හාල් ද මෝල් ද? (2) – (ගහ මුල සහ මරඳගහමුල)

1314

ඕනෑම කුණු සපත්තු කුට්ටමක් රෙපෙයාර් එකක් දී හොඳින් පොලිෂ් කර වැඩි මිලකට විකිණිය හැකිය. සම්බා හාල් තවදුරටත් සිහින්කොට ඉතා හොඳින් පොලිෂ් කර කීරි සම්බා ලෙස අලෙවි කරන ලංකාවේ හාල් මාර්කට් එක ගැන අපි ඊයේ සහසුද්ද විස්තරයක් කළෙමු. හාල් යුද්ධයේදී ස්ථිර වශයෙන්ම ආණ්ඩුව පැරදිණ. ආණ්ඩුව හාල් සටනින් පරාජය වීමට පටන් ගන්නේ සහල් මිල පාලනය කරමින් ප‍්‍රකාශයට පත්කරන ලද ගැසට් පත‍්‍රය ඉවත් කරගැනීමත් සමගය. පුංචි උදාහරණයක් කියමු. එම ගැසට් පත‍්‍රයට අනුව කීරි සම්බා කිලෝවක උපරිම මිල රුපියල් 125 ක් විය යුතුය. ගැසට් පත‍්‍රය ප‍්‍රකාශයට පත් කිරීමත් සමගම කීරි සම්බා වෙළෙඳ පොළෙන් අතුරුදන් වූ අතර ගැසට් පත‍්‍රය බලරහිත කර පැය විසිහතරක් තුළ (එනම් පෙරේදා) කීරි සම්බා සහල් කිලෝව රුපියල් 210 ගණනේ රට පුරා සුපර් මාර්කට්වලින් මතුවෙන්නට පටන් ගත්තේය. මේ ආකාරයට රජයේ තහංචි ඉවත් වූ වහාම සහල් තොගවලින් සුපර් මාර්කට් පිරවීමට හැකිවන පරිදි සහල් සඟවා තැබීම ඉතා විශේෂ ශිල්පයක් විය හැකි බව අපි විශ්වාස කරමු. මේ සෙල්ලම දන්නේ ලංකාවේ තොග වෙළෙඳුන් හා සිල්ලර වෙළෙඳුන් පමණි. කෙසේ වුවද අවසාන ඵලයේදී සහල් තොග වෙළෙඳ ප‍්‍රජාව ජයග‍්‍රහණය කර ඇති බව පෙනේ. මෙය ධනවාදය තුළදී අපේක්ෂා කළ යුතු තත්ත්වයකි. උද්ධමනයේ එක් අවස්ථාවකදී ආණ්ඩුව මුදලාලිට පරදියි. මෙය ඉන්දියාවේත් මෙසේමය. හැබැයි පාලනය කෙරුණු අර්ධ ධනවාදී ආර්ථිකයක් ඇති චීනය වැනි රටවල මේ සෙල්ලං කළොත් මුදලාලිට වෙන්නේ වෙඩි කන්නට ය.

 ශ‍්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳාම විවිධ කණ්ඩායම් විසින් අතට ගනු ලැබ ඇත. හාල් වෙළෙඳාම ඇත්තේ පොලොන්නරුවේ වී මෝල්කාරයන් කිහිපදෙනකු අතය. ඊට පෙර හාල් ඒකාධිකාරය තිබුණේ මරඳගහමුල ය. ගහක් මුල තිබූ බැවින්දෝ වසර කිහිපයක් තුළ අතුරුදන් වූ මරඳගහමුල සහල් ඒකාධිකාරය පොලොන්නරුවෙන් මතු විය. මේ රටේ මිරිස්, කහ, තුනපහ ඇතුළු අත්‍යවශ්‍ය කුළුබඩු ව්‍යාපාරය පිටකොටුවේ කිසියම් කණ්ඩායමක් අත පවතී. මිරිස් මුදලාලිලා ලෙස පෙනී සිටින සිංහලයන් කිහිපදෙනකු පිටකොටුවේ හරස්වීදිවල ඇවිදින නමුදු ඒ සියලූදෙනා දෙවන පෙළ මුදලාලි කබ්බෝය. මේ රටේ සීනි ඒකාධිකාරය තනිකරම පවතින්නේ පිටකොටුවේ සිටින තොග වෙළෙඳුන් තිදෙනකු අතය. මේ ආකාරයෙන් ලංකාවේ වෙළෙඳාම Cartel වලට බෙදී පවතී. සාමාන්‍යයෙන් කාටල් යන පදය යෙදෙන්නේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කරන කල්ලි සඳහා ය. මත්ද්‍රව්‍ය කාටල් වැඩිහරියක් ලතින් ඇමරිකාවේත්, විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රටක් වූ කොලොම්බියාවෙත් ඇත. මේ කාටලයක ප‍්‍රධානියා. God Father ලෙස හඳුන්වනු ලැබේ. ලංකාවේ වෙළෙඳ කාටල් සහ ලතින් ඇමරිකාවේ මත්ද්‍රව්‍ය කාටල් අතර ඇති එකම වෙනස වන්නේ ලංකාවේ කාටල්කාරයන් මහ පාරේ ගහ මරා නොගැනීමත් ලතින් ඇමරිකාවේ කාටල්කාරයන් මහ පාරවල් දිගේ වෙඩි තබා ගනිමින් ලේ හැලීමත්ය. මේ මොහොතේදී මේ රටේ ආර්ථිකයට වැඩිම බලපෑම කළ හැකි කාටල්කාරයා හාල් මෝල්කාරයා ය. ඔහු සති දෙකක් සිය ගබඩා වසා දමා සහල් නිකුත් කිරීමෙන් වැළකී සිටියොත් අපට සිදුවන්නේ මහ පොළොව උලා කන්නටය. එවිට අඩු මිලට සහල් ටොන් දහසක් ආනයනය කර සහල් මිල රුපියල් 100 ට අඩුවෙන් තබන බව වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන කියනු ඇති. එහෙත් කොච්චිකඬේ පල්ලිය ගාව හිඟන්නන්ට කෑම බෙදන්නාක් මෙන් කිසිම රටක් කිසිම රටකට නොමිලේ සහල් දෙන්නේ නැත. සහල් මිලට ගැනීමට අපට ඩොලර් ද නැත. අන්තිමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පාමුලට ගොස් ඔවුන් කියන කොන්දේසියකට යටත් වී ඩොලර් ලබාගෙන හාල් මිලට ගැනීම හැර වෙන මගක් අපට නැත. මේ ආකාරයෙන් හාල් ටොන් 1000 ක් ලංකාවට ගෙනාවා යයි සිතමු. ඒවා කිලෝව රුපියල් 98 ගණනේ මහජනතාවට නිකුත් කරනවා යයි සිතමු. එවිට හාල් මෝල්කාරයන් තමන් සතු දැවැන්ත සහල් තොග වෙළෙඳපොළට මුදාහැර රුපියල් 93 ගණනේ සහල් කිලෝව විකුණන්නට පටන් ගන්නවා ඇත. මෙකල්හි ආණ්ඩුව වළ පයයි ගොඩ පයයි තත්ත්වයකට පත්වී තමන් විසින් ගෙන්වන ලද සහල් තොග සත්ව ආහාර වශයෙන් විකුණන්නට සිදුවීමේ ඉරණම භුක්ති විඳිනවා ඇත.

 මේ සඳහා ප‍්‍රතිකර්මයක් වශයෙන් අපි අපේ පුංචි මොළයට හැෙඟන සරල විසඳුමක් යෝජනා කරමු. ඒ වූකලී පුංචි මෝල්කාරයන් ශක්තිමත් කිරීමය. ආණ්ඩුව දෙන තරමක් ණය දෙන්නේත් දෙන තරමක් පහසුකම් දෙන්නේත් මහා පරිමාණයේ හාල් මෝල්කාරයන්ටය. ඒ විකල්පයෙන් ඉවත් නොවී ආණ්ඩුව දිගටම පැරණි විදිහට කටයුතු කළොත් මතුයම් දවසකදී සීමාසහිත සහල් රාජ්‍ය අමාත්‍යාංශය නමැති පුද්ගලික අමාත්‍යාංශයක් පිහිටුවා එහි රාජ්‍ය ඇමැති ලෙස ඩඞ්ලි සිරිසේනත් අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස රත්න හාල් සහ නිපුන හාල් ඩබලත් පත්කිරීමට සිදුවන්නේමය.

advertistmentadvertistment
advertistmentadvertistment