හාල් හිඟයක් නෑ…

214

● රජයේ වී තොගය රටට කන්න දෙන්න සති දෙකකටත් මදි

● කෘෂිකර්ම ඇමැතිවරයා කියන ගොවිබිම් ප්‍රමාණයක් ගොවීන් යල කන්න වගා කරල නෑ

● ඉතිහාසයේ අඩුම වී අස්වැන්න ලැබෙන කන්න බවට මේ යල කන්න වාර්තාවක් තබාවී

ආහාර හිඟයක් ඇතිවෙන බව අනාවැකි පළවන්නේය. මහ කන්නයේ වී වගාව අසාර්ථක ව ඇති පසුබිමක යල කන්න ප්‍රමාණවත් අස්වැන්නක් නොලැබේ යැයි ගොවීන් මැසිවිලි නගන්නේය. ගොවි බිම් පුරන්ව ආහාර නිෂ්පාදනය බිඳ වැටී ඇති සැටිය. අතීතයේදී සහලින් ස්වයංපෝෂිත වූ රටක් රටින් සහල් නැව් එන තුරු මුහුදට දත නියවමින් සිටින්නට සිදුවේ යැයි අනාවැකි පළ වෙමින් ඇත. ඒ ගැන කතා කළ යුත්තේ ගොවි බිමත් සමග නිතර ගැවසෙන කෙනෙකු සමගය. නාමල් කරුණාරත්න සමග කළ මේ සාකච්ඡාව ඒ පිළිබඳවය.

පසුගිය කන්නයේ පෙර මෙන් ප්‍රමාණවත් වී වගාවක් කරගන්න පුළුවන් වුණාද?

ඇත්තටම බැරි වුණා.

ගොවි බිමෙන් ඒක දැන් ඔප්පු වෙලා තියෙනවා. ජනාධිපතිට පවා පිළිගන්න සිද්ධ වුණා මහ කන්නය අසාර්ථකයි කියල. එයාල කියන්නෙ මහ කන්නය අසාර්ථක වුණා කියල. නමුත් අපි ඒක පිළිගන්නෙ නෑ. අපි කියන්නෙ මහ කන්නය එයාල අසාර්ථක කළා කියල. ඇත්තටම වී වගාව විතරක් නෙවෙයි පොදුවේ ගත්තාම එළවළු පලතුරු සියලුම ධාන්‍ය වර්ග වගාවන් අසාර්ථක වුණා.

ඇයි මේ අසාර්ථක කළා කියල චෝදනා කරන්නෙ. රජය දේශීය වගා තාක්ෂණයකට අත්හදා බැලීමක් නේද සිදුකරේ?

කිසිම සැලැස්මක් නැතිව තමයි රජය කෘමිනාශක, වල්නාශක සහ පොහොර තහනම් කරේ. ගොවි ජනතාව ඊට අදාළව සූදානම් කිරීමක් කර තිබුණේ නෑ. ඊට අදාළව පස හුරු කරල තිබුණේ නෑ. ගොවියා හුරු කරල තිබුණේ නෑ. අදාළ නිලධාරීන්ට ඒ පිළිබඳ පුහුණුවක් මග පෙන්වීමක් කරල තිබුණේ නෑ. එතනදි කෘෂි ක්‍ෂේත්‍රයට අදාළ ආචර්ය මහාචාර්යවරු බුද්ධිමතුන් එකසිය ගාණක් අත්සන් කරල අපි මේ විනාශය වළක්වගන්න කියල පෙන්වලා දුන්නා. ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකර කිසිම සූදානමකින් තොරව වෙඩි තිබ්බා වගේ නවත්තලා දැම්මා. අසාර්ථක වුණා නෙවෙයි කළා කියන්නෙ ඒකයි. දැන් මේ තීන්දුත් එක්ක රටේ බරපතළ ආහාර අර්බුදයක් මතුවෙලා තියනවා.

නමුත් ඔබ කියා තිබුණා රටේ ප්‍රමාණවත් තරම් වී තොග තිබෙනවාය කියා. ඉතින් ආහාර අර්බුදයක් ඇතිවෙන්නෙ කොහොමද?

ඇත්තටම අපිට හාල්වල, වීවල ප්‍රශ්නයක් තිබුණේ නෑ. දශක දෙකක කාල පරාසය අධ්‍යනය කරල බැලුවොත් 2016 වසරේදි අපි වී මෙටි්‍රක් ටොන් 16000 ක ප්‍රමාණයක් දක්වා අඩු වෙනවා. නියඟයක් පැමිණිම නිසා සිදුවුණ වාර්තාගත අඩුවීම තමයි ඒ. අනෙක් වසරවල අඩු වැඩි වීම් වෙලා තියනවා. නමුත් සමහර අවුරුදුවල අඩු වුණත් පෙර වසරේ වී අතිරික්තය විසින් ඒ අඩුව මකල දැම්මා. 2019 දී අපේ සමස්ත වි නිෂ්පාදනය ටොන් හතළිස් හත් ලක්ෂ අනු දෙදහසයි. 2020 දී වී මෙටි්‍රක් ටොන් පනස් ලක්ෂ අටදහසක වාර්තාගත වී අස්වැන්නක් ලැබෙනවා. 2021 දීත් අපිට හතළිස් ලක්ෂයකට ආසන්න වී අස්වැන්නක් ලැබෙනවා. වසරකට අපිට කෑමට අවශ්‍ය වෙන්නෙ වී මෙටි්‍රක් ටොන් ලක්ෂ තිස් හයයි. බිත්තර වීවලට ඕන ලක්ෂයයි. එතකොට එහෙනම් 2019 දී හතළිස් හත් ලක්ෂයයි, 2020 පනස් ලක්ෂයයි, 2021 දී හතලිහයි එක්ක වී මෙටි්‍රක් ටොන් ලක්ෂ විසි පහකට වැඩි අතිරික්තයක් 2022 ට එකතු වෙන්න ඕන. හැබැයි කාරණා දෙකක් මත මේ වී 2022 කට ආවේ නෑ. එකක් තමයි සත්ත්ව ආහාර සඳහා අධික ලෙස වී භාවිතා කළා. ඒත් එක්කම බියර් පෙරන්න වැඩි වශයෙන් හාල් භාවිතා කළා. මේ කාරණා මත අර අතිරික්ත වී තොග 2022 අවුරුද්දට ආවෙ නෑ. ඒත් එක්කම 2022 මහ කන්නය අසාර්ථක වුණා. සාමාන්‍යයෙන් මහ කන්නයේ එන්නෙ වී මෙටි්‍රක් ටොන් ලක්ෂ පහළවක් වගේ. ඒත් එක්කම ඊළඟ කන්න අවිනිශ්චිත කියල ගොවියා දන්න නිසා ගොවියා ළඟ වැඩි වී ප්‍රමාණයක් රඳවා ගත්තා. මේ නිසා වෙළඳපොළට වී ආවේ අඩුවෙන්. මේ නිසා තමයි දේශිය සහල් හිඟයක් මතුවෙනවා කියල අපි මතු කරේ.

ගොවීන්ට යල කන්නෙ වගාව යම් තරමකින් හෝ කරගන්න පුළුවන් වෙලා තියනවද?

අපේ රටේ සාමාන්‍යයෙන් අවුරුද්දකට හෙක්ටයාර ලක්ෂ දහතුනකට වැඩි ප්‍රමාණයක් වී වගා කරනවා. බඩඉරිඟු හෙක්ටයාර එක්ලක්ෂ තිස්දහසක් විතර වගා කරනවා. ඊට පස්සෙ එළවළු පලතුරු. යල කන්නයේ වී වගාව හෙක්ටයාර ලක්ෂ හයක් විතර. යල කන්න වතුර තිබ්බා. ඉඩම් තිබ්බා. වගා කරන්න ගොවියො හිටියා. හැබැයි මේ කාරණා තුන සම්පූර්ණ වුණාට ගොවියාගේ අතපය ආණ්ඩුව විසින් කාරණා කිහිපයකින් ගැට ගැහුවා. පොහොර තිබුණෙ නෑ. කෘමිනාශක ගණන්. වල් නාශක නෑ. ඩීසල් නෑ. තිබුණ ටිකත් ගණන්. කෘෂි උපකරණ මිල අධික ලෙස ඉහළ ගියා. බීජ මිල ඉහළ ගියා. ඊට පස්සෙ බාල බීජ වෙළෙඳපොළට ආවා. මහ කන්නයේ අසාර්ථක වීමත් එක්ක ගොවියා මානසික වැට්ටුවා. ඒකට වන්දි දෙනවා කිව්වට ගොවියට වන්දි දුන්නෙ නෑ. මේ කියන ලණුවලින් ගොවියව බැඳල තමයි ආණ්ඩුව කිව්වෙ බැහැපන් කුඹුරට, වගා කරපන් කියල. ඉතින් ඔය තත්ත්වය තුළ සැලකිය යුතු ප්‍රමාණයක් ගොවීන් වගාව අත් හැරියා. එහෙම තියෙද්දි තමයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කියන්නෙ අපි බලාපොරොත්තු වුණේ හෙක්ටයාර ලක්ෂ දෙකහමාරක වගාවක්. නමුත් දැන් ගොවියෝ හෙක්ටයාර ලක්ෂ හතරක් විතර වගා කරනවා කියල. අපි මේක සාර්ථකයි කියල භාර ගන්නෙ නෑ. මොකද යල කන්නයේදී ගොවීන් සාමාන්‍යයෙන් හෙක්ටයාර ලක්ෂ හයක් විතර වගා කරනවා. එතකොට මේ හතරක් වගා කරනවා කියල ගත්තාම එතනත් ලක්ෂ දෙකක අඩුවක් තියනවා. අනික ඇමැතිවරයා කියන විදියට ඒ ප්‍රමාණය ගොවීන් වගා කරල නෑ. හැබැයි අපි හිතමු එහෙම වගා කරා කියල. එයාලා හිතනව නම් හාලා පෝරු ගාලා වී ඇට දෙකක් ඉහළ වගා කළාම එකෙන් හෝ ගාල වී කරල් එනවා කියල එතන ප්‍රශ්නයක් තියනවා. මේ වගා කරපු ඒවත් දැන් ගොයම කහ පාට වෙලා. ගොයන් ගහ තුත්තිරි ගස් වගේ. ඉතින් මේකෙන් සාර්ථක වගාවක් ගන්න බැරි නිසා ගොවීන් සැලකිය යුතු ප්‍රමාණයක් වගාව අත්හරිනවා. අනිවාර්යෙන් තව මාසයක් එකහමාරක් යනකොට වගා කරපු කුඹුරුවලට ගොවියෝ හරක් දාල ඒවා හරකුන්ට දන් දෙන දර්ශන බලාගන්න පුළුවන් වෙයි. මොකද වී ඇට දෙක තුනක් ආව ගොයම් ගහක අස්වනු නෙළන්න යන වියදම ඒ අස්වැන්නෙන් ආදායමට වඩා වැඩියි. මේ නිසා ලංකා ඉතිහාසයේ අඩුම වී අස්වැන්නක් වාර්තා වෙන යල කන්න බවට මේ යල කන්න පත්වෙනවා නියතයි.

ආහාර හිඟයක් එන බව අගමැතිවරයාත් කියා තිබුණා. පැළයක් ඉන්දුවත් පැළ වෙන මේ රටේ දෙවේලකින් පිරිමහගන්න තරමට ආහාර හිඟයක් ඇතිවේවිද?

ඒක අතිශෝක්තියෙන් කිව්වෙ. එයා අසාර්ථකයි කියල තහවුරු වෙමින් එනකොට ඔන්න වේල් දෙකක්වත් කන්න බැරි වෙනවා එහෙම තත්ත්වයක් එනවා. හැබැයි මෙහෙම හරි ඕන් කාල ඉන්නෙ මම හින්දා කියලයි එයාට කියා ගන්න ඕන වුණේ. ඒකත් එක්ක ඇමැතිවරයා අනියමාර්ථයෙන් කිව්වෙ ලෝකයේ මේ වගේ තත්ත්වයකදි වෙලා තියෙනවා වගේ බල්ලො පුසෝ ගැරඬි මිනිස්සුන්ට කන්න සිදු වෙයි කියල. මේකට බය වුණ මිනිස්සු ආහාර තොග රැස් කරන්න පෙළඹුණා. සහල් ප්‍රධාන කොට ආහාර වෙළෙඳපොළ තුළ විකෘති තත්තවයක් නිර්මාණය වුණේ එකයි. එතකොට වැඩේ වැරදුණා කියල දැණුනාම එයාල නැවත කිව්වා දැන් එහෙම ප්‍රශන්නයක් එන්නෙ නෑ කියල. අපි දකින විදියට දේශීය ආහාර සම්පාදනය අනිවාර්යෙන්ම හිඟ වෙනවා. මොකද රජය සතුව තියෙනවා කියන්නෙ වී මෙටි්‍රක් ටොන් හතළිස් දහසයි. ඕක රටට සති දෙකක් කන්න දෙන්න මදි. මොකද සහල්වලින් ගත්තොත් දවසකට හාල් කිලෝ ලක්ෂ හැට පහක් ඕන. මේ රටේ ජනතාවට මාසෙකට කන්න දෙන්න වී මෙටි්‍රක් ටොන් ලක්ෂ තුනක් ඕන. ඉතින් මහින්ද අමරවීර කියන විදියට රජය සතුව තියන්නෙ වී මෙටි්‍රක් ටොන් හතළිස් දහස නම් මේක දවස් ගාණකටත් මදිනෙ. අනික් පැත්තෙන් මහා පරිමාණ මෝල් හිමියන් සහ වී තොග රැස් කරන්නන් ගාව වී යම් ප්‍රමාණයක් තියනවා. ගොවීන් එකතු කර ළඟ තබාගත්ත වී තොගත් තියනවා. මේවා වෙළෙඳ පොළට දැම්මත් අනිවාර්යෙන් තව මාස දෙකක් යනකොට මේ වී ප්‍රමාණය ඉවර වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් දේශීය සහල්වල විශාල ප්‍රශ්නයක් මාස දෙකක් යන්නත් කලින් ඇතිවෙනවා.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment