හාස්‍යයෙන් ද විරෝධාකල්පය ගොඩනඟු සිරිල් ඒ. සීලවිමල

302

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, සිනමාකරුවකු සාහිත්‍යවේදියකු මෙන්ම ප‍්‍රකට ගේය පද රචකයෙකුද වූ අභාවප‍්‍රාප්ත සිරිල් ඒ. සීලවිමල මහතාගේ එකොළොස් (11) වන ගුණ සැමරුම දෙසැම්බර් මස (04) වැනි දිනට යෙදි තිබුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

වර්ෂ 1930 ඔක්තෝබර් මස 29 වන දින පන්නල,සඳලංකාවේ ඉරබඩගමදී උපත ලැබූ සිරිල් ඒ. සීලවිමල මහතා කදන්ගමුව මහා විද්‍යාලය පාදක කොට ප‍්‍රාථමික හා කනිෂ්ඨ අධ්‍යාපනය ලැබීය. ඉන්පසු එකල පැවති කීර්තිමත් පිරිවෙනක් වූ සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනින් උසස් හා පශ්චාත් අධ්‍යාපනය ලැබීය. නිහඬ බව, නිවුණු බව හා සංවර බව මෙන්ම උපේක්ෂිත බව සතතයෙන්ම සිය ජීවිතය හා බද්ධ කරගත් ඔහු, ජාතියෙන් සමුගන්නා තුරුම ඒ උතුම් ගුණාංගයන්ගෙන් අලංකෘතව දිවි මඟ පෝෂණය කර ගැනීමද විශේෂත්වයකි. මෙලෙස කාලය ගෙවීයත්ම ඔහුට සහජයෙන් හා සාංසාරිකව උරුමවුණු සෞන්දර්යාත්මක භාවමය චින්තනය වඩාත්ම, සජීවී ලෙස මුවහත් කර ගැනීමේ බිහිදොර වූයේ කලා හා සිනමා තොරතුරු කේන්ද්‍රගතවූ ආරියරත්න කහවිට කර්තෘත්වය හෙබවූ ”සිනමා කලා” සඟරාවට සමසේ දායක වීමට අවස්ථාව උදාවීම තුළිනි. එහි ප‍්‍රතිපලය වූයේ ඒ තුළින් ඔහුට සිය අනාගත මාවත සිනමා ක්ෂේත‍්‍රය හරහා බොහෝ දුරට ස්ථාවර කර ගැනීමට මංපෙත් විවර වීමය. කලා සිනමා සඟරාවෙහි චමත්කාර ජනක සෞන්දර්යවේදී වපසරියට අමතරව ”මිහිරි අයියා” යන අන්වර්ථ නාමයෙන් ළමා සිත් පහන් කොට පිබිදී එන ළමා පෙළ වෙනුවෙන් ලේඛකයකු ලෙස ඔහු දැක්වූ ප‍්‍රාගුණ්‍යය සිය ජීවිතය යථාවත් කිරීමට හා අසිරිමත් කිරීමට අත්වැලක් වීය.

ළමා සිත් මනාසේ හඳුනාගෙන ඊට අනුරූපීව සිත් ගන්නා අයුරින් සිය පන්හිඳ පත්ඉරු මත සනිටුහන් කළ ඒ යුගය ආලෝකවත් කළ ළමෝ අද, ප‍්‍රතිභාපූර්ණ නිර්මාණවේදීන් ලෙස පෙළහර පාන අයුරු දන්නෝ විරල නොවෙති.

මේ සොඳුරු මිනිසාගේ හදවත තාරුණ්‍යයට මහඟු තෝතැන්නක් වීය. ඔහුගේ සරණින් හා මඟ පෙන්වීමෙන් කලා ලොව ජයගත් බොහෝ අය අද ජාතික මාධ්‍ය ආයතන, පෞද්ගලික සන්නිවේදන නිකේතන සිනමා විකාශන ආදී විවිධ තැන් බබළවමින් ශිල්ප දක්වති. වෙහෙර විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, පල්ලි කෝවිල් යනාදි වූ බහු පුණ්‍යායතන මෙහෙය වූ, මහා යතිවරයාණෝ , පූජක ප‍්‍රසාදියාණෝ සමග සමබරව එදා පුවත්පත් කලාව වඩාත්මැ සංවේදීව ජනගත කිරීමට සිය කර්තෘත්වය මෙහෙයවීමට තරම් ඔහු නිහතමානී වූහ.

ඒ සඳහා උපකාරී කොට ගත්තේ දිනපතා ”දවස” හා ”ඉරිදා රිවිරැුස” පුවත්පත්හි මුල්පුටුවල ආධිපත්‍යයයි.

1960 දශකයේ මැද භාගයේදී පමණ ලංකා චලන චිත‍්‍රයට ද සම්පත් දායකයකු ලෙස සම්බන්ධ වීමට ද හෙතෙම වාසනාවන්ත වීය. එසේ කල්යත්ම සුප‍්‍රකට ගුණසේන ආයතනය හා සම්බන්ධවී ”දවස” පුවත්පත් හා අත්වැල් බැඳ ගැනීමෙන් ජාතික තලයේ පුවත්පත් කලාවේදියකු ලෙස එකල එහි කටයුතු කළ දැවැන්ත මාධ්‍යවේදීන් හා සමග උරෙනුර ගැටී කටයුතු කිරීමට ලැබීමම ජාතික තලයේ පුවත්පත් කලාවේදියකු ලෙස පෙරමඟට පිවිසීමට හැකිවීම සිය ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය ලෙස බොහෝ විද්වත්හු අදත් පවසති.

මෙසේ ක‍්‍රමක‍්‍රමයෙන් සිනමා කලා ක්ෂේත‍්‍ර ඔස්සේ ජාතික පුවත්පත් හා එක්වුණු සීලවිමලයන් එවකට ලංකාවේ පෘථුල ලෙස ජනගතව ව්‍යාප්තව තිබූ චිත‍්‍රපට කලාවට ද දෙබස් රචනයෙන් හා ගීත රචනයෙන් ප‍්‍රවිෂ්ට වීමේ අවස්ථාව හිමිකර ගැනීම ද දෛවෝපගත සිදුවීමක් ලෙස සනිටුහන් කළ හැකිය.

ඒ යුගයේ අතිශයින්ම ජනප‍්‍රියත්වයට පත්ව සිටි ගායක ගායිකාවෝ රාශියක්ම සීලවිමලයන් අතින් ලියැවුණු මිහිරි ගීත ගායනා කළහ.

සුදෝ පොඞ්ඩක් අඬන්න, මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්, හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී, මෝහෙන් මුලාවෙලා, මෙත් මල් පිබිදේවා, ළිඳෙන් වතුර බීලා, ගල්කිස්සෙ මුහුදු වෙරළේ, සන්සුන් රුවන් හද මන්දීරේ, දෝතින් දෝතයි, උපන් දිනය ළඟ එන හින්දා, ජන්මභූමි වන්දනා, දිලි දිලි දිලිසෙන එළියක් වැනි ඔහු ලියූ චිත‍්‍රපටි හා ගුවන් විදුලි සරල ගීත රාශියක්ම වත්මනෙහි පවා ජන විඥානයේ රැඳී පවතී.

ඔහු ජීවත්ව සිටියදී දෑසින් වත් දැක නොමැති තරුණ තරුණියෝ රූපවාහිනී ”මෙගා ස්ටාර්” තුළ ඔහු ලියූ ගී ගායනා කොට මහා ගායක තරු ලෙස අබිසෙස් ලැබූ අවස්ථාද වූහ.

නමුත් බොහෝ අවස්ථාවල ඒ ජයග‍්‍රහකයෝ මේ කෘතහස්ත ප‍්‍රවීණ ගීත රචකයාගේ නම පවා පැවසීමට තරම් අකෘතඥ වූ අවස්ථා ද මතකයේ ඇත.

පත්තර කලාවෙහි විරල අවස්ථාවක් ලෙස සැලකිය හැකි සිද්ධියක් පිළිබිඹු කරමින් වරෙක ඔහු දිනපතා ”දවස” හා ඉරිදා ”රිවිරැස” යන පුවත්පත් දෙකෙහිම ප‍්‍රධාන කර්තෘත්වය දරමින් ඉටුකළ කාර්ය බහුල වූ මෙහෙවර ඉතිහාසගතව ඇත. ඔහුගේ නිරහංකාර හා නිහතමානී ගුණය තුළින් සිය පුවත්පත් හරහා ජනගත වුණු කවි, කිවිඳයෝ, ලේඛක, ලේඛිකාවෝ මෙන්ම සන්නිවේදක සගයෝද බොහෝ වෙති.

ඔහු එදා සිය පුවත්පත් පිටු නිර්ලෝභීව කවි කිවිඳියන්ට ලේඛක ලේඛිකාවන්ට ප‍්‍රවීණ ආධුනික භේදයකින් තොරව තම හැකියාවන් ජනගත කිරීමට ඉඩ හසර ලබා දුන්නේය.

පණ්ඩිත් විමල් අබයසුන්දර, පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේව, සරත් විමලවීර, කරුණාරත්න අබේසේකර, චිත‍්‍රානන්ද අබේසේකර, ඩොල්ටන් අල්විස්, මඩවල එස්. රත්නායක, මහගම සේකර වැනි සමකාලීකයන් සමග සීලවිමලයන්ද එදා ගුවන් විදුලි මහගෙදර තුළින් සපථ කළ නිර්මාණ ප‍්‍රතිභාව අදටත් ශ‍්‍රාවක සිත්හි රැඳී පවතී.

එදා ගුවන් විදුලි මහගෙදර පරිශ‍්‍රය තුළ වියත් ප‍්‍රබුද්ධ කලාකරුවන් හා නිබඳ මුණගැසුණු ඔහු දිනපතා, සතිපතා හා මාසිකව ඉදිරිපත් කළ වැඩසටහන්වල මිහිරියාව අදටත් සිහිපත් කරනුයේ උතුරා ගිය සතුටකිනි.

එයට කෘතගුණ සැලකීමක් වශයෙන් 2009 වසරේ අගභාගයේදී පමණ සිරිල් ඒ. සීලවිමල සූරීන් වෙනුවෙන් ගුවන් විදුලියේ ආනන්ද සමරකෝන් බහු කාර්ය මැදිරි සංකීර්ණයේ දී පැවැත්වූ ”සීලවිමල අභිනන්දන” උත්සවය පිළිබඳ වූ මතකය යළි සිහිපත් කිරීම යුතුකමක් කොට සලකමි.

එදා ඔහු ගිලන්ව අසනීප තත්ත්වයෙන් පසුවූවද එහි පැමිණි සහෘද කලාකරුවන් හා උරෙනුර ගැටී සීලවිමලයන් දෑසින් ගැලූ සතුටු කඳුළු අතර සංවේදී වූ අයුරු අදටත් මගේ මතකයේ සටහන්ව ඇත.

කලාකරුවකු මියගිය පසු අතොරක් නැතුව ගුණ ගී ගයන ප‍්‍රශස්ථ ජනගත කරන මාධ්‍යය බහුල වත්මන් කාලයක එදා ජීවත්ව සිටි සිලවිමලයන් කැඳවා බුහුමන් කොට මුදලින් ත්‍යාගයක් ද පුදදී වත්මන් ගුවන් විදුලියේ සභාපති හඞ්සන් සමරසිංහ මහතාම එකලද සභාපතිව සිට කළ ඒ සත්කාරය අදත් මෙසේ සිහිපත් කරනුයේ සද්භාවයෙනි.

ඩබ්ලිව්.කේ. සරත් විමලසිරි

සන්සුන් රුවන් හද…

සන්සුන් රුවන් හද මන්දිරයේ
සන්සුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ ආලෝකේ ඔබද ප‍්‍රියේ
ආලෝකේ ආලෝකේ ඔබද ප‍්‍රියේ

රන්වන් එරන්වන් යවනියේ
රන්වන් එරන්වන් යවනියේ
සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප‍්‍රියේ
සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප‍්‍රියේ

ගායනය : මිල්ටන් පෙරේරා/ශ‍්‍රීමති තිලකරත්න
පද රචනය : සිරිල් ඒ සීලවිමල

ළිදෙන් වතුර බීලා…

ළිදෙන් වතුර බීලා
එයින් වතුර නාලා
ළිඳට ගල් ගසාලා
වතුර බොර කරයි මිනිසා
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි

ගහේ වැල එතීලා යාවී හැදී
පසුව මිලින වීලා සාරේ අදී
කාලා බීලා නිදලා කාලේ ගෙවයි
කාපු තැනද වනසා මිනිසා දුවයි

ළිදෙන් වතුර බීලා

ඉණිමන් තබාලා නැගීලා බලයි
එයට පහර දීලා කඩාලා දමයි
අතීතේ නසාලා දිනුවා සිතයි
තිබූ තැනද නැතිවී පරාදේ වැටේ

ළිදෙන් වතුර බීලා

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : සිරිල් ඒ සීලවිමල
සංගීතය : ආර් ඒ චන්ද්‍රසේන

හිස් ටින් එකක් වාගෙයි…

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි //
කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි
ඕ තිබුණත් නැතත් සල්ලි

අපි කයිවාරු නෑ මල්ලි (ඒ වුණත්)
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
අපේ පාටිය පිරිමි පාටියයි
අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි
අපට ඕනෑ ප‍්‍රජාතත්ත‍්‍රවාදයයි (ඒ වුණත්)

නැති බැරි එකා තල්ලූ වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා

ගායනය – එච්.ආර්.ජෝතිපාල/මිල්ටන් පෙරේරා/මොහිදීන් බෙග්

advertistmentadvertistment
advertistmentadvertistment