හානි සිදු වූ මැති ඇමැති ගෙවල්වලට වන්දි ගෙවනවා නම් නිවෙස් හානි වූ සාමාන්‍ය ජනතාවටත් වන්දි දිය යුතුයි

737

කැස්බෑවේ වැසියකුගෙන් දුක් ගැනවිල්ලක්

පසුගියදා ඇති වූ කලහකාරී තත්ත්වය හමුවේ නිවාස හා දේපළ හානි සිදු වූ පිරිස් වෙත වන්දි ලබාදීමේදී දේශපාලනඥයන්ට වන්දි ගෙවීමට පෙර තමා වැනි අයටත් සාධාරණයක් ඉටුවිය යුතු යැයි ප්‍රංශයේ පදිංචි ලලිඳු කැලුම් රුබේරු මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

තමාගේ සහෝදරිය වන අයේෂා නිල්මිණි රුබේරු මහත්මිය කැස්බෑව නගරාධිපති ලක්‍ෂ්මන් පෙරේරා මහතාගේ බිරිඳ බවත්, ඔවුන්ගේ නිවසට අලාභහානි සිදු කර ගිනි තැබීමත් සමඟ ඊට ආසන්නයේ තිබෙන තමාගේ නිවස ද ගිනිතබා විනාශ කර ඇතැයි ද ඇය කීවාය. එම නිසා ප්‍රංශයේ වසර 35 ක් තිස්සේ තමා සහ ස්වාමියා රැකියා කර කැස්බෑවේ ඉදිකරන ලද නිවසට කෝටි 195 ක් පමණ වූ හානියක් (නිවස සම්පූර්ණයෙන් ම

ගිනිතබා විනාශ වී ඇත) සිදු වී ඇතැයි ද ඇය කීවාය.

තමා කිසිම අවස්ථාවක දේශපාලනයට හෝ දේශපාලන වේදිකාවක් අසලටවත් ගොස් නැතැයි ද ඇය කීවාය. එවැනි ජීවිකාවක් ගෙන ගිය තමා මෙරටට පැමිණි අවස්ථාවල නොයෙකුත් පාර්ශ්වවලට උදව් උපකාර කර තිබෙන බවත්, ඒ කිසිවෙකුට තමාගේ නිවස බේරා ගැනීමට නොහැකි වී ඇති බවත් ඇය පැවසුවාය.

තමාගේ සහ ස්වාමිපුරුෂයාගේ ජීවිත කාලයම හම්බ කළ මුදල් වැය කර කැස්බෑවේ නිවස කලාත්මක ලෙස නිර්මාණය කර තම පුතාගේ විවාහ උත්සවය ගැනීමට සැලසුම් කරගෙන සිටි බවත්, එම නිවස හානි කර විනාශ කිරීම නිසා තම පවුලට මෙරටට පැමිණ රැඳී සිටින්නට නිවසක් නොමැති වී ඇති බවත් ඇය කියා සිටියාය.

තමාගේ නිවස ගිනි තැබීමට උත්සාහ කරන බවට ප්‍රංශයේ සිටියදී තමාට දැන ගන්නට ලැබීමෙන් පසු පිළියන්දල පොලිසිය ඇතුළු බලධාරීන්ට දැනුම් දුන්නත් ඒ කිසිවෙක් නිවස ආරක්‍ෂාකර දීමට උත්සාහ නොකිරීම තමාට සිදු වූ බලවත් අසාධාරණයක් බව ද ඇය කීවාය.

කැස්බෑව නගරාධිපති ලක්‍ෂ්මන් පෙරේරා මහතාගේ බිරිඳ කියා සිටියේ තම සැමියා පක්‍ෂ කාර්යාලයෙන් ලැබුණු දැනුම්දීමකට අනුව අරලියගහ මන්දිරයට ගිය බව ඇය කීවාය. එම ඇමතුම මගින් මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත්වීමට යන බවත්, ඒ වෙනුවෙන් පළාත් පාලන නියෝජිතයන් ඇමතීමේ අවස්ථාවට සහභාගි වන ලෙස දැනුම් දුන් බව ද ඇය කීවාය. එසේ සැමියා අරලියගහ මන්දිරයට සහභාගි වුවත් කිසිම කලහකාරී සිද්ධියකට සම්බන්ධ වී නැති බව ද ඇය කීවාය. එසේ වුවත් තම නිවස ද ගිනිතැබීම නිසා දරු තිදෙනා සමඟ ජීවත්වීමට වෙනත් නිවසක් නොමැති බව ද ඇය කීවාය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment