හසරංගගේ උත්සාහය බට්ලර්ට යටවෙයි

639

එංගලන්ත කණ්ඩායම හමුවේ සාජා ක‍්‍රීඩාංගණයේදී ඊයේ (01 වෙනිදා) ලැබූ ලකුණු 26ක පරාජයත් සමග මෙවර පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඈතට ඉගිල ගියේය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට සියලූ‍ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණි.

අවසන් පන්දු වාර 5 තුළ ලකුණු 51ක් ලබා ගැනීමේ අභියෝගයක් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ තිබියදී වනිඳු හසරංග ලකුණු 34කටත් නායක දසුන් ශානක ලකුණු 26කටත් දැවී යාම හේතුවෙන් ශ‍්‍රී ලංකාවෙන් ජයග‍්‍රහණය ගිලිහී ගියේය.

එංගලන්ත කණ්ඩායම ලබා දුන් ලකුණු 163 ඉලක්කය හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පසු ගිය තරගයේදී ලකුණු 72ක් ලබා ගත් පැතුම් නිශ්ශංක දුවද්දී දැවී යාම ශ‍්‍රී ලංකාවට ප‍්‍රබල පාඩුවක් වූ අතර චරිත් අසලංක වේගවත් ආරම්භයක් ලබා ගත්තද අසලංක ලකුණු 21කට දැවී ගියේය.

ඒ වන විට අසලංක 4 පහර 3ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණි.

ක‍්‍රිස් වෝක්ස්ගේ පිට පිට පන්දු දෙකකට 6 පහරක් සහ 4 පහරක් එල්ල කර ඊළග පන්දුවද 4 සීමාවට එල්ල කිරීමට ගොස් භානුක රාජපක්ෂ දැවී ගියේ පන්දු 17කදී ලකුණු 26ක් ලබා සිටියදීය.

එංගලන්ත කණ්ඩායම ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට එන්නම පීඩනය වැඩි කළ අතර පන්දු වාර 12 තුළදී කඩුලූ‍ 5ක් දැවී ලබා සිටියේ ලකුණු 82ක් පමණි.

දිගින් දිගටම අසාර්ථකව සිටි කුසල් ජනිත් පෙරේරා මෙම තරගයේදීද ලකුණු 7කට දැවී ගිය අතර අවිශ්ක ප‍්‍රනාන්දුද යළිත් අසාර්ථක වෙමින් ලකුණු 13කට දැවී ගියේය.

කාසියේ වාසිය දිනු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සම්බන්ධතාවය ලකුණු 12කට සිමා කරමින් තරගයට අවතීර්ණ වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 35ක් වන විට කඩුලූ‍ 3ක් බිඳ දැමීමට සමත් වී තිබුණි.

එංගලන්ත කඩුලූ‍ දවාලීම ආරම්භ කළ වනිදු හසරංග ජේසන් රෝයිගේ කඩුල්ල ලකුණු 9කටත් දුෂ්මන්ත චමීර ඬේවිඞ් මාලන්ගේ කඩුල්ල ලකුණු 6කටත් බිඳ දැමීය.

චමීර විසින් එවන ලද එම පන්දුවෙන් ඬේවිඞ් මාලන් දැවී ගියේ ඊට පෙර පන්දුවේදීද කඩුලූ‍ රකින ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට උඩ පන්දුවක් ලබා දීමෙන් පසුව වුවද එම උඩ පන්දුවද කුසල් විසින් අත් හරිනු ලැබුවේ එක දිගට තරග 3කදි තමන් වෙත ලැබුණු තුන් වෙනි පහසු උඩ පන්දුවද බිම හෙළමිනි.

ජෙසන් රෝයි හමුවේ එල්ල කළ පළමු පන්දුවෙන්ම ඔහුගේ කඩුල්ල දවා ගත් වනිදු හසරංග ජොනී බෙයාර්ස්ටෝගේ කඩුල්ල ඔහුට යොමු කළ පළමු පන්දුවෙන්ම දවා ගත්තේ පිටිය මැද විනිසුරු දුන් තීන්දුව යළි විමසා බලන ලෙස තෙවැනි විනිසුරුට කළ යොමුව ඵල දැරීමෙනි.

ප‍්‍රධාන විනිසුරුගේ තීරණය කණපිට පෙරළමින් පැමිණි ඒ තීන්දුව මත ජොනී බෙයාර්ස්ටෝ ආපිට ක‍්‍රීඩාගාරයට ගියේ නායක එයින් මෝගන්ව පිටියට කැදවමිනි.

සිය පන්දුවාර විස්සයි විස්ස තරග දිවියේ 50 වෙනි කඩුල්ල ලෙස එංගලන්ත නායකයාගේ කඩුල්ලද දවා ගත් වනිදු හසරංග සිය පන්දුවාර හතර ලකුණු 21කට සීමා කළේය.

ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දරුණු ප‍්‍රහාරයක් දියත් කළ එංගලන්ත ආරම්භක පිතිකරු මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු ශතකය මේ තරගයේදී වාර්තා කළ අතර ඊට 4 පහර සහ 6 පහර 6 බැගින් ඇතුළත් කර තිබුණි.

දුෂ්මන්ත චමීර විසින් ක‍්‍රියාත්මක කරන ලද තරගයේ අවසන් පන්දු වාරයේ අවසන් පන්දුවට 6 පහරක් එල්ල කරමින් ශතකය වාර්තා කළ බට්ලර් එංගලන්ත කණ්ඩායම රැුස් කළ ලකුණු 163 න් 101 කට හිමිකම් කිවු අතර පළමු පන්දු වාර 10 තුළදී ලකුණු 47කට සීමා වී තිබු එංගලන්ත ඉනිම සිය පිතිහරඹය තුළින් ගොඩ ගැනීමට බට්ලර්ට හැකි විය.

මෙම තරගයෙන් ලද පරාජයත් සමග ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබීමේ අවස්ථා අවම වූ අතර පළමු කාණ්ඩයේ එංගලන්තය හැර සියලූ‍ කණ්ඩායම් තරග දෙක බැගින් ජය ගනිවී යන උපකල්පනය මත ශ‍්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් තරගය ජය ගත හොත් ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළින්ම ඇති කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

ලකුණු සටහන

එංගලන්තය පන්දුවාර 20කදී කඩුලූ 4ක් දැවී ලකුණු 163යි (ජෝස් බටලර් (නොදැවී) 101, ඔයින් මෝගන් 40, වනිඳු හසරංග 21/3, දුෂ්මන්ත චමීර 43/1)

ශී‍්‍ර ලංකාව පන්දවාර 19දී සියලූ දෙනා දැවී ලකුණු 137යි (චරිත් අසලංක 21, භානුක රාජපක්ෂ 26, දසුන් ශානක 26, වනිඳු හසරංග 34, අවිශ්ක ප‍්‍රනාන්දු 13, මොයින් අලී 15/2, අදීල් රශීඞ් 19/2, කි‍්‍රස් ජෝදන් 24/2, කි‍්‍රස් වොක්ස් 25/1, ලියම් ලිවිස්ටෝන 34/1)

කුෂාන් සුබසිංහ සාජා සිට….

advertistmentadvertistment
advertistmentadvertistment