හාර ලක්ෂයේ චණ්ඩියාගේ සිට පෙම්වතා දක්වා ගිය රොබින්

220

දීර්ඝ කාලයක් රෝගාතුර වී සිටි ප‍්‍රවීණ රංගන ශිල්පී රොබින් ප‍්‍රනාන්දු මහතා පසුගිය 8 වැනිදා පෙරවරුවේ නාවින්නේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප‍්‍රාප්ත විය. ඔහු මිය යන විට 84 වැනි වියේ පසු විය. 1964 වසරේ රංගනයට පිවිසි රොබින් ප‍්‍රනාන්දු රංගන ශිල්පියෙකු මෙන්ම ප‍්‍රවීණ සටන් අධක්ෂවරයකු ලෙස ද කටයුතු කළ අතර ඔහු චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය රැුසකට රංගනයෙන් සිය දායකත්වය ලබාදී තිබිණි. 2016 මාර්තු 13 වැනිදා ඉරිදා දිවයින සංග‍්‍රහයේ මීවිත අතිරේකයේ පළවූ ඔහුගේ සම්මුඛ සාකච්ඡුාවක් ඇසුරෙන් මෙම ලිපිය පළ කරනුයේ ඔහු කලාවට කළ මෙහෙවර වෙනුවෙනි.

හාරලක්ෂයේ චණ්ඩියා තුළින් ඔහු කළ ස්වභාවික සටන් දුටු පේ‍්‍රක්ෂකයෝ කතානායකයාට ගසන අත්පුඩි ඔහුටද ගැසූහ. සටන් නළුවන්ට අත්පුඩි ගැසූ පේ‍්‍රක්ෂකයන් හැදුනේ ඔහු නිසාවෙනි. කොහොම නමුත් මීට වසර පනහකට ඉහතදී රිදී තිරයේ පෞර්ෂයක් ගොඩනඟා ගත් ප‍්‍රවීණ නළු රොබින් ප‍්‍රනාන්දු සටන් කලාවට පිවිසුණේ අහම්බයකින් නම් නොවේ. සටන් කලාව ඔහුගේ පරපුර හා බැඳී බහතෝරන කාලේ ඔහු හා සෙවණැල්ල මෙන් සිටියේය. ඒ කාලේ ඔරිජිනල් චණ්ඩින්ගේ ළඟම ඇසුරට පත්වූ ඔහු පෙම්වතුන් ගේ ද සිත්ගත් චරිතයක් විය. අපේක්ෂා, දැවෙන පිපාසය, ආශා, හදවත් නැත්තෝ චිත‍්‍රපටවල රොබින් පෙම්වතාට ඉටුකළ සාධාරණය නිසාවෙන් ඔහු පෙම්වතුන් අතරත් ජනපි‍්‍රය විය.

* රොබින් සිනමාවට පිවිසෙන්නේ චණ්ඩියා චිත‍්‍රපටයෙනි. ඒ අතීත මතකය යළිත් අවදි කළොත්?

මම පාසල් යන කාලේ පටන් සිනමාව ගැන ලොකු උනන්දුවක් තිබුණා. මම පාසල් ගියේ සෙන් බෙනඩික් විදුහලට. පාසලේදී මම ජිම්නාස්ටික් කී‍්‍රඩාවට දක්ෂයි. ඉතින් ඒ දක්ෂතාවන් දැකලා පියතුමා ‘‘හිඟන කොල්ලා’’ කියන චිත‍්‍රපටයේ චරිතයක් ලබාදෙන්න කටයුතු කළා. එතැනදී මට කරන්න තිබුණේ සටන් ජවනිකාවක්. ඇත්තටම සිනමාවට එන්න කියලා මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ.

හාර ලක්ෂයේ චණ්ඩියාගේ සිට පෙම්වතා දක්වා ගිය රොබින්



* එතකොට චණ්ඩියා චිත‍්‍රපටයට ආරාධනා ලැබුණේ කොහොමද?

ඒ දවස්වල ආරියරත්න කහවිට මහත්මයා පදිංචි වෙලා හිටියේ මම හිටපු ගෙදරට ගෙවල් දෙක තුනකට එහා පැත්තේ. ඔහු මගෙන් ඇහුවා චණ්ඩියා චිත‍්‍රපටයේ සටන් ජවනිකාවක් තියෙනවා කරන්න කැමැතිද කියලා. මම කොහොමත් කලහකාරී චරිතයක් නෙමෙයි. මම සටන් කලාව හැදෑරුවේ පොතපතින්.

* පසුකාලෙකදී ඔබට පෙම්වතාගේ චරිත එහෙම ලැබෙනවා?

මම ඒ කාලේ පුද්ගලික ආයතනයක රැුකියාවක් කළා. ඒ අතරතුර මම චිත‍්‍රපට හයහතකට රංගනයෙන් දායක වුණා. හැබැයි සටන් දර්ශන විතරයි. ඊට පසුව රස්සාව දිගටම කරගන්න බැරි වුණා. අන්තිමේ රස්සාවෙන් අස්වෙලා සිනමාවට පූර්ණ කාලීනව සම්බන්ධ වුණා. ඒ කාලයේදී තමයි, මට පෙම්වතාගේ චරිතය එහෙම ලැබුණේ.

* ඊට පසුව සිනමාවේ රැුඳෙන්න ඕනෑ කියලා තීරණය කළා. එහෙමද?

අවුරුදු දහයක් රස්සාව කරලා ඉවත් වෙන්න වුණාට පස්සේ මට තීරණය කරන්න සිද්ධ වුණා බත් කන්න රස්සාවක් හොයාගන්න ඕනෑ කියලා. එතකොට මගේ සිනමාවේ මුල් අවධිය. පසුව මම තීරණය කළා සිනමාවේ රැුඳෙන්න.

* සිංහල සිනමාවේ ඔබ දුටු ලස්සනම නිළිය කවුද?

විශේෂයෙන් කියලා කෙනෙක් කියන්න බැහැ. ඒ කාලේ හැමෝම වගේ ලස්සනයි.

* එතකොට කඩවසම් නළුවා විදිහට හිතන්නේ කවුද?

මම හිතන්නේ ටෝනි රණසිංහ.

* ඇත්තටම චිත‍්‍රපට කීයක රඟපාලා තියෙනවාද?

චිත‍්‍රපට සියයක විතර රඟපාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සටන් අධ්‍යක්ෂණය පවා කළා.

* හැබැයි ඔබව ඒ තරම් ඇගයීමට ලක්වුණේ නැහැ නේද?

ඔව්. මම රංගනයෙන් දායක වෙන්නේ කි‍්‍රයාදාම දර්ශනවලට. ඒ වගේම ඒවා අධ්‍යක්ෂණය පවා සිදු කළා. මාව ඇගයීමට ලක්කරන්න කවුරු හරි ඒ පිළිබඳව දැනගෙන ඉන්න එපායැ. ඒ වගේම ඒ ගැන ප‍්‍රශ්න කරලා සාකච්ඡුා කරන්නත් දැනගෙන ඉන්න එපායැ. ඒවා ගැන සොයා බලන්න කවුරුවත් නැති හින්දා අපිවත් ඔය කියන විදිහේ සම්මාන නොලබන ගණයට වැටුණා. මම හැත්තෑව දශකයේ මුල් භාගයේ ප‍්‍රධාන චරිත හතර පහකට පවා දායක වුණා.

* වර්තමානයේ සිනමාවට තිබෙන තැන ගැන මොකද හිතන්නේ?

ඇත්තටම ලොකු දුකක් හිතෙනවා.

* ඇයි ඒ?

කිසිම දැනුමක් නැතිව චිත‍්‍රපට ආරම්භ කරපු පිරිසක් ඉන්නවා. හැටේ හැත්තෑවේ දශකයේ ජනපි‍්‍රය වුණේ කි‍්‍රයාදාම චිත‍්‍රපට. පසුකාලීනව විවිධ අය විවිධ චිත‍්‍රපට කළා. මේවාගේ හොඳ නරක තෝරන්න දාලා හිටපු පිරිසටත් එතරම් ලොකු දැනුමක් තිබුණේ නැහැ. ඔවුන්ට අධ්‍යක්ෂණය, රඟපෑම, නිෂ්පාදනය කියන කාරණා පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. ඔවුන් තමයි මේවායේ හොඳ නරක තේරුවේ. ඒ නිසා තමයි සිනමාවට මේ වගේ තත්ත්වයක් උදාවුණේ.

* අද බිහිවෙන නිර්මාණවල සිටින රංගන ශිල්පීන් ගැන මොකද හිතන්නේ?

හොඳ දෙතුන් දෙනෙක් ඉන්නවා. දෙයක් තේරුම් අරගෙන රඟපාන පිරිස බොහොම අඩුයි. ඔය ගැන අපේ මත ප‍්‍රචාරය කරන්න ගියා කියලා අපිට හොඳක් වෙන්නේ නැහැනේ. ඊට පස්සේ වෙන්නේ අපිත් එක්ක නිකං අමනාප වෙන එක විතරයි. අනික පේ‍්‍රමවන්තයා, පේ‍්‍රමවන්තිය, දුෂ්ටයා කියන චරිත වටා තමයි අද බොහෝ විට සිනමාව බිහිවෙලා තියෙන්නේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment