හාල් කිලෝවක් ගන්න කැරට් කිලෝ දෙකක් විකුණන්න වෙලා…. නුවරඑළියේ ගොවියා හාන්සියි

224

මේ දිනවල රටේ පවතින දැඩි සංචරණ සීමා යටතේ ආර්ථික මධ්‍යස්ථාන සතියට දින දෙකක් හෝ තුනක් පමණක් විවෘතව තැබීම හේතුවෙන් නුවරඑළිය එළවළු මිල ගණන් ඉතා ශීඝ‍්‍රයෙන් පහත වැටී ඇති අතර ඒ හේතුවෙන් තමන් නිෂ්පාදනය කරන එළවළු විකුණාගත නොහැකිව ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇත. ඒ සම්බන්ධව නුවරඑළියේ ගොවීන් කිහිප දෙනෙක් අදහස් දැක්වූයේ මෙසේය.

වින්සන් දිසානායක –

එළවළු මිලදී ගන්නේ ඉතාමත් අඩු මිලට. ගෝවා කිලෝව රු. 100 යි.

බෝංචි 120 යි. කැරට් 70 යි, රාබු 30 යි, නෝකෝල් 50 යි, සලාද 50 යි,

බීට් 50 යි. අපි වගාව කරන්නෙ ණයවෙලා. අව්වට වැස්සට වේලිලා අමාරුවෙන් හදාගන්න එළවළු ටික විකුණගන්න විදිහක් නෑ. අද අපිට පොහොර බේත් දෙකම නෑ. පිට පළාත්වල ඉන්න ඥාතීන්ගෙන් අහපුවම හැම එළවළුවක්ම රු. 200 ට වැඩියි. එළවළු බෙදාහැරීමේ ක‍්‍රමවේදයක් නෑ.

ප‍්‍රසාද් සිවගනේෂන් –

අපෙන් එළවළු ගන්නෙ තුට්ටු දෙකට. කිලෝ 500 ක් අස්වැන්න ගන්න වත්තකින් අද ගන්න පුළුවන් කිලෝ 100 යි. පොහොර කෘමිනාශක අහස උසට නැගලා. අපේ වගාව ගැන තීරණ ගන්නෙ කොළඹ ඒ.සී. කාමරවල අය.

රාම් ප‍්‍රකාශ් –

නුවරඑළිය, වැලිමඩට මේ කාලෙ වැස්ස වැඩියි. දිලීර නාශක ඕන. දැන් දිලීර නාශක පැකට් එකක්වත් හොයා ගන්න නෑ. අපිට කොම්පෝස්ට් දෙන්නෙ ටී.වි. එකෙන් විතරයි. අපිට වවන්න පුළුවන් මේ ජනවාරි වෙනකං විතරයි. ඊට පසසෙ අපිට වෙන්නෙ වහබීලා මැරෙන්න.

එස්. රාමේශ්වරී –

කැරට් කිලෝ 2 ක් විකුණන්න ඕන හාල් කිලෝ එකක් ගන්න. මිල හොඳටම අඩුවෙලා. කෘෂිකර්ම අමාත්‍යාංශයට වැඩපිළිවෙළක් නෑ. මෙයාලගෙ විසිල් විතරයි බල්ටි නෑ. අපේ එළවළු විකුණගන්න බැරිව වගා භූමිවලම විනාශ වෙනවා.

නාලක රත්නායක – නුවරඑළිය

advertistmentadvertistment
advertistmentadvertistment