හාදු වැස්සයි සල්ලි හමාරයි – අබ්ලික් Story

391

ගල්කිස්ස ප‍්‍රදේශයේ එක්තරා හෝටලයක රාති‍්‍ර සමාජ ශාලාවක අසුනකට බරවී මත්පැන් පානය කරන තරුණයෙකි. ඔහු නමින් මාලිංග. මැණික් ව්‍යාපාරය ජයටම කරගෙන ගිය මාලිංග සෑහෙන වත්පොහොසත්කම් ඇති ව්‍යාපාරිකයෙකි.

මිතුරන් පිරිවරාගෙන මත්පැන් පානය කිරීම මාලිංග පුරුද්දක් විදිහට කළේ නැහැ. ඔහු බොහෝවිට මත්පැන් පානය කළේ තනිවමයි. සුරූපිණියන් ඇසුරට මාලිංගට තිබුණේ පුදුමාකාර ආශාවක්. මොනවට මුදල් වියදම් නොකළත් ඒ වැඬේටනම් මාලිංග අතදිග හැරලා වියදම් කළා. මේ සිද්ධිය වෙච්ච දවසෙත් මාලිංග රාති‍්‍ර සමාජ ශාලාවේ කොණක තිබුණ මේසයකට බරවෙලා මත්පැන් පානය කරමින් සිටියා.

ඒ වෙනකොට මධ්‍යම රාති‍්‍රයට ආසන්න වෙමින් තිබුණා. මාලිංගත් හොඳ පදමට මත්පැන් පානය කරලා හිටියේ. එකපාරටම මොකක්දෝ මිහිරි සුවඳක් මාලිංගගේ නාස්පුඩුවලින් ඇතුළුවෙලා මුළු ගතම කුල්මත් කරන්න ගත්තා.

මාලිංග වටපිට බැලූවා. තමන්ගේ අභිමුව සිටින සුරූපිනිය දැක්කම මාලිංගගේ මුළු ගතම හිරිවැටිලා ගියා.

මං සෑහෙන වෙලාවක ඉඳලා ඔයා දිහා බලාගෙන හිටියේ. මෙතනට එන අය මේ විදිහට තනිවම එන්නේ නැහැ. හැබැයි ඔයා පැය ගාණක් තිස්සේ වෙනම ලෝකෙක තනිවෙලා ඉඳගෙන බොනවා.

සුරූපිනිය මාලිංගගේ කණට ළංවෙලා කිව්වා. මේ සිද්ධ වෙන්නෙ සැබෑ ලෝකයේ සිදුවීමක්දැයි මාලිංගට හිතාගන්න බැහැ. ඔහු ගල් ගැහිලා මේ සුරූපිනිය දිහා බලා ඉන්නවා.

මං කොහොමටත් කැමති තනියම ඉන්න. තනියම බොන එක මගේ පුරුද්දක්. මාලිංග සුරූපිනිය දිහා බලාගෙන කිව්වා.

මම ටානියා යාළුවොත් එක්ක නිතර මෙතනට එනවා. අද යාළුවෝ කවුරුත් ආවේ නැහැ අනේ. මමත් කම්මැලිකමේ හිටියේ. ටානියා කාලයක් ඇසුරු කරපු විදිහට මාලිංග කිව්වා.

ඔයා මෙතන වාඩිවෙන්න. අපි දෙන්නා එළිවෙනකල් හරි ජොලියේ ඉමු. ඔයාට මොනවද ඕඩර් කරන්න ඕනේ.

මාලිංග ටානියාව එයාගේ ළඟින්ම වාඩිකරව ගත්තා.

‘මට වයින් එකක් ඇති. හොරා මෙච්චර වෙලාබීලත් බෝතලේ එහෙම්ම තියෙනවා. මගේ ගානේ ටිකක් බොන්න ඕනේ කියමින් ටානියා මාලිංගට හොඳටම පෙව්වා. ටික වෙලාවක් යද්දී මාලිංගට කෙලින් කටින් ඉන්න බැරි තරමට වෙරි.

මත්පැනින් කුල්මත් වෙලා හිටිය මාලිංග ටානියාට ටික ටික තුරුළු වුණා. එයාගෙන් ඊට කිසිම විරෝධයක් තිබුණේ නැහැ.

ටානියා අපි දෙන්න අද මෙහේ ඉමුද. මං කැමතියි ඔයත් එක්ක ඉන්න.

මාලිංග ටානියාගේ උරහිසට හේත්තුවෙලා මිමිනුවා.

ඔයාගේ කැමැත්තක්. මාත් ආසයි ඔයා එක්ක ටිකක් එන්ජෝයි කරන්න. මාලිංග ඒ වෙලාවෙම සුපිරි හෝටලයේ කාමරයක් වෙන්කර ගත්තා.

මාලිංග ටානියාව තුරුළු කරගෙන හෝටල් කාමරයට ඇතුළු වුණේ තමුන්ගේ සරාගී හැඟීම් එකින් එක මුදාහරින්න හීන මවමිනුයි.

ඔයාව මට කලින් හම්බවෙන්න තිබුණේ. එහෙම වුණානම් අපි කොච්චර එන්ජෝයි කරලද. ටානියා මාලිංගව තුරුළු කරගෙන ඔහුගේ නළල සිප ගන්න ගමන් කිව්වා.

ඒ වෙනකොට මාලිංගට පදමට වැදිලා. කරන කියන දෙයක් ගැනවත් සිහියක් නැහැ. ටානියා මාලිංගගෙ පියවි සිහිය නැතිවන තුරුම එයාට පොවලා තිබුණේ.

මාලිංග ටානියාව තුරුළු කරගෙන තොර තෝංචියක් නොමැතිව සිප වැළඳ ගන්න වුණා.

මේ මේ ඔයාට හොඳටම වැඩියි. වෙරි බහින්න නාගෙන එන්න. ඊට පස්සේ පුළුවන් අනිත් දේවල්…

ටානියා මාලිංගගෙ කම්මුල් මිරිකමින් ඔහුව නාන කාමරේට තල්ලූ කළා.

දහසකුත් එකක් සරාගී සිතුවිලි සිතේ සිරගෙන මාලිංග විනාඩි පහළොවක් විස්සක් ස්නානය කළා.

ඔන්න මං ලෑස්තියි. එහෙම කියාගෙන මාලිංග නාන කාමරෙන් එළියට ආවා. ඒත් ඒ වෙනකොට ටානියා කාමරේ හිටියේ නැහැ. මාලිංග හිතුවේ ටානියා එයාව රවට්ටන්න කොහෙ හරි හැංඟිලා ඇති කියලා. මාලිංග කාමරේ පෙරළ පෙරළ ටානියාව හෙව්වා ඒත් එයා නැහැ.

එකපාරටම මාලිංගට එයාගේ මුදල් පසුම්බිය මතක් වුණා. මාලිංග කලබලයෙන් එය පරීක්‍ෂා කළා. ඒ වෙනකොට මුදල් පසුම්බිය හිස්වෙලා. ඒකෙ තිබුණු ලක්‍ෂ දෙකහමාරක මුදල් අතුරුදන්වෙලා.

මාලිංගට හීන්දාඩිය දැම්මා. ඒ වෙන කොටත් සිද්ධ වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.

වෙච්ච වැඬේ ගැන පොලිසියේ පැමිණිලි කළොත් පාරේ බැහැලා යන්න බැරි වෙන බව මාලිංගට හිතුනා. දැන් මාලිංගගෙ වෙරි බැහැලා. හෝටලයේ කාමර කුලිය ගෙවා ගන්නවත් එයාට මුදල් තිබුණේ නැහැ. අන්තිමේදී අතේ තිබුණු මුද්ද උකසට තියලා හෝටල් බිල ගෙවලා මාලිංග ගෙදර ගියේ වෙච්ච අලාභය විඳ දරා ගනිමිනුයි.

රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment