හැටනව ලක්‍ෂයේ ජනවරම දුර්වර්ණ කරන ආණ්ඩුවක් දුන් තනතුරකින් වැඩක් නෑ

408

කොත්මලේ ප‍්‍රා. සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් – මන්ත‍්‍රී නිමල් පියතිස්ස අස්වෙයි

හැටනව ලක්ෂයේ ජනවරම දුර්වර්ණ කරන ආණ්ඩුවකින් ලබාදුන් තනතුරක් දැරීම තම හෘදසාක්ෂියට අනුකූල නොවන බැවින් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කොත්මලේ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා පැවසීය.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (14දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කරන බව ද, පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා මෙසේ ද කීය.

ආණ්ඩුව 69 ලක්ෂයේ ජනවරමට පිටුපෑමට මෙන්ම එම ජනවරම නිර්මාණය කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ නායකයන් දෙපළක් ජනාධිපතිවරයා සිය බලතල ප‍්‍රකාරව අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කර සිදුකර ඇති ක‍්‍රියාව කිසිසේත්ම පිළිගත නොහැකියි. එමගින් මතුව ඇති ජනතා ප‍්‍රසාදය සුළුපටු එකක් නොවීම, ගොවි ජනතාවගෙන් සහ සෙසු ජනකොටස්වලින් ආණ්ඩුවට එල්ල වී ඇති බලවත් විරෝධය යන කරුණු හේතුවෙන් තවදුරටත් ඉහත කී තනතුර දැරිය නොහැකියි.

69 ලක්ෂයේ ජනවරම මෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 ජනවරම නිර්මාණය කිරීමට ආරම්භයේ සිට විවිධ කැපකිරීම් කරන ලද දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයන් නොසලකා හරිමින් සාමූහික ප‍්‍රයත්නයකින් තොරව ඇතැම් ජාතික තලයේ තීන්දු තීරණ ගැනීම තුළින් එම පක්ෂ දේශපාලනික වශයෙන් අනාරක්ෂිත වී තිබෙනවා. සමස්ත සමාජය පුරාම එම තීන්දු තීරණ ගත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව පිළිබඳ ප‍්‍රසාදය වේගයෙන් අහිමිවී යනවා. කාබනික පොහොර හඳුන්වාදීමේ තීන්දුව ඊට නිදසුනක් ලෙස දැක්විය හැකියි.

රටටත්, ජනාධිපතිවරයාටත් සතුරු බොහෝ අය ආණ්ඩුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ සිටින පරිසරයක් තුළ සැබෑ මිතුරන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීම රටත් ජනතාවත් කුමන අයුරකින් දරා ගනීදැයි පැවසිය නොහැකියි. ජාතික නිදහස් පෙරමුණට මුල සිටම සතුටු විය හැකි පරිසරයක් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ නිර්මාණය නොවූවත් අප පක්ෂය, ‘පක්ෂයට වඩා රට’ මුල් තැනට තබා දේශපාලනය කරන හෙයින් සිදුවන අසාධාරණකම් ඉවසා සිටියා. අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේදී අප පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතාට කිසිදු විෂයක් ගැසට් නොකළ අමාත්‍යාංශයක් ලබාදීම ඊට එක් නිදසුනක් පමණයි.

ප‍්‍රභාත් විතාන,  මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලන්ගන්තිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment