්ඡා වනු ඇත.

● ප්‍රවාහන ඇමැතිගේ බලාපොරොත්තුව

හවස කන්තෝරු කෝච්චියේ ගියොත් හෙට උදේ ගෙදර යන්න පුළුවන්

වත්මන් ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ පවතින දුම්රිය පීළි වෙනුවට ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙම මාර්ග අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වන බවයි. පළමුවෙන්ම අපට පැවසීමට ඇත්තේ පසුගිය අවුරුදු 30 – 40 ම රට පාලනය කර ඇත්තේ ඔවුන් බවයි. එම කතාව කියන ඇමැතිවරයාද දැන් අවුරුදු කීයක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවාද. කොපමණ කාලයක් ඇමැතිධුර දැරුවාද කියා සිහියට නගාගත යුතු බවයි. ඒ කාලය තුළ මේ ගැන ක්‍රියා නොකිරීම අපගේ වරදක් නොව ඔබතුමලාගේම වරදක් බව පළමුවෙන්ම සිහි තබා ගත යුතුය.

ඊළඟ කාරණය වන්නේ ඉන්දීය ණය යෝජනා ක්‍රම යටතේ මෙරට ඉදිකළ හැම දුම්රිය මාර්ගයකින්ම දූෂණ වංචා බොහෝ සෙයින් වාර්තා වීමය. මෙයට හොඳම උදාහරණය උතුරු දුම්රිය මාර්ගයයි. දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන මාර්ගයකට යන වියදමට වඩා දෙතුන් ගුණයක වියදමක් මේ සඳහා වැය වී ඇත. එම මුදල් ගියේ කාගේ සාක්කුවටදැයි මුලින්ම සෙවිය යුතුය. එසේම කන්නටත් නැතිව ජනතාව පීඩා විඳින අවස්ථාවක මේ ආකාරයෙන් තවත් ණය කන්දක ජනතාව හිර කිරීම කාලෝචිතද?

ඇමැතිවරයාට මුදල් සොයා ගැනීමට වෙනත් මාර්ගයක් ඇත්තේම නැද්ද. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මොනතරම් පරණ යකඩ, අබලි ද්‍රව්‍ය තිබෙනවාද. මේවා එක් කාලයකදී ශත පනහට රුපියලට කිලෝවක් වික්කා මෙන් නොවී විනිවිදභාවයෙන් යුතුව විකුණුවානම් මෙම මුදල් යම් තරමක් හෝ සොයාගත හැකිවනු ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මොනතරම් ඉඩම් ප්‍රමාණයක් නිකරුනේ වල්බිහිවෙමින් තිබෙනවාද? ඒවා පෞද්ගලික අංශය හා සම්බන්ධ වී හෝ ඵලදායී දෙයකට යොදාගතහොත් ලෝකෙ වටෙන් ණය ඉල්ලා හිඟා කෑ යුතු නැත.

එසේම ඇමැතිවරයා පැවසූ තවත් දෙයක් වන්නේ පසුගිය කාල පරිච්ඡේදය පුරාම දුම්රිය වසරකට බිලියන 10 බැගින් පාඩු ලැබූ බවත් මේ වනවිට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බිලියන 1 ක ආදායමක් ලබන බවත්ය. ඇමැතිවරයා කියන්න උත්සාහ කරන්නේ ඔහුගේ දක්ෂතාවක් නිසා මේ ආකාරයෙන් දුම්රිය ලාභ උපයන බවක්ද? අපට නම් පැවසීමට ඇත්තේ එවන් ආදායමක් ලබන්නේ වෙන කිසිවක් නිසා නොව අදටත් මගී ජනතාව කලින්ට වඩා දුම්රියේ ගමන් කිරීම ලාභ නිසා එය තෝරා ගැනීම මෙයට හේතුව බවයි.

මෙරට ඇමැති මණ්ඩලයට පත් වන හැම ඇමැතිවරයෙක්ම කරන්නේ යම් ආයතනයක් පාඩු ලබනවා නම් එම බර ජනතාව පිට පැටවීමටය. මේ කිසිවෙක් මේ ආයතන පාඩු ලබන්නේ මන්ද? ඒවාට දිය යුතු පිළියම් මොනවාද වංචා දූෂණ සිදුවනවා ද කියා සොයා බලන්නේ නැත. සොයා බැලුවත් ඒ හැම තැනකම දේශපාලනඥයන්ට හවුල් කවුරුන් හෝ සිටී. ඒ නිසා හොඳම හා ලේසිම දේ මිල වැඩි කිරීමය. ඉන්ධන, ගෑස්, විදුලිය, ජලය, දුරකථන මේ කොයි එකටත් අද සිදු වී ඇත්තේ මේ ටිකය.

● දුම්රිය පාඩු ලැබීමට හේතු

මෙරට දුම්රිය සේවය හැමදාමත් පාඩු ලැබීමට මෙහෙයුම් සහ නඩත්තු වියදම් ඉහළ යෑම, වංචාව, දූෂණය, ආකර්ෂමතාව ප්‍රධාන වශයෙන්ම බලපා ඇත. අප මීට පෙර අවස්ථා ගණනාවකදී මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කොට ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුරටත් සඳහන් කරන්නේ නැත. නමුත් වත්මන් ඇමැතිවරයා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය තරයේ අවධානයට ගත යුතු කාරණය වන්නේ ඉහත සඳහන් අංශවල පවතින දුර්වලතා අවම කරගෙන ආයතනය දියුණු කර ගැනීම කෙරෙහිය.

● දුම්රියේ දියුණුවට මහජනතාවගේ දායකත්වය

දුම්රිය ලාභ ලැබීමට නව මං සොයා ගැනීමට ඇමැතිවරයාට නිලධාරීන්ගේ පමණක් නොව සාමාන්‍ය මහජනතාවගෙන් ද අදහස් ලබාගත හැක. වංචාවට, දූෂණයට හිතැති නිලධාරීන් තුළ නැති වටිනා අදහස් සාමාන්‍ය ජනතාව තුළ තිබිය හැක. එබැවින් ජනතා අදහස් ඉදිරිපත් කිරීමට ක්‍රමයක් විවෘත කළ යුතුය. ඇල්ල ඔඩිසි, යාපනය වැනි සුන්දර සංචාරක පාරදීස තව තවත් හඳුන්වාදිය හැක. උඩරට මාර්ගයේ පවතින දුම්රිය ස්ථානාධිපති නිල නිවාස වසර සිය ගණනක් පැරණි පෞරාණික වටිනාකම් සහිත රමණීය ස්ථානය. ස්ථානාධිපතිවරුන්ට නව නිල නිවාස ලබාදී පැරණි නිවාස සංචාරකයන්ට විවෘත කළ හැක. එසේම සංචාරක ආකර්ෂණය දිනාගත හැකි දර්ශනීය ඪසැඅ ඡදසබඑ සහිත ස්ථාන හඳුනාගෙන සංචාරක මණ්ඩලය, පෞද්ගලික අංශය සමග සම්බන්ධ වී ක්‍්පචසබට සංකල්පය, පැරණි මැදිරි කුඩා සංචාරක නිවාස ලෙස සකස් කර එවන් ස්ථානවල ස්ථානගත කිරීම තුළින් දුම්රියට විශාල ආකර්ෂණයක් මෙන්ම විශාල ආදායමක් උපයාගත හැක.

මීට අමතරව භාණ්ඩ ප්‍රවාහනය දැනට වඩා ශක්තිමත් කළ යුතුය. මෙහිදී විශේෂයෙන්ම කාර්යක්ෂමතාව අනිවාර්යයෙන්ම වැඩි කළ යුතුය. ජනතාවට විශ්වාසදායී තැනක් බවට දුම්රිය පත් කළොත් බිලියන ගණනින් ලබන පාඩුවට මෙන්ම රටේ ප්‍රවාහන ගැටලුව ද ඉබේම විසඳෙනු ඇත.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment