හැම්බර්ග් ඉල්ලූවොත් ඩම්ප්ලිං ලැබෙන The Restaurant of Order Mistakes අවන්හල

403

කට සහ දිව සූදානම් කර ගෙන ඔබ අවන්හලකට ගොස් ඇනවුම් කරන ආහාර බොජුන්පත ඔබට නොලැබුණොත් මොකද වෙන්නේ…? ඇත්තටම ඔබේ සිතට යම් ආවේගයක් එහෙම නැත්නම් මෙම අවන්හලේ සේවා සත්කාර ගැන කලකිරීමක් ඇති වේවි. නමුත් ඔබ දන්නවාද ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටි මේ අවන්හලට ගොස් ඔබ බත් ඇනවුම් කළොත් ඔබේ මේසයට ලැබෙන්නේ සැන්ඞ්විච් පංගුවක් වෙන්න පුළුවනි. ඒ තරමටම සංග‍්‍රහ කරන වේටර්වරුන්ට සේවා දායකයාගේ ඇනවුම අමතක වෙනවා. ඒ නිසාම මේ අවන්හල The Restaurant of Order Mistakes  යනුවෙන් නම් කර තිබෙනවා.

  • වරද්දන්නේ හිතා මතා නොවෙයි

ජපානයේ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂ ශයිරෝ ඔගුනි විසින් 2017 වසරේ ජූනි දෙවැනි දින ආරම්භ කරන ලද The Restaurant of Order Mistakes අවන්හලේ සේවයේ යෙදී සිටින සේවකයන් ඩිමෙන්ෂියා රෝග තත්ත්වයෙන් පසු වෙන උදවිය නිසා ඔවුන්ට ඉතාම ඉක්මනින් අමතක වීමේ රෝග තත්ත්වයක් තිබෙනවා. ඒ නිසාම පාරිභෝගිකයාගේ ඇනවුම සුළු වේලාවකින් අමතක වෙනවා. නමුත් පාරිභෝගිකයන් මේ බැව් හොඳින්ම දන්නවා. ඒ වගේම ඇතැම් අවස්ථාවන්හිදී තමාගේ සේවා මුරය උදය වරුවේ අවසන් වූ බව අමතක වෙන සේවකයන් නැවත හවස සේවා මුරයට සහභාගී වීමට ආපනශාලාවේම රැඳී සිටින අවස්ථාවන් ද තිබෙනවා. මෙම අවන්හල ආරම්භක අවස්ථාවේ සේවය කළ හිදෙකෝ මරුයාමා කාලය පිළිබඳව වරදවා තේරුම් ගත් අවස්ථාවන් තිබෙනවා.

ඩිමෙන්ෂියාව කියන්නේ මතක ශක්තිය නැතිවීම ඇතුළු මානසික හැකියාවන් පිරිහීමට පත් වෙන රෝග තත්ත්වයක්. සමහර විට මේ රෝග තත්ත්වය අල්සයිමර් රෝග තත්ත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවනි. ඒ නිසාම මෙවැනි මානසික පිරිහීමේ මුල් අවස්ථාවේ පසුවෙන පුද්ගලයන් සමාජයේ කි‍්‍රයාකාරී චරිත බවට පත් කිරීමේ අරමුණ ඇතුව මේ අවන්හල ආරම්භ කළා.

2012 වසරේදී ජපානයේ ඩිමෙන්ෂියා රෝගීන් මිලියන 4.2 ක් පමණ වාර්තා වූ අතර 2025 වසර වෙන විට එය මිලියන 7 ක් දක්වා ඉහළ යෑමේ ප‍්‍රවණතාවයක් ඇතැයි ජපානයේ සෞඛ්‍ය අංශ විසින් අනුමාන කරනවා. කෙසේ හෝ වේවා වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන් අතර ඩිමෙන්ෂියා රෝග තත්ත්වයට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබෙනවා.

එක් දවසක් ආහාර බ්ලොග් නිෂ්පාදිකාවක වන Mizuho Kudo මෙම අවන්හලට ගියා. ඇය හැම්බර්ග් එකක් ඇනවුම් කළා. ටික වේලාවකින් ඇගේ මේසයට ලැබුණේ ‘‘ඩම්ප්ලිං’’ එකක්. සේවයේ යෙදී සිටින උදවියගේ මානසික තත්ත්වය දන්නා නිසාම ඇය කිසිදු චෝදනාවක් කළේ නැහැ. ලැබුණ දේ බාරගත්තා. ඇය නොසිතූ අන්දමේ රසයක් එහි තිබුණ බැව් ‘‘කුඩෝ’’ සඳහන් කළා.

ඒ විතරක් නොවෙයි, මේ අවන්හලේ සේවයේ යෙදී සිටින සේවක සේවිකාවන් සිනාවෙන් පිරුණ මුහුණින් යුතුව බොහොම සතුටින් සේවය කරනවා.

  • අපි ඔවුන්ට අනුකම්පාව නොව සමාජ කි‍්‍රයාකාරිත්වයට අවස්ථාව ලබා දෙනවා
හැම්බර්ග් ඉල්ලූවොත් ඩම්ප්ලිං ලැබෙන The Restaurant of Order Mistakes අවන්හල

ජපානයේ වැඩිහිටි වයසේ පසුවෙන බොහෝ උදවිය මතකය පිරිහීමේ ඩිමෙන්ෂියා රෝග තත්ත්වයෙන් පසුවෙනවා. අපි ඔවුන්ට අනුකම්පා කරමින් නිවසට කොටු කරන්නේ නැහැ. ඔවුන්ගේ හැකියාවන් ශක්තිමත් කරනවා විතරක් නොවෙයි, සමාජයට ඔවුන් අවශ්‍ය චරිත බැව් පෙන්වා දෙනවා. ඒ නිසාම මේ වෙන විට සූපශාස්ත‍්‍ර කටයුතුවලට වගේම ආහාර පිළිගැන්වීමට ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයන්ගේ සේවය ලබා ගන්නවා. මේ ආපනශාලාව ගැන සමාජජාලා මගින් ලැබෙන ප‍්‍රසිද්ධිය නිසාම ආධාර මුදල් පවා ලැබෙනවා. මේ වෙන විට ලැබී ඇති වාර්තාවන්ට අනුව ලැබෙන ඇනවුම්වලින් 37% ක්ම වරදවා ලබා දුන්නත් පාරිභෝගිකයන් ඒ ගැන කිසිම චෝදනාවක් නැහැ. පාරිභෝගිකයන්ගෙන් 99% ක්ම සඳහන් කරන්නේ The Restaurant of Order Mistakes අවන්හලේ සේවා සත්කාරය ගැන ඔවුන් බෙහෙවින්ම තෘප්තිමත්ව සිටින බවයි.

  • වැඩිහිටි පුද්ගලයන් හුදෙකලා කළ යුතු නැහැ

The Restaurant of Order Mistakes  අවන්හලේ අත්දැකීම් පාදක කර ගෙන බොහෝ දෙනා සඳහන් කරන්නේ වයසත් සමග මානසික ලෙසින් හුදෙකලා වෙන පුද්ගලයන් සමාජය සමග සම්බන්ධ වීම වැදගත්. මානසික දුර්වලතාවයන් නිසා මේ පුද්ගලයන් නිවසට සීමා කිරීම නිසා ඔවුන්ගේ මානසික තත්ත්වය ඉතා වේගයෙන් පිරිහෙනවා. ඒ නිසා පසුගිය සැප්තැම්බර් 21 වැනි දිනට යෙදුන ලෝක ඇල්සයිමර් දිනය වෙනුවෙන් The Restaurant of Order Mistakes  ට සමාන තවත් අවන්හලක් ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා. මෙම අවන්හලේ කීර්තිය ජපානයට පමණක් සීමා වී නැහැ. කොරියාව, චීනය, ඔස්ටේ‍්‍රලියාව වැනි රටවල සංචාරකයන්ද මෙම අවන්හලේ සේවාව ලැබීමට කැමැත්තක් දක්වන අතර ජපානයේ සංචාරයේ යෙදෙන විදේශීය පිරිස් The Restaurant of Order Mistakes  අවන්හලට යෑමට අමතක කරන්නේ නැහැ. මෙම සමාජ සත්කාර්ය නිසාම මෙම අවන්හලට ජපානයෙන් ලත් සම්මානයන්ට අමතරව ලන්ඩන් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී සම්මානයක්, කෑන්ස් ලයන්ස් සම්මානය සහ ස්පයික් ඒෂියා සම්මානය ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා
www.boredpanda.com

advertistmentadvertistment
advertistmentadvertistment