හෂාන් වෙනුවට කවුද කියා තවම තීරණයක් නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි

233

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් හෂාන් තිලකරත්න මහතා ඉවත් වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න තවම තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා ද එම සංචාරයට එක්ව සිටින බැවින් ඔවුන් සමග ද සාකච්ඡා කර කාන්තා කණ්ඩායමේ නව පුහුණුකරු පත්කිරීම සිදු කිරීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ හෂාන් තිලකරත්න මහතා ලබන මස පළවෙනිදා සිට බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමට නියමිතය.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් සභාපති නඩෙල් චෞද්රි මහතා ඊයේ මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ ඉදිරි වසර දෙකක කාලය සඳහා හෂාන් තිලකරත්න මහතා බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගත් බවයි.

අත්දැකීම් බහුල ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු ලෙස ඔහු තම කණ්ඩායම නියමිත ඉලක්කයන් කරා මෙහෙය වනු ඇති බව තමන් විශ්වාස කරන බව ද නඩෙල් මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතා ද බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. එමෙන්ම හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චම්පක රාමනායක මහතා ද බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ උසස් කාර්ය පුහුණුකරු ලෙස කටයුතු කරයි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment