හැටහත් වසරක් සතයක් සොරකම් නොකළ පියෙක් හොරෙක් වෙලා

781

මොහු හැටහත් හැවිරිදි පුද්ගලයෙකි. දරු දෙදෙනකුගේ පියෙකි. දරු දෙදෙනාම දියණියන්ය. දෙදෙනාම විවාහකය. දියණියන් දෙදෙනාම මව්වරුය. වැඩිමහල් දියණියට පුතුන්ම දෙදෙනෙකි. දෙවැනි දියණියට පුතෙකු හා දියණියකි.

 අප මේ කියන හැටහත් හැවිරිදි පුද්ගලයා කොළඹ පිහිටි පුද්ගලික ආයතනයක ලිපිකරුවකු ලෙස විශ්‍රාම ගෙන තවත් වසර දෙක තුනක් එහි සේවය කළේ ඔහු ඉතා අවංක, දක්ෂ සේවකයකු වූ නිසාය.

 විශ්‍රාම ගිය පසු ලැබුණ අර්ථසාධක අරමුදල හා පාරිතෝෂිකය වැය කර හැකි පමණින් දියණියන් දෙදෙනාට දෑවැදි දුන් මේ පියා සැඳෑ සමය ගත කළේ ඉතා අමාරුකම් මැදය. ඔහුගේ බිරිඳ මියගියේ මීට පස් වසරකට පෙරාතුවය. දරු මුනුපුරන්ට අවුරුද්දට ඇඳුමක් තෑගි කිරීම මේ පියාගේ පුරුද්දකි. නමුත් මේපාර නම් එය හීනයක් බවට පත්ව ගියේ අප කොයි කවුරුත් වාගේ මේ වියපත් පියත් අසරණ කරමිනි.

 මහරගමට නුදුරු ප්‍රදේශයක ජීවත්වූ ඔහු අත ඉතිරි වූ සොච්චම් මුදලක් ද ගෙන මහරගමට ආවේ මිනිපිරියන් මුනුපුරන් තිදෙනාට මොනව හෝ මිලදී ගන්නටය. අත ඇති මුදල් ප්‍රමාණවත් නැත. කිසිදිනක සත පහක හොරකමක් නොකළ ඔහු කුඩා ඇඳුම් කිහිපයක් මල්ලකට ඔබා ගත්තේ වෙන කරන්නට දෙයක් නොවූ තැනය. රෙදිපිළි වෙළෙඳසැලේ ආරක්ෂක නිලධාරියෙක් ඔහු අල්ලාගත්තේ සීනුව නාද වෙද්දීය.

 මහත්තයා මම කිසිදවසක හොරකම් කරලා නෑ. මේ වියපත් මිනිසා හැඬු කඳුලින් වෙළෙඳසැලේ තරුණ කළමනාකාරියට වැඳ සමාව යැද්දේ දෙනෝදාහකගේ නෙත් අගට කඳුළු මුසු වෙද්දීය.

 තාත්තේ ඔයා ඔය ටික අරන් යන්න. මම ගෙවන්නම්. සිද්ධිය දුටු තරුණ කාන්තාවක මුදල් ගෙවා ඒ පියා නිවසට පිටත් කළේ රටත්, රටේ ජනතාවත් වැටී තිබෙන විපත තේරුම් ගනිමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment