හාස්කම් සපිරි කඩවර දෙවි උපත

2366

කඩවර යක්‍ෂ නාමයෙන්ද හඳුන්වනු ලබන කඩවර දෙවියන් උඩරට කොහොඹා යක් ශාන්ති කර්මයේ නවවැන්නා ලෙස ආරාධනා ලබයි. කොහොඹා යක්කමේ පුද ලබන කඩවර, කොහොඹා රජ තුන් කට්ටුව මෙලකට පැමිණෙද්දී ඒ සමග අතවැසියන් ලෙස පැමිණි බව කියවේ. දේවාංග රජුට දාව බහුපතී දේවියගේ කුස උපන් බව කඩවර කීමෙහි දැක්වේ.

ආඬි වඩක්කර රටේ උපන්නේ
බහුපති දේවිගෙ ගැබේ උපන්නේ
දේව අංග රජහට දූ වන්නේ
මෙවැනි ලකුණු කඩවර දෙවියන්නේ
(සී.දේ.පු)

කොහොඹා යක්කමේ කඩවර යාදින්නේ ගිනි කඩවර, මල් කඩවර, දළ කඩවර, අලුයම කඩවර, පෙරයම කඩවර, වශයෙන් කඩවරයෝ පස් දෙනෙකි.

මල රජුගෙන් වරම් ලබාගෙන මෙලකට පැමිණි කඩවරයන් මෙලක පදිංච් වූ බව පැවසේ. මලයාලම් දේශය ජන්ම භූමිය කරගත් කඩවරයන් දහස් ගණනක් බව දේව පුරාණය සඳහන් කරයි. මොවුන් බොහොමයක් යකුන් ලෙස සැලකේ.

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති ප්‍රබල දේවාත්මයක් හැටියට ජනවිශ්වාසයේ පවතින කඩවර දෙවියන් රජරට වැව්ගම් පත්තුවේ වාරි කර්මාන්තයටත් කෘෂිකර්මාන්තයටත් අධිපතිව පුදපෙත් ලබයි. වැව් ගම් පත්තුවේ ජනතාව කඩවර දෙවියන් තමන්ගේ ආරක්‍ෂක දෙවියන් හැටියට ද සලකණු ලබයි.

පම්මුල්ලා රතු තොප්පිය සිරස දරාලා ඹප කොට
රැලි අල්ලා පේසරත්න නීලවර්ණ සළුව ඉණට
රත්නිල්ලා බීත රාම හැට්ටේ පොරවා දෙවුරට
බිසි බිල්ලා වැඳපල්ලා සෙනෙවිරත්න කඩවරහට
(සී.දේ.පු)

කඩවර පන්තිස් කට්ටුවක් බව පැවසේ. සෙනෙවිරත්න බණ්ඩාර, අඳුන් කඩවර, මජ්ජිම කඩවර, මල් කඩවර, කුමාර කඩවර, දළ කඩවර, සපුමල් කඩවර, දෙවොල් කඩවර, සෙල්ලම් කඩවර, සොහොන් කඩවර, හඳුන් කඩවර, කම්බිලි කඩවර, තනි කඩවර, අලුයම් කඩවර, පිල්ලි කඩවර, මුල් කඩවර, ගොපලු කඩවර, රති කඩවර, ආඬි කඩවර, භූත කඩවර, ෂත් කඩවර, කළුගල් කඩවර, ඉනා කඩවර, කොහොඹා කඩවර, පුළුටු කඩවර, සත් කඩවර, පෙරයම් කඩවර, ලේරීරි කඩවර, සමයං කඩවර, කොට කඩවර, ගිනි කඩවර, අභූත කඩවර, බිහිරි කඩවර, වැදියක් කඩවර, තෙල් කඩවර,,අභිමාන කඩවර, රත්න කඩවර, යනුවෙන් මහායාතිකාවේ කියවේ.

වන්නිහත් පත්තුවේ පුදපෙත් ලබන කඩවර දෙවියන් සෙනෙවිරත්න බණ්ඩාර පදවිය ලැබූ, වාපී කර්මාන්තයෙහි අතිදක්‍ෂයෙකි. වාපී කර්මාන්තයට සිය ජීවිතය කැප කරන සෙනෙවිරත්න බණ්ඩාරට සිය බිරිඳගෙන් නිතර හිමිවූයේ ඇනුම් බැනුම් අපවාදය. සිය බිරිඳගේ කෝපය උත්සන්නව මැටි වළඳකින් පවා පහර කෑ සෙනෙවිරත්න තම පවුල් ජීවිතය හැරදමා වනගත වෙයි.

මිනිස් වාසයෙන් ඈත්ව ගස්වල කොළ පොතු, පලතුරු ආදිය අහර පිණිස ගමින් වන සතුන් සමග ජීවත්වන සෙනෙවිරත්න වනසතුන් සමග කුළුපඟ වෙයි. වනයේ සතුන් දඩයමට එන දඩයක්කරුවන් ගැන ඉව වැටුණ වහාම සෙනෙවිරත්න වනසතුන් වෙනත් පෙදෙසකට පලවා හැර ඔවුන්ගේ ජීවිත බේරයි. ඔහුගේ මෙම ක්‍රියාව නිසා දඩයක්කරුවන්ට දඩයම් නැතිවෙයි. වනසතුන් පලවා හරින මෙම අත්භූත පුද්ගලයා ගැන දඩයක්කරුවෝ ධාතුසේන රජතුමාට සැලකර සිටියි. රජතුමා මෙම අත්භූත පුද්ගලයා දැකගනු ආසාවෙන් රජවාසලට ඔහුව අල්ලා ගෙන එන ලෙසට දඩයක්කරුවන් සමග රාජපුරුෂයන් යවයි. ඔහු සොයා වනය පීරන රාජපුරුෂයන්ට දැලි රැවුල් කොණ්ඩය වැවුණු කොළ,අතු පැළඳි මෙම අද්භූත පුද්ගලයා සුවිසල් කලවැලක් අසල සිටිනු දැක ඔහු වටලා අල්ලා ගනී. මෙසේ අල්ලාගෙන රජවාසලට ගෙනඑනු ලබන ඔහුගෙන් තමා කවරෙක්දැයි රජතුමා අසයි. එහෙත් කාලයක් වනචාරීව සිටි සෙනෙවිරත්නට කතාකිරීමට නොහැකි වෙයි. රජතුමා ඔහුට කතා කරවීමට හැකි අයෙක් වෙත්නම් රජවාසලට කැඳවන ලෙසට අණබෙර යවයි.

අණබෙරකරුගේ නිවේදනයට කන්දෙන සෙනෙවිරත්නගේ බිරිඳ මේනම් තම ස්වාමියා යැයි සිතා වහාම රජවාසල කරා ගියේය. රජවාසලට ගිය ඇය තම ස්වාමියා දැන හැදින ඔහුට කතාකරවීමට තමාට හැකි බව රජතුමා ඉදිරියේ කියා සිටියාය. මෙහිදී ඇය ඔහුව කෝප ගන්වන අපේක්‍ෂාවෙන් ඔහුට දර්ශනය වන පරිදි ලිග් ගල් දෙකක් පමණක් යොදා බතක් පිසීමට සූදානම් කළාය. ලිග්ගල් දෙකක් පමණක් වූ ලිපේ තැබූ බත්මුට්ටිය පෙරලී ගියේය. කීපවරක් එසේ කරද්දී කෝපාවිෂ්ඨ වූ සෙනෙවිරත්න “ ඕකට තවත් ගලක් තියාපන් යොදියේ” යැයි මොරගා කිව්වේය. ඇයගේ මෙම ක්‍රියාවට රජතුමා බෙහෙවින් සතුටු විය.

වැව් කර්මාන්තයෙහි අති දක්‍ෂ වූ සෙනෙවිරත්න පිළිබඳ සියලු තොරතුරු දැනගත් රජතුමා ඔහුට පිරිවර තාන්න මාන්න දී ඔහු වනචාරීව සිටි රමණීය වූ කලවැල පිහිටි ස්ථානයේ වැවක් තැනීමට භාර කළේය.

සෙනෙවිරත්නට ටික දිනකින් වැව තනා නිමකිරීමට හැකිවිය. ඔහු වැවතනා නිමව වැවට ජලය පිරෙද්දී සිය නිවසේ මහා සංඝරත්නය කැඳවා පිරිතක් කීමට සංවිධානය කළේය. පිරිත පැවතෙද්දී මහවැසි වසින්නට වූයෙන් සෙනෙවිරත්න වැව පිරුන ජල මට්ටම බලා ගැනීමට මැටි මුට්ටියකින් ජලමාපකයක් සකස්කර සිය මිදුල මැද තැබුවේය. වරින්වර මිදුලට ගොස් ජලය පිරෙන මැටිමුට්ටිය දෙස බලන සෙනෙවිරත්තගේ එම ක්‍රියාව දෙස බලා සිටි එක්තරා වයෝවෘධ භික්‍ෂුන්වහන්සේ නමක් එහි ගොස් කුඩ මිටෙන් ඇන එම මුට්ටිය බිඳ දැමුවේය. පසුව එහි ගිය සෙනෙවිරත්නට දැකගත හැකි වූයේ බිඳීගිය මුට්ටියයි. ඔහු වියරුවෙන් වැව තිබෙන දිසාවට දිව

ගියේය. ඒ වන විටත් වැව් සොරොව්ව කැඩී ජලකඳ ගලායනු දුටු සෙනෙවිරත්න මහත් කම්පාවට පත්ව රජතුමාට මුහුණ දිය නොහැකිව එම කඩවළට පැන දිවිනසා ගත්තේය. මෙසේ කඩවළට පැන දිවිනසාගත් හෙයින් කඩවර නමින් ප්‍රසිද්ධියට පත්විය. රජතුමා එම හාස්කම් පැවැති එම ස්ථානයේ දෙවොලක් සදවා පුදපූජා පවත්වන්නට විය.

කලාවැව වැව් කණ්ඩියේ ඉදිකර ඇති කඩවර දේවාලය වර්තමානයේද බැතිමත්හුගේ පුදපූජාවන්ට පාත්‍රව පවතී.

අයියෝ මගෙ වැව බිඳූණට දෙයියෝ වත් නැද්ද මෙරට

හයියෙන් හඬ තලා එවිට පැන නැසුනයි එකඩ වළට
කඩවළ පැනලා නැසුණම කඩවර නම යෙදුණි ඔබට
තෙද ඇති දෙවියෙක් මෙලොවට ඇත්තේ දැන් මුළු දෙරණට

පච්ච පාට වස්ත්‍රයෙන් සැරසී සුදු මොනරකු පිට සැරිසරන කඩවර දෙවියන් මැණික් ගඟින් ස්නානය කර කරදිය වළල්ලේ සංචාරය කරන බව ද පැවසේ. මෙම දෙවිදුන් කතරගම දෙවියන්ගේ අණ ක්‍රියාකරවන්නකු බව ද කියවේ.

කලාභූෂණ විශ්වාභිනන්දන
සරණපාල නුවරපක්‍ෂ – පූගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment