හාල් මිල මට්ටු කරන්න ආණ්ඩුවෙන් යෝජනා දෙකක්

585

ඉතාලි සංචාරය නිමවා ලංකාවට පැමිණි අගමැතිවරයාට ප‍්‍රශ්න රාශියකට මුහුණ පාන්නට සිදුවිය. බරපතළම ගැටලූව වී තිබුණේ රට තුළ පවතින අත්‍යවශ්‍ය ආහාර මිල වැඩිවීම හා හිඟය පිළිබඳ ප‍්‍රශ්නයයි.

රට තුළ කොතරම් පාලන මිලක් නියම කර තිබුණත් ඒ සඳහා ගැසට් පති‍්‍රකා මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබුණත් සහල් වෙළෙන්දන්ගේ ඒකාධිකාරය හා හැසිරීම පාලනය කිරීම රජයට පහසු වූයේ නැත. සහල් වෙළෙන්දෝ හිතුවක්කාරයෝ වෙළෙඳපොළ පාලනය කරන්නට වූහ.

රජය කීප වතාවක්ම මේ සහල් ඒකාධිකාරය හා හිතුවක්කාරය පිළිබඳ තීන්දුවක් ගන්නට ඉහළ පෙළේ සහල් වෙළෙඳුන් කිහිපදෙනා සමග සාකච්ඡා කළේය. එහෙත් ඇතිකර ගන්නා ඒ සියලූ එකඟතා සාකච්ඡා කරන මොහොතට පමණක් සීමා විය. ගැසට්ටුව ගසා මිල පාලනය කරන්නට සූදානම් වීමෙන් අනතුරුව සහල් වෙළෙන්දෝ කළේ රට තුළ සහල් හි`ගයක් මවාපාමින් වෙළෙඳපොළ කි‍්‍රයාකාරිත්වය අඩපණ කරන්නට උත්සාහ කිරීමයි.

රජයට සම්බන්ධ ඇමැතිවරු මෙන්ම ප‍්‍රකට දේශපාලනඥයන්ගේ ළඟම ඥාතීන් පවා මේ හාල් ව්‍යාපාරවල ඉහළින්ම සිටියත් ඔවුන් ද මේ සහල් වෙළෙඳ ඒකාධිකාරය තුළ බලවත් චරිත ලෙස හිටියා මිස රජය ගැනවත් රටේ ජනතාව ගැනවත් කල්පනා කළේ නැත. ලංකාවේ කිරිපිටි සම්බන්ධයෙන් ද ඒ වනවිට සහල් මාෆියාව හා සමානම ඒකාධිකාරයක් කි‍්‍රයාත්මක වන්නට පටන්ගෙන තිබිණි. ලංකාවේ නිෂ්පාදනය කරන හයිලන්ඞ් හා පැලවත්ත කිරි හැකි තරම් දියර කිරි ලෙස හා පිටිකිරි ලෙස වෙළෙඳපොළට නිකුත් කරනු ලැබ තිබුණත් රටේ ඉල්ලූමට සාපේක්‍ෂව කිසි ලෙසකත් කිරිපිටි සැපයුම ප‍්‍රමාණවත් වී තිබුණේ නැත.

ඒ අතර ආර්ථිකය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳ හිඟයක් මතුවීමට තවත් ප‍්‍රධාන කාරණාවක් බලපාන්නට පටන්ගෙන තිබිණී. ඒ වූකලී කිරිපිටි, අල, ලූනු, සීනි ඇතුළුව අත්‍යවශ්‍ය ආහාර තොග ඇතුළත් කන්ටේනර් 800ක් මුදල් ගෙවා නිදහස් කර නොගැනීම හේතුවෙන් වරාය තුළ ගොඩගැසී තිබීමය.

මේ ප‍්‍රශ්න සියල්ල එක පොකුරට අගමැතිවරයාගේ හිස මත පතිත වූයේ පසුගිය සතියේ ජනාධිපතිවරයා ද ලංකාවේ නොසිටි පසුබිමක් තුළය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මේ පිළිබඳ මුලින්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සමග සාකච්ඡා කළේය. වහාම ජීවන වියදම් කමිටුවක් කැඳවා මෙම ප‍්‍රශ්න සියල්ල එහි සාකච්ඡා කරන්නට එකඟත්වයක් ඇතිවිය.

එහිදී අගමැතිවරයා ජීවන වියදම් කමිටුවට සහභාගි වීමටත් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ කොවිඞ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්වීමට සහභාගි වීමටත් තීරණයක් ගත්හ.

මේ අනුව ජීවන වියදම් පිළිබඳ කමිටුවේදී රටේ උද්ගතව ඇති මුදල් ප‍්‍රශ්නය හා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ගැන ප‍්‍රශ්නය බරපතළ ලෙස සාකච්ඡාවට ලක්විය.

හාල් මෝල් හිමියන් මේ විදියට වැඩ කරන්න පටන් ගන්නවා නම් රජයටත් ඒ ගැන දැඩි තීන්දු කීපයක් ගන්න වෙනවා… එක් පාර්ශ්වයක් පෙන්වා දුන්හ.

අපි ගැසට් ගහ ගහ හාල් මෝල් හිමියන්ගේ කි‍්‍රයාකලාපය හා වෙළෙඳාම පාලනය කරන්න ගියත් මේ තියන ප‍්‍රශ්න අස්සේ ඒවාට උත්තර හොයන්න බෑ. අපි නම් කියන්නේ වහාම රජය මේ හාල් වෙළෙඳාමට සහභාගි වෙන්නම ඕන. වෙළෙඳ ඒකාධිකාරය බිඳින්න නම් රජයටත් හාල් වෙළෙඳාම පිළිබඳ මැදිහත්වීමක් අවශ්‍යයි.

අපි හාල් නිෂ්පාදනය කරන්න රජය තුළින් වැඩපිළිවෙළක් හදන්න ඕන… අගමැතිවරයා ඇමැතිවරයාට යෝජනා කළේය.

හාල් මිල පාලනය කරන්න හාල් තොගයක් ගෙන්නලා මාකට් එකට යවමු. සතොස සමුපකාර මගින් රට පුරාම හාල් බෙදාහරින්න පුළුවන්. ඇමැතිවරු අදහස් ඉදිරිපත් කළහ.

ඩොලර් නිදහස් කරගන්න
තීන්දුවක් අරන්

ඒ අතර වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර තොග රැගත් කන්ටේනර් 800 පිළිබඳ ප‍්‍රශ්නය ද මෙහිදී සාකච්ඡා විය.

මේ ටික නිදහස් කරගන්න වෙළෙන්දෝ රාජ්‍ය බැංකු වලින් ඩොලර් ඉල්ලනවා. බැංකුවලට ඩොලර් දෙන්න විදියක් ඇත්තෙම නැහැ.

මේ සියල්ල ඉතා සාවදානව බලා සිටි අගමැතිවරයා අවසානයේ තීන්දුවක් ගත්තේය.

මේ ඔක්කොම ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරල ඉක්මන් විසඳුමකට එමු. තීන්දුවක් ගනිමු. කන්ටේනර්වලට ඩොලර් ටිකක් නිදහස් කරන්න පුළුවන් ද කියලත් සාකච්ඡා කරල බලන්නම්.

පසුගිය සති අන්තය තුළ මේ ප‍්‍රශ්න පිළිබඳ අගමැතිවරයා රජයේ ප‍්‍රධාන පෙළේ ඇමැතිවරු හා නිලධාරීන් කිහිපදෙනකු සමගම සාකච්ඡා කළේය. ඒ අනුව කැබිනට් රැස්වීමේදී සියලූ ප‍්‍රශ්නවලට විසඳුමක් ගන්නට එකඟතාවක් ඇතිවිය.

පසුගිය සඳුදා සූම් තාක්‍ෂණය ඔස්සේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ විය. මෙහිදී ඇමැතිවරු මූලිකවම සාකච්ඡා කළ කරුණු අතර වූයේ සහල් මාෆියාව පිළිබඳ ප‍්‍රශ්නයයි. සහල් මෝල් හිමියන් වෙනුවෙන් මාධ්‍ය ඔස්සේ විවිධ මත පළ කරමින් ඩඞ්ලි සිරිසේන දක්වා තිබූ අදහස් මෙහිදී සාකච්ඡාවට ලක්විය.

එයා සහල් මෝල් හිමියන් සමග එකතුවෙලා සහල් සඳහා වෙනම මිලක් තීරණය කරන්න ප්‍රෙස් කොම්ෆරන්ස් පවත්වනවා. එයාට කොහොමද එච්චර හයියක් ආවේ. ඇමැතිවරු ප‍්‍රශ්න කළහ.

හාල් මිල පිළිබඳ ගැසට් එකක් තියෙද්දී එහි මිල තීරණය කරල තියෙද්දී ඉහළ මිලට විකුණුව හොත් නඩු පවරන්න දඩ ගහන්න පවා නිර්දේශ ඉදිරිපත් කරල තියෙද්දී වෙනම උපරිම මිලක් තීරණය කරන්න එයාට හයිය තියනවා. එහෙම කොහොමද වෙන්නේ. කෙසේ වෙතත් මෙම කරුණ සාකච්ඡා කළ කැබිනට් මණ්ලය එහිදී විශේෂ වැදගත් තීන්දු දෙකක් ගත්තේය. එකක් වහාම කි‍්‍රයාත්මක වන පරිදි හාල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂයක් පිටරටින් ගෙන එන්නට තීන්දු කිරීමයි. දෙවැන්න වූයේ වී වගාවට ප‍්‍රසිද්ධ පළාත්වල රජයේ හාල් කර්මාන්තශාලා පටන් ගන්නට තීන්දුවක් ගැනීමයි.

හාල් කර්මාන්තයට රජය මැදිහත් වීම සඳහා මෙලෙස මහා පරිමාණයෙන් සහල් මෝල් පළාතකට එක බැගින් පටන් ගන්නට රජය ගත් තීරණය ගැන ඇමැතිවරු සතුට පළ කර සිටියහ.

මේ අතර වරායේ සිරවී තිබෙන කන්ටේනර් 800 නිදහස් කර ගැනීම සඳහා ඩොලර් නිදහස් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීන්දු කළේය.

මම ඒ ගැන රාජ්‍ය බැංකුවලට උපදෙස් දෙන්නම්. අමාත්‍ය බැසිල් කීවේය.

මේ වේලාවේ සරත් වීරසේකර ඇමැතිවරයා තවත් අවනඩුවක් ඉදිරිපත් කළේය.

සුදුලූනු ගනුදෙනුව ගැන හෙළිදරව් කළේ මේ රටේ මාධ්‍ය. දැන් ඔන්න පොලිසිය සුදුලූනු ගැන හෙළිදරව් කරපු පත්තරවල කර්තෘවරුන්වයි ලියපු ලේඛකයින්වයි සීඅයිඞී එකට කැඳවලා කටඋත්තර ගන්න යනව කියල මට මාධ්‍යවේදියෙක් කතා කරල කිව්වා.

ඇමැතිවරයාට කතාකර තිබුණේ එක්තරා ඉංගී‍්‍රසි ජාතික පුවත්පතක කර්තෘවරයෙකි. ඔහු ඒ ගැන අගමැතිවරයාට කරුණු හෙළිදරව් කළේය.

ඒක එච්චර හොඳ වැඩක් නම් නොවෙයි. පොලිසියට ඔබ ඒ ගැන උපදෙස් දෙන්න. මාධ්‍යත් එක්ක ගනුදෙනු කරන කොට හිතවත්කමෙන් අවබෝධයෙන් කටයුතු කරනවා හැර ගැටුම්වලට යන්න හොඳ නෑ.

අගමැතිවරයා කීවේය.

ඒ අනුව සරත් වීරසේකර ඊට පසුව රහස් පොලිසියේ අදාළ ප‍්‍රධානීන්ට කතාකර ඒ මගින්ද උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපතිවරයාට
ඉහළ පිළිගැනීමක්

හාල් මිල මට්ටු කරන්න ආණ්ඩුවෙන් යෝජනා දෙකක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සම්මේලනයේ 76 වන සැසිවාරයට සහභාගී වන්නට නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂට එරටින් ලැබුණු පිළිගැනීම හා සැලකිල්ල කැපී පෙනෙනසුලූ එකක් විය. දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කණ්ඩායම් විසින් ගෝඨාභයට විරෝධය පාන්නට කුඩා කුඩා විරෝධතා ව්‍යාපාර කීපයක්ම සංවිධානය කර තිබුණත් රාජ්‍යතාන්ත‍්‍රිකව ඇමරිකාවෙන් ලැබුණු සැලකිල්ල හා පිළිගැනීම හමුවේ ඒ සියල්ල යටපත්ව ගියේය. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ බුටරේස් මහතාගෙන් අප ජනාධිපතිවරයාට ලැබුණු සැලකිල්ල හා පිළිගැනීම සුළුපටු එකක් නොවීය.

සාමාන්‍යයෙන් සංවත්සරයට පැමිණෙන ඕනෑම රාජ්‍ය නායකයෙකුට ලේඛනයක සටහනක් තබා ඡායාරූපයකටත් පෙනී සිට කතාබහ කරන්නට විනාඩි 15 බැගින් වෙන්ව තිබුණත් අප ජනාධිපතිවරයාට ඒ සඳහා විනාඩි 47 ක කාලයක් ලැබී තිබීම ම විශේෂත්වයකි.

මහලේකම්වරයාගේ ලේකම්වරු විනාඩි 15 ක් ඉක්ම ගිය බව පළමු විනාඩි 15 දීත් දෙවැනි විනාඩි 15 දී ත් දෙවරක්ම පැමිණ ඔරලෝසුව පෙන්වා මතක් කර සිටියත් බුටාරෙස් මහතා සාකච්ඡාවට තවත් කාලය අවශ්‍ය බව සංඥා කළේය.

මහලේකම්වරයා හමුවූ දිනයට පසුදා (21) රාජ්‍ය නායකවරුන්ගේ හමුව පැවැත්විණි. ජනාධිපතිවරයා එහිදී රාජ්‍ය නායකයින් අමතා කරනු ලැබූ කතාව සමුළුව තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් ලක්වූ කතාවක් විය. අන්තෝනියෝ බුටරේස් මහතා පවා සිය කතාවේ දී ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ කතාවෙන් කොටස් කිහිපයක් උපුටා ගෙන කියවනු ලැබීම ද විශේෂත්වයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල සංචාරය තුළ විශේෂ රාජ්‍ය නායකයන් කිහිප දෙනෙක්ද හමුවිය.

රට සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡා කිහිපයකටම සහභාගි විය. ඒ හැරුණු විට ඇමරිකාවේ සුවිශේෂී සංවිධානවල හා ආයතනවල නියෝජිතයන් සමග ද සාකච්ඡා වට කීපයකට සහභාගි විය.

මේවාට අමතරව ජනාධිපතිවරයා කලකට පසු නිදහසේ මද විවේකයක් ලැබූ සංචාරයක් ලෙස ද මෙම සංචාරය හැඳින්වූවාට වරදක් නැත.

ඇමරිකාවේ ජීවත්වන ශ‍්‍රී ලාංකික ඥාතීන්, හිතවතුන් පමණක් නොව, ශ‍්‍රී ලාංකික සංවිධානවල නියෝජිතයන් සමඟ ද ඔහු මෙම සංචාරයේදී සුහද සාකච්ඡා වට කිහිපයකට සහභාගි වීය.

මේ අතරතුර පසුගිය සති අන්තයේ ජනාධිපතිවරයා ලංකාවේ නොසිටියත් ඔහුගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඞ් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීම සුපුරුදු පරිදි පවත්වන්නට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පියවර ගත්තේය.

වෙනදා ඊට සහභාගී වන සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක නිලධාරීන්, වෛද්‍යවරුන්, දේශපාලනඥයන් හා අදාළ නිලධාරීන් සුපුරුදු පරිදි පැමිණ සිටියහ. එදින තවත් තැනක ජීවන වියදම් කමිටුවේ රැස්වීමක් තිබූ බැවින් අගමැතිවරයාට මේ සඳහා පැමිණීමට නොහැකි විය. අමාත්‍ය බැසිල් මෙවර කමිටුවේ අරමුණු පැහැදිලි කරමින් ලද කථනයෙන් පසුව මුලින්ම විමසුවේ රටපුරා එන්නත්කරණයේ වත්මන් තත්ත්වය ගැනය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ පිළිබඳ දිගු විස්තරයක් කළේය.

‘‘එන්නත්කරණය ඉතාම හොඳයි සර්. නමුත් බස්නාහිර පළාතේ විතරක් 20 – 30 අතර වයස පරාසයේ අය එන්නත ගන්න දක්වන උනන්දුව අඩුයි”

‘‘අපට කියන්න බලන්න ෆිගර්ස් වලින්… අපි දැන් එන්නත්කරණයේ කොතනද ඉන්නේ කියලා..?”

‘‘රටේ සම්පූර්ණ ජනගහනයෙන් 60.4%කටම පළවෙනි එන්නත ලබා දීලා ඉවරයි. දෙවැනි එන්නත 52.6% ලබා දීල තියෙනවා මේ වෙනකොට.”

‘‘අපි මේක ගැන ඉතාම සැලකිලිමත්. මූලික රෝහල්වලට වඩා ඉහළින් තියෙන සියලූ රෝහල්වල, විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ තමයි මේක කරන්නේ. හදිසි ප‍්‍රතිකාර ඒකක තියෙන තැන්වල තමයි අපි මේ එන්නත්කරණය සඳහා තෝරාගත්තේ…” වෛද්‍ය පාදෙනිය විස්තර කළේය.

‘‘හොඳයි… මොනවද මේ දරුවන්ට අපි දැන් ලබාදෙන එන්නත්….?”

‘‘දැනට අපි ෆයිසර් එන්නත තමයි මේ ආබාධ සහිත දරුවන්ට ලබා දෙන්න පටන් අරන් තියෙන්නෙ…”

”මුලින්ම අපි කොළඹ, කුරුණෑගල, අනුරාධපුරය කියන දිස්ත‍්‍රික්කවලින් මේ එන්නත්කරණය පටන් ගන්නවා. මේක මුලින්ම අපි ආරම්භ කරන්නේ කොළඹ ළමා රෝහලේන්.” වෛද්‍යවරු ඒ විස්තර ඉදිරිපත් කළේාය.

මෙහිදී බැසිල් රාජපක්ෂ එන්නත ගෙන්වීමට තීරණය ගත් ජනාධිපතිවරයාගේ සිට එන්නත්කරණය රට පුරා ගෙන යාම සඳහා වෙහෙස වුණු සෞඛ්‍ය අංශ බලධාරීන්ට, සෞඛ්‍ය අංශ නිලධාරීන්ට, පවුල් සෞඛ්‍ය සේවක ආයතනවල අයට හා ආරක්ෂක අංශවල කැපවුණු සේවක සේවිකාවන්ට දිගු ස්තුතියක් කරන්නට පටන් ගත්තේය.

‘‘එන්නත්කරණය සාර්ථක කරගෙන අපි අද මේ තැනට ඇවිල්ලා තියෙන්නෙ මේ හැම කෙනෙක්ම එක වගේ කැප වෙලා තමන්ගෙ රාජකාරිය සේවයක් හැටියට ඉටු කරපු නිසයි…”

ඉන් පසුව කමිටු සාමාජිකයෝ කතා කරන්නට පටන් ගත්තේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම හා සම්බන්ධයෙනි. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය ගැන ලොකු විස්තරයක් කළේය.

‘‘මං මේ කියන්නේ නගරවල තියන අවශ්‍යතාවයන් ගැන… අපට පුළුවනි නම් අවම සීමාවන් යටතේ නගරවල තියෙන රෙස්ටොරන්ට් වලටත් යම්කිසි සහනයක් දෙන්න මේ වෙලාවේ හොඳයි…” ප‍්‍රසන්න රණතුංග පෙන්වා දුන්නේය.

‘‘සමහර අයට මාස ගාණක් තිස්සේ අඳින්න රෙදි කෑල්ලක් ගන්න තැනක් නෑ… ගෙවල්වල ඔය ප‍්‍රශ්නත් තියනව සර්… රෙදි කඩවලටත් යම් සහනයක් දුන්න නම් තමයි හොඳ..”

‘‘මේ සීමාවල් දාගෙන රට වහගෙන කරගෙන ඉන්න නිසා තමයි අපි රෝගීන් හා මරණ මේ තරමට අඩු කරගන්නේ. නමුත් දැනටත් තත්ත්වය සම්පූර්ණයෙන්ම සතුටුදායකයි කියලා කියන්න බැහැ. දිනකට රෝගීන් 1500ක් විතර තවම අසුවෙනවා. මේ තත්ත්වය තවදුරටත් හොඳ අතට ගන්න නම් මේ හිර කිරීම් මේ විදියට තව ටිකක් කල් තියාගන්නම වෙනවා…” සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉතා සාවධානව කරුණු පැහැදිලි කර දුන්නේය.

ඉන් අනතුරුව සියල්ලෝම කතාබහ කළේ රටට ආදායම් සපයා ගන්නා මාර්ග පිළිබඳවය. මෙහිදී සංචාරක ව්‍යාපාරය ගැන වැඩි අවධානයක් යොමුවිය.

‘‘සංචාරක කර්මාන්තය විවෘත කිරීම පිළිබඳව අපිට ප‍්‍රශ්නයක් නැහැ. අපට පුළුවන් ඒ ගැන නිර්දේශ ටිකක් හඳුන්වලා දීලා ක‍්‍රමානුකූලව සංචාරකයන්ට රට විවෘත කරන්න. සංචාරකයෝ හැටියට එන අය එන්නත්කරණය සම්පූර්ණ කරලා තියෙනව නම් ප‍්‍රශ්නයක් නැහැ නේ…”

‘‘සංචාරක ව්‍යාපාරය පිළිබඳව හොඳ නිර්දේශ ටිකක් හඳුන්නලා දීලා අපට ඒ ප‍්‍රශ්න විසඳගන්න පුළුවන්… ඒ වුණාට අපට දැන් ප‍්‍රශ්නයක් තියෙන්නෙ පාසල් විවෘත කිරීම ගැනයි… පාසල් දරුවෝ මේ වෙනකොට ලොකු පීඩාවක ඉන්නේ… ඒගොල්ලන්ට තවදුරටත් පාසල් නැතිවුණොත් ළමයින්ට වෙනත් වෙනත් සමාජ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා… මොකක්ද අපට තියෙන හැකියාව පාසල් විවෘත කරන්න…” බැසිල් ප‍්‍රශ්න කළේය.

පාසල් ළමයින්ට එන්නත්කරණය
බොරු කතාවක්, පාදෙණිය කියයි

‘‘පාසල් විවෘත කරන්න කලින් පාසල් ළමයින් එන්නත්කරණය පිළිබඳ ප‍්‍රශ්න ගණනාවක් තියෙනවා විසඳගන්න…” තවත් දේශපාලනඥයෙක් කීවේය.

‘‘නෑ… නෑ… ඒක බොරු කතාවක්. පාසල් විවෘත කිරීමයි එන්නත්කරණයයි අතර කිසිම සම්බන්ධයක් නෑ… දැන් වුණත් පුළුවන් පුංචි දරුවන්ගේ පාසල් විවෘත කරන්න. යුනිසෙෆ් එක කියලා තියෙනවා දැන් වහාම පාසල් පටන් ගන්න කියලා. පාසල් විවෘත කිරීමට එන්නත්කරණය අවසන් කරන්න ඕන නැහැ. අනිත් එක තමයි අවුරුදු 12න් පහළ අයට විදින්න ඕන මොන එන්නත ද කියලා තවම නිර්දේශයක් නෑ… පාදෙනිය පැහැදිලි කළේය.

ඕගොල්ලොන්ගේ නිර්දේශ මොනවද…?

අපි කියන්නේ ලොකු දරුවන්ට වඩා පුංචි දරුවන්ට මේ වසංගතය බෝවෙන ප‍්‍රතිශතය ඉතාම අඩුයි… ඒ නිසා පුංචි දරුවන්ට පාසල් පටන් ගන්න පුළුවන්…

එහෙම නම් අපි ළමයි දෙසීයට වඩා අඩුවෙන් ඉන්න පාසල් ඉස්සෙල්ලා විවෘත කරමු…” නිලධාරියෙක් කීවේය.

පෙරපාසල් විවෘත කිරීම් ගැනත් මේ ගමන්ම සලකා බලන එක හොඳයි… මොකද පෙර පාසල් යවන්නේ නැතුව පුංචි දරුවෝ සමාජානුයෝජනයට හුරු කරන්න බැහැ….” ඇමැති ඩලස් කීවේය.

‘‘අපි මේ වෙලාවේ පාසල් විවෘත කිරීම් ගැන ආණ්ඩුකාරවරු සමග සාකච්ඡා කරනවා… මේ අතර ඔයගොල්ලෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ අරගෙන සාකච්ඡා කරලා ආණ්ඩුකාරවරුන්ට පාසල් විවෘත කිරීම සඳහා නිර්දේශ ලබා දෙන්න…” බැසිල් උපදෙස් දුන්නේය.

‘‘අපි දැනටමත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමාට ඒ නිර්දේශ ලබා දීල ඉවරයි…”

‘‘හරි ඉතින්… ආණ්ඩුකාරවරුන්ටත් ඒ නිර්දේශ ලබා දෙන්න…”

‘‘ඩෙංගු ප‍්‍රශ්නත් තියෙන නිසා ඉතා ඉක්මනින් පාසල් පිරිසිදු කරන්නත් වේවි…” මධුර විතානගේ කීවේය.

පළාත් පාලන ආයතනවලත් සහයෝගය පාසල් පිරිසිදු කිරීම් සඳහා යොදාගන්න… බැසිල් කීවේය.

මේ අතර සිසිර ජයකොඩි ආයුර්වේද රෝහල්වල කොවිඞ් ප‍්‍රතිකාර කිරීමේ විශේෂත්වයන් ගැන පැහැදිලි කිරීමක් කළේය.

අපේ ආයුර්වේද ක‍්‍රමය තුළ කොවිඞ්වලට හොඳ ප‍්‍රතිකාර තියෙනවා. නමුත් අපට තවම ඒවා විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරිකමයි තියෙන ප‍්‍රශ්නය රමේෂ් පතිරණ කීවේය.

‘‘කොවිඞ්වලට පස්සෙ එන අතුරු ආබාධ ගැන ලෝකයේ ඉන්න හුඟක් අය දැනට උනන්දු වෙනවා…. අපේ ආයුර්වේද ක‍්‍රමය තුළ නම් ඕකට හොඳ උත්තර තියෙනවා… ඉස්සරහට අපේ ආයුර්වේද ශිල්පයට හොඳ වටිනාකමක් ලැබෙයි…” චන්න ජයසුමන පැහැදිලි කළේය.

ඉන්පසුව බැසිල් කමිටුවේ අවධානය යොමු කළේ ලබන මස 1 වැනිදායින් පසුව රට විවෘත කිරීමෙන් අනතුරුව මතුවන ප‍්‍රශ්න ගැනය. විශේෂයෙන්ම ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ තිබෙන ප‍්‍රශ්න ගැන බැසිල් මතක් කළේය.

රට විවෘත කළා වගේ නෙවෙයි… මේ වෙලාවේ ඉස්සර වගේ පොදු ප‍්‍රවාහනය පටන් ගත්තොත් නැවත වතාවක් රෝගය වර්ධනය වෙන්න පුළුවන්. ඒ අවදානමත් ගනිමින් තමයි අපිට කරන දෙයක් කරන්ඩ පුළුවන් වෙන්නේ.

‘‘ඔව්… පොදු ප‍්‍රවාහනයේ දී සැලකිලිමත් නොවුණොත් නැවතත් රෝගීන් වැඩි වීම නරක අතට හැරෙන්න පුළුවන්…” සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කීවේය.

‘‘ඒක ඇත්ත… එක සැරේ පොදු ප‍්‍රවාහනය විවෘත කිරීම් හානිකර නම් ඒකට ක‍්‍රමවේදයක් හදන්න… ඒ වගේම උත්සව, ප‍්‍රිය සම්භාෂණ, රැස්වීම් වගේ දේවල්වලටත් පොදුවේ වැඩපිළිවෙළක් හදන්න… සෞඛ්‍ය අංශ නිර්දේශවලින් තොරව අපි කිසි දෙයක් කරන්නේ නැහැ. එහෙම නම් අපි මේ වෙලාවේ මේ කතා කරගත්ත විදියට වැඩ කරමු. තවත් මොනවා හරි තියෙනව නම් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු…” කියමින් ඇමැති බැසිල් රාජපක්ෂ එදිනට එම කමිටුවේ වැඩ කටයුතු හමාර කළේය.

ආණ්ඩුවට විරුද්ධව
ෆෙස්බුක් එකවුන්ට් හදන අය

අයවැය සඳහා ගමේ යෝජනා ලබා ගැනීමේ අරමුණින් ”2020 ඔබට අයවැය” නමින් වැඩසටහන් මාලාවක් ඉකුත් සතියේ ආරම්භ විය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ තීරණයකට අනුව ක‍්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන් මාලාව මගින් ගමේ ආර්ථිකය නැංවීම හා ගම සංවර්ධනය කිරීම හරහා ජාතික ආර්ථිකය නැංවීම බලාපොරොත්තු වේ. එහි පළමු පියවර වශයෙන් සෑම පළාත් පාලන ආයතනයකම පක්ෂ ක‍්‍රියාකාරිකයින් හමු වී ගම සමග පිළිසඳරක් පැවැත්වීම සිදු කෙරේ.

මෙහිදී කොළඹ දිස්ත‍්‍රික්කය දැනුවත් කිරීම බාර දී ඇත්තේ ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයාටයි. ඔහු ඉකුත් සෙනසුරාදා පළමුව කැස්බෑව ආසනයේ පක්ෂ ක‍්‍රියාකාරිකයින් හමුවිය. දෙවනුව තිබුණේ මොරටුව පක්ෂ ක‍්‍රියාකාරිකයින් හමුවීමටයි. සහන් ප‍්‍රදීප්, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, ගාමිණි ලොකුගේ මන්ත‍්‍රීවරුන් ද ඒ අවස්ථාවට එක්ව සිටියහ. මොරටුවේ උත්සව ශාලාවක මෙම පිරිසට දිවා ආහාරය සූදානම් කර තිබිණි.

දිවා ආහාරය සඳහා එම ස්ථානයට යන විට පේ‍්‍රමනාත් දොලවත්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් සිල්වා මහත්වරු එතැනට පැමිණ සිටියහ.

ඒ වන විට දෙදෙනා අතර දේශපාලනික කතාබහක් ඔස්සේ ඇති වාදය අවසන් වූවා පමණි. පැමිණි පිරිස පිළිගත් සංවිධායකයෝ දහවල් ආහාරය ගන්නා අතර නැවතත් දේශපාලන කතා බහ ඇති විය.

ඒ කතාබහ අතරමැදින් කතා කළ සංචාරක අමාත්‍යවරයා ”මොන ප‍්‍රශ්න තිබුණත් අපි අතර වාද ඇති වෙන්න බැහැ. අපි අතර වාදයක් ඇති වුණොත් එයින් ප‍්‍රයෝජනය ගන්නෙ අනිත් අය. වැඩිපුරම 3% කට්ටිය. අපේ අදහස් අතර මතවාද වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට අපි හැමෝම එක්ක ගමනක් යන පිරිසක්. එකට එකතුවෙලා පක්ෂය ශක්තිමත් කරන්න ඕනේ. පක්ෂය ශක්තිමත් වුණේ නැත්නම් ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ නෑ” කීවේය.

”ඒක සහතික ඇත්ත. අපි අතරේ දේශපාලන මතවාද තිබුණට ගැටුම් නැහැ” දොලවත්ත මන්ත‍්‍රීවරයාද පිළිතුරු දුන්නේ ය.

”ඔව් ඇමැතිතුමා. අපි එක ගමනක් යන්න ඕනේ. ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ එතකොටයි” සමන්ලාල් සභාපතිවරයා ද පිළිතුරු දුන්නේ ය.

”විපක්ෂයේ ඉන්න කාලේ ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ඉන්න කාලෙත් අපි අතරේ සහයෝගය තියෙන්න ඕනේ” ප‍්‍රසන්න රණතුංග මහතා නැවතත් කීවේය.

‘‘අපේ මුදල් ඇමැතිතුමා අයවැයේදී ගමේ මිනිස්සුන්ගෙ අදහස්වලට අවස්ථාව දෙන්න තීරණය කරපු එක හොඳයි” කෝකිලා හර්ෂණී ගුණවර්ධන මන්ත‍්‍රීවරිය පැවසුවාය.

”කොහොමත් බැසිල් මහත්තයා ඉන්නේ ගමේ මිනිස්සු එක්ක. අපේ පක්ෂය හැදුවෙත්, සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙළ හැදුවෙත් ගමේ අදහස් අරගෙන. ඒ නිසා අයවැයෙන් ගමේ යෝජනා එකට මූලිකත්වය දෙන්නෙ. ඒක බැසිල් මහත්තයාගේ හැටි.” ප‍්‍රසන්න රණතුංග මහතා කීවේය.

”මේක තමයි අපේ අලූත් මුදල් ඇමැතිතුමාගේ පළවෙනි අයවැය” සහන් ප‍්‍රදීප් කීවේය.

ඊට පිළිතුරු දෙමින් කෝකිලා හර්ෂණී ගුණවර්ධන සඳහන් කළේ ‘‘ආණ්ඩුව පත්වුණ දවසේ ඉඳලා කළේ කොරෝනා මර්දනය කරන එක. රට වහලා තිබුණ නිසා වැඩක් කරන්නවත්, ජනතාවට වුණු පොරොන්දු ඉටු කරන්නවත් බැරි වුණා” යනුවෙනි.

”බැසිල් මහත්තයා වැඩ පෙන්නන්න පටන් ගත්තෙ දැන්. ගමේ ආර්ථිකය දියුණු කරල ගම ගොඩනගන එකට බැසිල් මහත්තයා වැඩි ඉඩක් වෙන් කරනවා” ඇමති ප‍්‍රසන්න නැවතත් කීවේය.

”ඒ වුණාට ෆේස්බුක් එකෙන් ආණ්ඩුවට හරියට ගහනවා. වැඩිපුරම බොරු” සහන් ප‍්‍රදීප් කීය.

”සමහර ෆේස්බුක් එකවුන්ට් හදල තියෙන්නෙම ආණ්ඩුවට ගහන්න. ආණ්ඩුව අප‍්‍රසාදයට ලක් කරන්න. අපිත් දැනගන්න ඕනේ 3% කට්ටිය කියන බොරුවලට හරියට උත්තර දෙන්න. අපිට හරියට උත්තර දෙන්න බැරි වුණොත් ආණ්ඩු බලය නැතිවම ජනතාව පාලනය කරන්නේ 3% කට්ටිය.” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා කීවේය.

”චමින්ද විජේසිරි මන්ත‍්‍රිතුමා ගිය සතියේ දවසක කියලා තිබුණා සජිත් පේ‍්‍රමදාස කොරෝනාවලින් දේශපාලනය කරනවා කියලා. ඒක සහතික ඇත්ත. චමින්ද විජේසිරිලා ඒ වගේ කතා කියන්නෙ සමගි ජන බලවේගෙ ඇතුළෙත් කොරෝනා මර්දනයට ගෙන යන වැඩපිළිවෙළ ගැන ප‍්‍රසාදයක් තියෙන නිසයි. අනිත් කාරණේ කොරෝනා එක්ක දේශපාලනය කරන්න ඒ අයගෙම අය කැමති නැහැ.” නැවතත් කෝකිලා හර්ෂණී ගුණවර්ධන මන්ත‍්‍රීවරිය කීවාය.

”දැන් එන්නත්කරණ වැඬේ හරියට යන නිසා ඒ අයට කරගන්න දෙයක් නැහැ. බඩු මිලයි, පඩි වැඩි කරන්න ඕනේ වගේ දේවල් සෙනගගෙ ඔළුවට දාන්න හදන්නෙ. එයාලගෙම අයගෙ වුණත් හිත් කතා කරනවානේ” කියමින් ඇමැතිවරයා කතාව අවසන් කළේ මොරටුව දැනුවත් කිරීමේ රැස්වීම සඳහා පිටත්වීමට අත බැඳී ඔරලෝසුව දෙස බලමිනි.

ප‍්‍රසන්න ආසිරි රෝහලට

පසුගිය බදාදා උදෑසන ඇමැති ප‍්‍රසන්න හදිසියේම කොළඹ ආසිරි රෝහලට ගියේය. ඒ ඊශ‍්‍රායල ජාතික තරුණියකගේ සුවදුක් විමසීමටය. මෙම ඊශ‍්‍රායල ජාතික තරුණිය සැප්තැම්බර් 15 වෙනිදා රාවණා ඇල්ලේ ඉහළට නැගීමට යෑමේදී ඇදවැටී තිබිණි. කෝමා තත්ත්වයේ පසු වූ ඇයව බදුල්ල මහ රෝහලෙන් කොළඹ ආසිරි රෝහලට ගෙන්වා ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය මැදිහත්ව තිබුණේ ඇමැති ප‍්‍රසන්නගේ ද උපදෙස් ඇතිවය. මේ වනවිට සුව වී සිටින එම තරුණිය පසුගිය බ‍්‍රහස්පතින්දා සිය මව් රට බලා යාමට සූදානම් වෙමින් සිටි අතර ප‍්‍රසන්න ඇයගේ සුවදුක් බලන්නට ගියේ ඒ අතරය. මෙම තරුණියගේ මාපියන් මෙරටට ගෙන්වීමට පවා ප‍්‍රසන්න යටතේ තිබෙන සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබිණි.

‘‘මම ශ‍්‍රී ලංකාවට ආපහු එනවා… ” රෝහලට ගිය ප‍්‍රසන්නට ඇය කීවාය.

කටුනායක ගුවන්තොටුපළේ පී.සී.ආර්. පරීක්ෂණාගාරය විවෘත කෙරුණේ පසුගිය 23 වෙනිදාය. මේ පී.සී.ආර්. පරීක්ෂණාගාරය ඉදිකිරීමට ඇමැති ප‍්‍රසන්න කැබිනට් අනුමැතිය ගෙන තිබුණේ ජූලි මස 09 වෙනිදාය. සංචාරකයන් ඉලක්ක කරගනිමින් මේ පරීක්ෂණාගාරය ඉදිකිරීමට සැලසුම් කෙරුණේ පැය 03කින් අදාළ පරීක්ෂණ වාර්තා ලබාදීමේ අරමුණිනි.

මේ සඳහා අවසර ගැනීම ලේසි පහසු වුණේ නැත. මුල සිටම සෞඛ්‍ය අංශ මේ සඳහා වැඩි කැමැත්තක් නොදක්වන බව පෙනින.

මේ නිසා ප‍්‍රසන්නට මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සමග සාකච්ඡා කරන්නට සිදුවිය. අවසානයේදී කෙසේ හෝ සෞඛ්‍ය අංශ එකඟත්වය ද ඇතිව කටුනායක පී.සී.ආර්. පරීක්ෂණාගාරය ආරම්භ වූ අතර 23 වෙනිදා පැවති පරීක්ෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලය.

කෙහෙළිය මුළු පරීක්ෂණාගාරයම පරීක්ෂා කළේය. මෙහෙයුම් ක‍්‍රියාවලිය ගැනද ඉතා පරීක්ෂාවෙන් විමසුවේය.

”මේක ඉතා හොඳ වැඩක්…” විවෘත කිරීමෙන් අනතුරුව ඇමැති කෙහෙළිය ප‍්‍රසන්නට කීවේය.

එදිනම සවස ප‍්‍රසන්න කම්කරු අමාත්‍යංශයට ගියේය. ඒ මේ පී.සී.ආර්. පරීක්ෂාගාරය මගින් මෙරටට එන ශ‍්‍රී ලාංකිකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂාව සිදුකිරීම

ගැන කථා කිරීමටය. අගමැති මහින්ද මෙන්ම ඇමැති බැසිල් ද ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නයැයි ප‍්‍රසන්නට දැනුම් දී තිබිණි. ඒ ගැන කථා කරන්න ප‍්‍රසන්නට ඇමැති නිමල් ආරාධනය කර තිබිණි. එහි ගිය ප‍්‍රසන්න කටුනායක ගුවන් තොටුපළේ පී.සී.ආර්. පරීක්ෂණාගාර පහසුකම් මෙරටට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයන්ටත් ලබාදෙන්නට එකඟත්වය පළ කළේ ‘‘මේ රටට විදේශ විනිමය ගෙනන අය රස්තියාදු නොකර ගෙවල්වලට යවන එක අපේ වගකීමක්” ප‍්‍රසන්න කීවේය.

කටුනායක පී.සී.ආර් පරීක්ෂණාගාරය විවෘත කිරීමෙන් පසු එහි මෙහෙයුම් ක‍්‍රියාවලිය ආරම්භ වූයේ පසුගිය සෙනසුරාදාය (25). ඇමැති ප‍්‍රසන්නගේ ඉල්ලීමකට අනුව පසුගිය අඟහරුවාදා (28) සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් තවත් රැස්වීමක් පැවැත්විණ. රැස්වීම පැවැත්වුණේ සංචාරක ක්ෂේත‍්‍රයේ නියුතු සංවිධාන සමගය. එහිදී සෞඛ්‍ය බලධාරීන් කිවේ මෙරටට පැමිණෙන සංචාරකයන් හා ශ‍්‍රී ලාංකිකයන් එන්නත් දෙකම රැගෙන එන්නේ නම් මෙරටට පැමිණි විට සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂාව සිදු නොකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බවයි.

සංචාරක නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාව අවසන් වූ වහාම ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංගට වහාම දුරකථන ඇමතුමක් ලබාගත්තේය. ඒ වනවිට ඇමැති ප‍්‍රසන්න රණතුංග හිටියේ සිය අමාත්‍යංශයේය.

‘‘ඔන්න ඇමැතිතුමා අපි සංචාරකයන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දුන්නා. කෙහෙළිය කීවේය.

‘‘ඒ මොකක්ද?” ප‍්‍රසන්න ඇසුවේය.

‘‘අපි වැක්සීන් දෙකම ගහලා ලංකාවට එන අයට පී.සී.ආර්. කරන එක නතර කළා.” කෙහෙළිය කීවේය.

”ඒක නම් හොඳයි ඇමැතිතුමා. අපි ගුවන්තොටුපළේ පී.සී.ආර් එක පටන් ගත්තෙත් ලංකාවට සංචාරකයන් ගෙන්වා ගන්නනේ. පැය 3කින් රිපෝට් එක දෙන්නයි අපි ඒක හැදුවේ. ඕකේ දෙපැත්තක් තියෙනවා. සංචාරකයන්ගේ පැත්තෙන් වගේම විදෙස් ගත ශ‍්‍රමිකයන් පැත්තෙන් බැලූවොත් ඕක හොඳයි. හැබැයි කොවිඞ් පැත්තෙන් ගත්තොත් ඕක ගැන විවිධ පැති එයි. මොකක් වුණත් රටට හොඳම දේයි සිද්ධ වෙන්න ඕනේ.” ප‍්‍රසන්න පැහැදිලි කළේය.

සජිත්ගෙන් මාධ්‍යවේදීන්ට හයියක්

හාල් මිල මට්ටු කරන්න ආණ්ඩුවෙන් යෝජනා දෙකක්

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් පුවත්පත්වල පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට පුවත්පත් කර්තෘවරුන් කිහිපදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම ගැන සජිත්ට කල් ඇතිවම තොරතුරු අනාවරණය වී තිබුණේය.

විපක්ෂ නායක මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ගෙන් මේ ගැන තොරතුරු විමසූ ඔහු පුවත්පත් කතුවරුන් වෙනුවෙන් ගත හැකි පියවර ගැන අවධානය යොමු කළේය.

‘‘රටේ සිදුවන දූෂණ වංචා ගැන කරුණු හෙළිදරව් කිරීම මාධ්‍යයේ වගකීමක්. එහෙම හොරකම් එළිදරව් කළාම ඒ අය ඉලක්ක කරගෙන ඔවුන්ට තර්ජන කිරීමට කිසිම ඉඩක් දෙන්න බෑ. එහෙම තර්ජනයට කරන්න කිසිම අයිතියක් නෑ’ සජිත් දැඩි ස්ථාවරයක සිටියේය.

‘‘දැන් මේ විදියට බලපෑම් කරන්නේ තොරතුරු දැනගැනීමේ පනතත් සක‍්‍රීය වෙලා තියෙන වෙලාවක. තොරතුරු හෙළිදරව් කිරීම වෙනුවට තොරතුරු යට ගැසීමට තමයි මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ’’ මාධ්‍යවේදීන් සමග දුරකතනයෙන් කතා කර ඒ ගැන තොරතුරු විමසා තිබූ ඉමිටියාස් බකීර් මාකර් මන්ත‍්‍රීවරයා සජිත්ට කීවේය.

‘‘මේ මාධ්‍යවේදීන්ට නීතිඥ සහාය අවශ්‍ය නම් අපි ඒ සහාය ලබාදෙමු. අපි පක්ෂයේ නීතිඥ කණ්ඩායම ඒ සඳහා සූදානම් කරමු. ඕනම නීති සහායක් ලබාදෙන්න කියලා මම ඔවුන්ට උපදෙස් දෙන්නම්’’ සජිත් ඉමිටියාස්ට කීවේය.

ආණ්ඩුව කොරෝනා
ප‍්‍රභේදවලට අත වනන හැටි

සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම මේ සතියේදීත් සූම් ක‍්‍රමය ඔස්සේ රටේ පවතින තත්ත්වය ගැන සාකච්ඡා කළේය. ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරය ගැන කාගේත් අවධානය යොමුවුණේය.

‘‘ජනාධිපතිවරයාට ඇමරිකාවේදී ආරක්ෂාව දෙන්නේ ඇමරිකානු ආරක්ෂක අංශයක්ලූ’’ ජේ.සී. අලවතුවල මන්ත‍්‍රීවරයා තමන්ට ලැබුණ තොරතුරක් කීවේය.

‘‘ජනාධිපතිවරයා ගමේ ගිහින් කියලා තමයි දැන් අපේ ගම්වල අය නම් කියන්නේ. ජනාධිපතිවරයා ගමේ ගිහින් යුගදනවි බලාගාරයත් ඇමරිකාවටම දීලා’’ මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා කීවේය.

‘‘බලාගාරය විකුණන්න මහ ? දොළහට ගිවිසුම් අත්සන් කළා විතරක් නෙමෙයි ලැජ්ජා නැතිව ඒක සාධාරණීකරණය කරන්න ඇමැතිවරුත් එළියට එනවානේ’’ ගයන්ත කරුණාතිලක පැවසුවේය.

මේ අතර ගුවන්තොටුපළේ පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු නතර කිරීම ගැනත් මන්ත‍්‍රීවරුන්ගේ අවධානය යොමුවිය.

‘‘ගුවන්තොටුපළ හරහා එන හැමෝගේම පී.සී.ආර්. පරීක්ෂණ කරලා පැය තුනෙන් ප‍්‍රතිඵල දෙන ක‍්‍රමවේදයක් ආරම්භ කළාට ඒක එකපාරම නතර කරලා. අලූත් වෛරස් ප‍්‍රභේද රට ඇතුළට එන එක වළක්වන පියවර මේ අය නතර කරන්නේ’’ රාජිත සේනාරත්න තමන්ට ලැබුණ තොරතුරක් ගැන කීවේය.

‘‘කොරෝනා පටන්ගත්ත කාලේ ගුවන්තොටුපළ හරහා වෛරස් එන එක වළක්වන මැෂින් හයි කරලා තියෙනවා කිව්වා. එහෙම මැෂින් එකක් තිබුණේ නෑ. දැන් පී.සී.ආර්. එකත් නතර කිරීම විහිළුවක්’’ රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේය.

‘‘විදේශ රටවල සිට අලූත් වෛරස ප‍්‍රභේද රට ඇතුළට එන එක වළක්වන්න ගන්න පුළුවන් සියලූම ක‍්‍රියාමාර්ග ගත යුතුයි’’ සජිත් අවධාරණය කළේය.

මේ අතර සහල් මිල පාලනය ගැනත් සියල්ලන්ගේම අවධානය යොමු වුණේය.

‘‘මේ ආණ්ඩුව ඉතිහාසයේ නොකරපු වැඩ කරපු ආණ්ඩුවක් විදියට ඉතිහාස ගත වෙනවා. ඉස්සරහට යනවා වෙනුවට රිවස් එකේ ගිහින් වාර්තා තියනවා. ඉතිහාසයේ පළමු වතාවට ව්‍යාපාරිකයින්ට රටේ සහල් මිල නිවේදනය කරන්නත් අවස්ථාව දීලා තියෙනවා’’ හර්ෂ ද සිල්වා කීවේ සහල් මිල පාලනය කිරීමට පසුගිය ආණ්ඩුව කාලයේදී ගත් පියවර ගැනත් අවධානය යොමු කරමින්ය.

‘‘කෙලින් වැඩ කරනවා කියලා කරපු බොරුව දැන් හැමෝටම පේන්න අරගෙන තියෙනවා’’ මන්ත‍්‍රීවරු කීහ.

එජාප සාමාජිකත්වය
රුපියල් දාහක්ලූ

රනිල් පසුගිය අඟහරුවාදා කලකට පසු සිරිකොතට පැමිණියේය. එදා රනිල් කලකට පසු තම පක්‍ෂ නිලධාරීන් සමග විවෘතව මුහුණට මුහුණ සාකච්ඡා කළේය. මුලින්ම කතාබහ වූයේ පක්‍ෂයේ ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ගැනය. පක්‍ෂයේ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන්වලදී නොයකුත් කරුණු නිසා පසුගිය කාලයේ පක්‍ෂය හැර ගිය සාමාජිකයන් යළි ඒකරාශී කර ගැනීම සඳහා අලූත් වැඩපිළිවෙළක් සකස් කර ගැනීම මෙහිදී සාකච්ඡාවට ලක්විය. කොහොමද අලූතින් සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ. රනිල් රංගේ බණ්ඩාරගෙන් විමසා සිටියේය. මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මැතිඳුන්ගේ ජන්ම දිනය තියෙන්නේ ඔක්තෝබර් 20. අපි සාමාජිකයන් බඳවා ගැනීම එදාට කල් දාලා එදා සිට ඇරඹුවා නම් හොඳයි කියල යෝජනාවක් තියනවා. රංගේ කීවේය.

අපි අදියර තුනකින් සාමාජිකයන් බඳවා ගැනීමට සැලසුම් කළා. එකක් ‘තවුසන්ඞ් එම්’ ඒ කියන්නේ රුපියල් 1000ක් බැඳලා සාමාජිකත්වය ලබා ගන්න පුළුවන්කම තියනවා. දෙවැනි එක තමයි ඩිජිටල් ක‍්‍රමයට සාමාජිකත්වය ලබාදීම. ඔන්ලයින් සාමාජික කාඞ්පතක් අපි එතනදී නිකුත් කරනවා.

තුන්වැනි අදියර තමයි ගම් මට්ටමට ගිහින් පරණ විදියට ගමේ සාමාජිකත්වය බඳවා ගැනීම. පාලිත රංගේ බණ්ඩාර විස්තර කළේය. දැනට ඉන්න සාමාජිකයන්ගේ සාමාජිකත්වය ඉස්සෙල්ල අලූත් කරන්න. ඊට පස්සේ අපට පුළුවන් දෙවුන්දර තුඩුවේ ඉඳල පේදුරු තුඩුව දක්වාම අපේ සාමාජිකත්වය පුළුල් කරන වැඬේ කරන්න.

දැන් ඉතින් ගමේ කොල්ලෝ කෙල්ලෝ වුණත් කාඞ්පත් ගන්නේ නැහැ. ෂෝෂල් මීඩියා වලින් ෆෝන් එකෙන් ලැප් එකෙන් වැඩ කරන්න තමයි ගම්වල ළමයි වුණත් කැමති. රුවන් විජයවර්ධන කීවේය.

පක්‍ෂ සාමාජිකත්වය ළඟට ඇවිත් ගන්න මාධ්‍යවේදීන් කැමති නැහැ. අපි ඒ අය ළඟට යන්න ඕන. වජිර කීවේය. නායකයා සමග කළ මෙම සාකච්ඡාවට පසුව පක්‍ෂයේ කළමනාකාර කමිටුව සමග ද රනිල් කතාබහ කළේය.

මේ අතර මේ දිනවල රටේ වැඩිපුර කතා බහට ලක්වන ජනප‍්‍රය මාතෘකාවක් වූ හාල් මිල ගැන ද කතාබහක් ඇතිවිය.

ජනාධිපතිගේ ගැසට් එකේ මිලට තමයි කඩවල හාල් නැත්තේ. ඩඞ්ලි මිලක් ගැහුවා විතරයි දැන් හැම තැනම ඩඞ්ලිගේ මිලට හාල්. රංගේ සරදමක් කළේය. බත් කන මිනිස්සුන් වගේම ගොවියාත් මේ ආණ්ඩුව ලොකු අමාරුවක දැම්මා. පහුගිය දවස්වල ගොවියා වී විකුණන්නේ මහින්දානන්දගේ ගැසට් එකට අනුව කිලෝව රුපියල් 50-55 මිලට. දැන් ඒ මිලට ගනිපු වී වලින් ඩඞ්ලිලා හාල් හදල මහ විශාල ලාභයක් ලබනවා. අපි නම් වීවලට සහතික මිලක් කියල රු. 50ක් නියම කළේ ඕනම කෙනකුට ඊට වැඩි මිලට හාල් ගන්න පුළුවන් විදියට. මහින්දානන්දලා කළේ ඒකේ අනික් පැත්ත. ඒකයි මේ ඛේදවාචකය. හාල් වගේම තමයි කිරිපිටි ප‍්‍රශ්නයත්. ඒකටත් හේතුව ආණ්ඩුවේ නොහැකියාව. වරායේ කිරිපිටි කන්ටේනර් බර

ගණනාවක් හිරවෙලා. ආණ්ඩුව කියල තියනවා ඒවා නිදහස් කරන්න ඩොලර් පුද්ගලික බැංකුවලින් මුදාහරින්න ඉඩ දෙනවා කියලා. හැබැයි තාම නම් ඒ කිසි දෙයක් වෙලා නැහැ. රුවන් අලූත් තත්ත්වය පැහැදිලි කළේය. මේ අයුරින් එදා රනිල් ඇතුළු පිරිස රටේ තිබෙන ප‍්‍රශ්න බර ගණනක් සාකච්ඡාවට බඳුන් කළහ.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment