හැමතැනම… හැමතැනම… හැමතැනම…

732

පසුගිය අවුරුදු දෙකේදී රටේ හැම තැනම කොරෝනා තිබිණ. පසුගිය මාස දෙකේදී රටේ හැම තැනම ඩෙංගු තිබිණ. පසුගිය සති දෙකේදී අපට ආරංචි වන්නේ අප අවට හැම තැනකම ඒඩ්ස් අවදානම තිබෙන බවය. මේ රටේ එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව පෙර වසරට සාපේක්‍ෂව දෙගුණයක් වී ඇතැයි දැනගන්නට තිබේ. ඒ අතර අලුතින් හඳුනාගත් රෝගීන් අතර පාසල් සිසුන්ද, විශ්වවිද්‍යාල සිසුන්ද, චීවරධාරී තරුණයන්ද සිටින බව දැනගන්නට ඇත. හඳුනාගන්නා ලද ඒඩ්ස් ආසාදිතයන්ගේ වයස් සීමාව අවුරුදු 18-30 ත් අතර පවතී. ඒඩ්ස් යනු ලෝක ඉතිහාසයේ දී මනුෂ්‍යයා විසින් අත්දකින ලද භයානකම සමාජ රෝගය වේ. නව ලෝක සංස්කෘතිය යටතේ ලිංගික ක්‍රියාකාරකම නමැති සාධකය බෙහෙවින් විවෘත ස්වභාවයක් ගත්තේය. වික්ටෝරියානු සංස්කෘතිය තුළ හිසේ සිට පාද දක්වා රෙද්දකින් වසා තැබූ මනුෂ්‍ය දේහය අද වනවිට කුඩා ජංගි කෑලි සහ කුඩා තනපට කැබලිවලට සීමාවී ඇත. සාමාන්‍යයෙන් අපි දන්නේ කිසියම් දෙයක් ඕනෑවට වඩා විවෘත වන විටත් බහුල වනවිටත් එය සාමාන්‍ය තත්ත්වයට පත්වී තවදුරටත් අන් අයගේ සැලකිල්ලෙන් හෝ විචිකිච්ඡාවෙන් බැහැරවන බවය. මුලින්ම ශ්‍රී ලංකාවට මෝටර් රථයක් ආනයනය කරන ලද කල්හි ඒ පසුපසින් දහස් ගණනක් දෙනා පයින් ගමන් කළහ. ශ්‍රී ලංකාවට මුල් වතාවට ලයිට් දෙන ලද්දේ මීට අවුරුදු 150 කට පෙර කොළඹ වරායට පැමිණි නැවකිනි. මේ නැව තුළ බලසම්පන්න ජෙනරේටර් හතරක් විය. එකී ජෙනරේටර් වලින් අදින ලද වයර් මගින් කොළඹ හෝටලයකට සුළු වේලාවකට ලයිට් දෙන ලදී. එය බැලීම සඳහා එම හෝටලය වටා විශාල පිරිසක් රැඳී සිටියහ. ලංකාවට මුල්වරට පීසා එන්නේ අවුරුදු 30 කට පමණ පෙරය. එකල පීසා නමැති ඒ ආහාරය අරුමයකි. ඒත් අද වනවිට හැම තැනකම පීසා කඩ ඇති බැවින් පීසා සහ පරාටා අතර ලොකු වෙනසක් නැත. අද පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාම ලයිට් තිබේ. එබැවින් කවුරුත් විදුලිය ගණන් නොගනිති. එසේම ලංකාවේ හැම තැනකම කාර් තිබේ. එබැවින් කවුරුත් මෝටර් රථ ගණන් නොගනිති. ඒ අනුව ලිංගිකත්වය නමැති සාධකය තවදුරටත් රහසක් නොවී සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන මේ සමාජ ක්‍රමය තුළ ලිංගික රෝග තවදුරටත් පැතිරීමට ඉඩ නැත. මන්දයත් ලිංගික ජීවිතය පිළිබඳ සියලු කරුණු ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්‍ෂා වන හැටිත් අද වනවිට නව යොවුන් දරුවෝ සියලු දෙනාම දනිති. එසේ තිබියදී ඒඩ්ස් රෝගය ශ්‍රී ලංකාව තුළ මෙතරම් බහුල වන්නේ කොහොමද? ලෝකයේ හැම රටකම පාහේ ඒඩ්ස් වර්ධනය අඩුවී තිබේ. ඒඩ්ස් වැඩිවී ඇත්තේ දුප්පත්කම බහුල නොදියුණු අප්‍රිකානු රටවල් කිහිපයක පමණි. අපේ රටේ ජනයා ලිංගික රෝගවලට බයෙන් සිටිතැයි අපි මෙතෙක් කල් සිතා සිටියෙමු. එහෙත් ඔවුන් මාරාන්තික ලිංගික රෝගවලට කිසිසේත්ම බිය නැති බව පෙනේ.

ශ්‍රී ලංකාවේ පළමුවන ඒඩ්ස් රෝගියා හමුවන්නේ 1987 දීය. ඔහු විදේශිකයෙකි. 1980 දී පමණ ලෝකයේ පළමු ඒඩ්ස් රෝගියා හමුවිය. ලංකාවේ පළමුවැනි ඒඩ්ස් රෝගියා හමුවූ කල්හි ප්‍රභාකරන් කොළඹට බෝම්බ දැම්මාක් මෙන් මේ රටේ ජනතාව සන්ත්‍රාසයට පත්වූහ. පොලිස් වාර්තා වලට අනුව, එකල තිබූ ගණිකා නිවාස වැඩි හරියක් වසා දමන ලදී. ඒ අතර ගණිකාවෝද, සමලිංගික ශ්‍රමිකයෝද අතුරුදන් වූහ. ගණිකාවන් ඇසුරු කරන පුද්ගලයන් කෙරෙහි සමාජය තුළ පිළිකුලක් හටගෙන තිබිණ. සමහරුන් කල්පනා කළේ ඒඩ්ස් රෝගය හෙම්බිරිස්සාව මෙන් හුළඟින් බෝවන බවය. මේ නිසා යුරෝපයෙන් ලංකාවට එන ස්වදේශිකයන් සහ විදේශික සංචාරකයන් අතේ දුරින් පමණක් ඇසුරු කිරීමට මේ රටේ මිනිස්සු පරිස්සම් වූහ. මේ අතර 1987 අග කොටස වන විට මේ රටේ පළමුවන ස්වදේශික ඒඩ්ස් රෝගියා හමුවිය. ඔහු මැණික් ව්‍යාපාරයේ නියුතු වූ තරුණ හාදයෙක් වූ අතර මැණික් වලින් ලැබූ අප්‍රමාණ ආදායමෙන් තායි ගණිකාවන් ඇසුරු කරමින් කාමාධික ජීවිතයක් ගත කළ බව හෙළිවිය. එකල ඒඩ්ස්වලට බෙහෙත් තිබුණේ නැත. ඒ අනුව කළ හැකිව තිබූ එකම දෙය වූයේ රෝගියාට ඇති තරම් ඇන්ටිබයොටික් දීමත් විටමින් සහ සේලයින් දීමත්ය. ඒඩ්ස් වැළඳුනු විට ශරීරයේ ප්‍රතිශක්තිකරණය ක්‍ෂය වීමට පටන් ගනී. ඒ නිසා කිලෝමීටරයක් ඈතින් ගමන් කරන හෙම්බිරිස්සාකාරයාගේ ලෙඩ ගතිය ඒඩ්ස් රෝගියාට බෝවේ. මේ න්‍යාය ධර්මයට අනුව යමින්, මැණික් ව්‍යාපාරික තරුණ රෝගියා ඒඩ්ස් වැළඳී මාසයකට පසු නිව්මෝනියාව හැදී මළේය. එදා මේ මනුස්සයාගේ මළ සිරුර පුළුස්සා ගැනීමට ආදාහනාගාරයක් අල්ලා ගැනීමටවත් බැරිවිය. මිනිස්සු ඒ තරමටම ඒඩ්ස් රෝගයට බියවූහ. ඉන් තිස්පස් අවුරුද්දකට පසු අද වනවිට මේ රටේ ජනයාට ඒඩ්ස් සහ හෙම්බිරිස්සාව අතර වෙනසක් දැනෙන්නේ නැත. ඒඩ්ස් යනු එකෙනෙහිම හැදෙන රෝගයක් නොවේ. එච්අයිවී විෂබීජය ආසාදනය වී අවුරුදු දෙකත් හතත් අතර කාලයකට පසු රෝගය එළියට එයි. ඒ වනවිට වැඩේ සම්පූර්ණයෙන් අල වී ඇති අතර ඇන්ටිබයොටික් ටොන් එකක් බිව්වත් ලෙඩා සනීප වන්නේ නැත. ඕනෑම අවස්ථාවක ඉතා කෙටි කාලයක් තුළ රෝගියා රෝගාතුරව සිට මියයෑමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් හටගත් මුල් කාලයේදී ඒ සම්බන්ධයෙන් බරපතළ ලෙස සමාජය දැනුවත් කරන ලදී. ඒනිසා හැමදෙනාම ඒඩ්ස්වලට බියවූහ. එහෙත් කැස්ස, හෙම්බිරිස්සාව මෙන් ඒඩ්ස් හැදෙන්නේ නැති බැවින් ටික කලක් යන විට කිසිදු සල්ලාලයෙක් මේ රෝගය ගණන් ගත්තේ නැත. පසුගිය අවුරුදු 35 තුළ මේ රටේ හාරදහසකට ඒඩ්ස් වැළඳී ඇත. එයින් 1000 ක් පමණ මියගොසිනි. ඒඩ්ස් මරණ සංඛ්‍යාව ස්වල්ප බැවින් මේ රෝගය මාරාන්තික රෝගයක් ලෙස පිළිගැනීමට වැඩිදෙනා කැමති නොවෙති. ඒ නිසා ඔවුහු කිසිදු ආරක්‍ෂාවකින් හෝ සීමාවකින් තොරව කම්සැපෙහි ගැලෙති. අවසන් ප්‍රතිඵලය වශයෙන් මරණය එනවිට කාටවත් කටඋත්තර නැත. එසේම ඒඩ්ස්වලට තවමත් හරියාකාරව බෙහෙතුත් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment