හැමෝම අහනවා මම ශලනිගේ නංගිද කියලා… කස්තුරි ජයවර්ධන

2024

මේ වන විට පුංචි තිරයේදී නිතර දකින්නට ලැබෙන චරිතයක් වන කස්තුරි ඉදිරියේදී සිනමාව හරහාද දැක ගැනීමට හැකියාව ලැබෙන බවට සුභ ආරංචියක් ගෙනෙමින් මෙලෙස අප සමඟ දොඩමළු වුණා.

* කොරෝනා කාලයේ වුණත් රූගතකිරීම් නිසා කස්තුරි කාර්යබහුලයි නේද ?

නීල පබළු ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදු කරන නිසා මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.ඒත් එක්කම අලූත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන සැප්තැම්බරයේ දීග දවසක් ,පෝර්ක් වීදිය,සිරස නාලිකාවේ නීල පබළු ටෙලි නාට්‍යවලත් මම රඟපානවා. කොරෝනා නිසා බොහොම පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව රූගත කිරීම් සඳහා එකතු වෙනවා.

* පෝර්ක් වීදිය ටෙලිනාට්‍යයේ ගුරුවරියකගේ චරිතය රඟපෑමට ලැබීම සුවිශේෂී අවස්ථාවක් නේද?

ඔව් .මම කුඩා කාලයේ සිටම ගුරුවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටිය කෙනෙක් .පොඩි කාලේ ඉඳලම හිතේ තිබුණ හීනයක්, චරිතයකින් නිරූපණය කිරීමට අවස්ථාව ලැබීම සුවිශේෂ කාරණාවක්.මේ දවස් වල පෝර්ක් වීදිය අවසාන අදියරේ කොටස් ටික තමයි විකාශය වෙන්නේ.මම හිතනවා මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කළා කියලා .

* කස්තුරි ජයවර්ධන රංගන ශිල්පිණියක් වුණේ දෙරණ අවුරුදු කුමරි තරඟාවලිය නිසා නේද?

මගේ ගම මහියංගනය. පොඩි කාලෙදිවත් මට රංගන ශිල්පිණියක් වීමේ හීනයක් තිබුණේ නෑ. බොහෝ දෙනෙක් මාව අඳුරගත්තේ දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය නිසා .ඒ නිසා මට රංගනයට එන්න අවස්ථාව ලැබුණා. මගේ දක්ෂතා දැකලා මට මුලින්ම ටෙලිනාට්‍යයක රඟපෑමට අවස්ථාව හදලා දුන්නේ සංගීත් ප‍්‍රභූ අයියා.

* කස්තුරිට රඟපාන්න ලැබුණු චරිත වලින් වැඩියෙන්ම කැමැති චරිතය මොකක්ද?

මම මේ වෙද්දි ටෙලිනාට්‍ය දහයක වගේ රඟපාල තියෙනවා.ඒ හැම චරිතයකටම මම කැමැතියි .නීල පබළු ටෙලිනාට්‍යයේ මගේ චරිත ගමෙන් කොළඹ ඇවිත් රැුකියාවක් කරන තරුණියකගේ කතාවක්. ඒ කතාව මට සමීප අත්දැකීමක්. ඒ වගේම පෝර්ක් වීදියේ ගුරුවරියගේ චරිතය,සැප්තැම්බරයේ දිග දවසක් එකේ කුමීගේ චරිතය,සක්කාරං අග්නි පියාපත් ටෙලිනාට්‍ය මේ හැම චරිතයක්ම එකිනෙකට වෙනස් විශේෂ චරිත.ඒ නිසා කැමති එක චරිතයක් තේරීම අපහසුයි.

* චරිත භාරගන්නේ තෝරා බේරාගෙන කියන කතාව ඇත්තද ?

ඇත්තටම මම රඟපාන්න චරිත භාර ගන්නේ හො`දට හොයල බලලා . චරිතයේ විලාසිතා, ඇඳුම් පැළඳුම් ගැනත් සැලකිලිමත් වෙනවා .මම ගමක ඉපදණු හැදුණු වැඩුණු කෙනෙක් නිසා විලාසිතා කරද්දි පරිස්සම් වෙනවා .හැම දෙයක් ගැනම හොඳට හොයලා බලලා මට ගැළපෙන චරිත තෝරගෙන හැදෑරීමකින් පස්සේ තමයි රඟපාන්නේ.


* කස්තුරි ශලිනි තාරකාව අනුකරණය කරනවද?

ශලිනි අක්කගේ හැඩරුවට මගේ හැඩරුව සමානයි කියලා බොහෝ පේ‍්‍රක්ෂකයින් කියනවා . සමහරු අහනවා මම ශලිනි අක්කා ගේ නිවුන් සහෝදරිය ද කියලා .අග්නි පියාපත් ටෙලි නාට්‍යයේ ශලිනි අක්කා රඟපෑව චරිතයට පසුකාලයේ මාව තෝරා ගත්තේ මගේ රූපය ශලිනි අක්කගෙ රූපයට සමාන නිසා . නමුත් මම හැමවෙලේම උත්සාහ කරන්නේ මට අනන්‍යතාවයක් ගොඩ නඟා ගනිමින් චරිත වලට හැකි උපරිමයෙන් සාධාරණයක් කරන්න. මම කිසිම කෙනෙක්ව අනුකරණය කරන්න යන්නේ නෑ .

* අධ්‍යාපන කටයුතු වලින් පස්සේ කස්තුරි වෘත්තීයමය වශයෙන් රඟපෑමට එකතු වෙනවද ? රංගන ජීවිතයෙන් අයින් වෙනවද ?

දැනට මම රුහුණු විශ්වවිද්‍යාලයේ කලා අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරනවා. උසස් අධ්‍යාපනයෙන් අනතුරුව රැුකියාවක් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් රඟපෑමෙන් ඉවත්වීම සම්බන්ධයෙන් තීරණයක් අරගෙන නෑ. වෘත්තිය ජීවිතයටවත් පෞද්ගලික ජීවිතයටවත් බාධාවක් නොවන ලෙසින් රඟපෑම් කටයුතු වල නිරත වීමට උත්සාහ දරනවා. ඉගෙන ගන්න කාලය අතරතුරදීත් පසුවත් හොඳ චරිත වලට ආරාධනා ලැබුණොත් අනිවාර්යෙන්ම ඒවා බාර ගන්නවා.

* කස්තුරි ටිකක් ආඩම්බර චරිතයක් කියලා සමහරු චෝදනා කරනවා .

මම සරල විදියට ජිවත් වෙන කෙනෙක්. කිසිම දේකින් ආඩම්බර වෙන්නේ නෑ .මහියංගනයේ ඉඳලා කොළඹ ඇවිදින් රංගන ශිල්පිනියක් වෙලා පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය හිමිවීම ගැන ලොකු සතුටක් හිතේ තියනවා. ජනප‍්‍රියත්වය ආඩම්බරයට හේතුවක් නෙමෙයි. ඕනෑම කෙනෙක් එක්ක හිනාවෙලා කතා බහ කරනවා .

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment