හැමෝම අහන්නේ පවුල කඩාගන්නද හදන්නේ කියලා…. සුජානි මේනකා

1087

නුවංගි ටීචර් ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් කතාවෙනව. ගුරුවරියකගෙ මේ හැසිරීම සමාජයට දෙන්නෙ මොන වගේ පණිවුඩයක්ද?. විවිධ කතන්දර එහෙන් මෙහෙන් ඇහෙද්දි සුජානි මේනකා වසර දෙකක නිහැඬියාවකට පස්සෙ පෝක් වීදියේ මවන අපූරු චරිතයක් අපිට දකින්න ලැබෙනව.

 මොකක්ද මේ නිහැඬියාවට හේතුව. ඇයි මේ වගේ චරිතයක් භාරගත්තෙ. ඇය මේ හැමදේටම පිළිතුරු මේ විදිහට කිව්වා.

 * මොනවද මේ දවස්වල තොරතුරු?

 පෞද්ගලික ජීවිතයේ නම් ලොකු වෙනසක් නැහැ. වෘත්තිය පැත්තෙන් මේ දවස්වල පෝක් වීදිය නාට්‍යයේ වැඩකටයුතුවල යෙදිල ඉන්නව.

 * කාලෙකට පස්සෙ නිර්මාණයකින් දකින්න ලැබෙන්නෙ?

 ඔව්. අවුරුදු දෙකකට විතර පස්සෙ තමයි නැවතත් රඟපෑමට යොමු වෙන්නෙ.

 * කොහොමද ප‍්‍රතිචාර?

 විවිධ ප‍්‍රතිචාර ලැබෙනව. හොඳ වගේම නරකත් නැත්තෙම නෑ. ඔය අතර ගොඩක් දෙනෙක් අහන්නෙ පවුල කඩාගන්නද හදන්නෙ කියල.

 * රූගතකිරීම් වලට බාධාවන් නැද්ද?

ඇත්තටම වෙනද වගේ සැහැල්ලූවෙන් අපිට රූගතකිරීම් කරන්න බැහැ. බාධාවන් ගොඩක් තියෙනව. කොහොම වුණත් නිසි අවසරයක් ඇතුව සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් පරිස්සමට වැඩකටයුතු ටික කරගෙන යනව.

 * එකිනෙකා අතර විශ්වාසය ගොඩනාගන්නෙ කොහොමද?

රූගතකිරීම් කරනවද නැද්ද කියන තීරණය වෙනුවෙන් මුලදි සාකච්ඡුා වට කිහිපයක්ම තිබ්බා. ඒවායෙදී ගත්ත තීරණ අනුව පණහක් හැටක් පමණ වුණ නාට්‍ය කණ්ඩායම වෙනුවට ඒ ඒ දවස්වලට අවශ්‍ය වන පිරිස විතරක් ගෙන්නන්න කටයුතු කළා. මේ වෙන කොට බොහොම අඩු පිරිසකගෙන් තමයි රූගතකිරීම් කරන්නෙ. වැඩ පටන්ගන්න කලින්ම මතුවෙන්න පුළුවන් ප‍්‍රශ්න විසඳගන්න කටයුතු කරපු නිසා අද ලොකු ගැටලූවක් මතුවෙලා නැහැ. කොහොම වුණත් සමහර වෙලාවට ආරංචි වෙනව අපිත් එක්ක වැඩකරපු කෙනෙක් පොසිටිව් කියල. ඒ වෙලාවට දවස් දහයක් දාහතරක් නිරෝධායනය වෙලා නැවතත් ෂුටින් කරනව. අවධානම තියෙනව. නමුත් පුළුවන් උපරිමයෙන් අපි අපේ දායකත්වය ලබා දෙනව.

 * කොහොමද මේ ආරාධනය ලැබෙන්නෙ?

පෝක් වීදිය සහය අධ්‍යක්‍ෂවරයා වන රංජන් ප‍්‍රසන්න මගේ දිගුකාලීන මිතුරෙක්. ඔහුගේ යෝජනාවකට අනුව අධ්‍යක්‍ෂවරයා වන සාලින්ද රත්නායක තමයි මට මේ ආරාධනය කරන්නෙ. මම මුලින්ම ඇහුවෙ පිටපත කාගෙද කියල. එතනදි තමයි පිටපත අසංක සායක්කාරගෙ කියල මම දැනගන්නෙ. ඔහුත් මගේ මිතුරෙක්. වැඩ පහක් හයක් විතර කරලත් තියෙනව. මේ කරුණු නිසා මම නාට්‍යයට කැමති වුණා.

 * ඔබේ කැමැත්තට හේතු වුණේ මේ කරුණු විතරද?

නැහැ. පිටපත කියවාගෙන යනකොට චරිතය ගැන ආසාවක් ඇති වුණා. මොකද මම කලින් මේ වගේ චරිතයක් කරල තිබුණෙත් නැහැ. ඒ වගේම සුජානි මේනකා කියන කෙනාත් මේ චරිතයේ යම් යම් තැන්වල ඉන්නවා. අනෙක් කරුණ තමයි මේකට සම්බන්ධ පිරිස. ඔවුන් ගැන දැනගත්තාම චරිතය භාරගන්න නිකම්ම කැමැත්ත ඇති වුණා.

 * නුවංගි ටීචර්ට මොකද වෙන්නෙ?

ඒක දැන්ම කියන්න අමාරුයි. හරි පාරක යයිද. අතරමං වෙයිද. ඒ දෙකම නැතිව නොසිතන දෙයක් වේවිද කියන කුතුහලය අපි පේ‍්‍රක්‍ෂකයාට තියමු. මේ කතාව කොටස් සියයක් දක්වා ගෙනියන්න තමයි නිෂ්පාදක කණ්ඩායම අදහස් කරල තියෙන්නෙ.

 * ඔබට චෝදනා එන්න පුළුවන්?

මේ මගේ වෘත්තිය. එතනදි මම ආසා දේ කරනව. සමහර විට ලැබෙන්නෙ නරකම ප‍්‍රතිචාර වෙන්න පුළුවන්. හොඳම ප‍්‍රතිචාර වෙන්නත් පුළුවන්. ඒක පේ‍්‍රක්‍ෂකයන්ගෙ කැමැත්ත. සමහර කෙනකුට හිතෙන්න පුළුවන් අනේ මටත් මේ වගේ දෙයක් වෙලා තියෙනවනෙ කියල. හරි හෝ වැරදි දේ සමාජය තමයි තීරණය කරන්න ඕනෙ. මේක හරි මේක වැරදියි කියල කාටවත් කියන්න බැහැ. මේ ටෙලි නාට්‍යය වැරදි ආදර්ශයක් දෙන්න හදන එකක් නෙමෙයි. සමාජයේ සිදුවෙන දේවල් තමයි ඉදිරිපත් කරන්නෙ. නමුත් මගේ ඔලූවෙ තියෙන්නෙ කොහොමද මේ චරිතය හොඳින් කරන්නෙ කියල.

 * කාලයක් නිහ`ඩව ඉන්න තීරණය කළේ ඇයි?

ඇත්තටම මට අවුරුද්දක විතර විවේකයක් ගන්න ඕන වුණා. එක දිගට වැඩකරපු නිසා තිබුණ තෙහෙට්ටුවත් පෞද්ගලික ජීවිතයට තැන දෙන්න තිබුණ උවමනාවත් නිසා ඒ නිවාඩුව ගන්නම ඕන වුණා. බිමල් වැඩකරනවට මම කැමතියි. මට විඳින්න දේවල් තියෙනව. ඒ නිසා ඒ කාලෙ ඇතුළත වැඩකට කතාකරන කෝල් එකකටවත් මම උත්තර දුන්නෙ නැහැ. සමහර අය බිමල්ට පවා කතාකරල තිබුණා. නිවාඩු කාලය අවසන් වෙලා වැඩකරන්න හිතුවාම කොරෝනා පැතිරුණා. ඒ නිසා හිතාගෙන හිටපු හැටියට වැඩකරගන්න බැරි වුණා.

 * බිමල් තහංචි දැම්මද?

බිමල් මාව හොඳට හඳුනනව. ඒ නිසා මගේ කිසිම දේකට බලපෑම් කරන්නෙ නෑ. ටෙලි නාට්‍යයකට ආරාධනයක් ආවත් එහෙමයි. ඒක භාරගත්තොත් මොකද වෙන්නෙ, නොගත්තොත් මොකද වෙන්නෙ කියල ඔහුගෙ අත්දැකීම් එක්ක තේරුම් කරල දෙනව. විවේකයක් ගන්න ඕන වුණත් ඒකට අවශ්‍ය දේ සපයනව. ඒ නිසා ඔහු කවදාවත් මට තහංචි දාන්නෙ නෑ.

 * දැන් නිර්මාණ භාරගන්නෙ තෝරාබේරාගෙනද?

මම හොහොමත් ඕනෑවට වඩා නිර්මාණ භාරගත්තෙ නැහැ. විවාහයෙන් පස්සෙ සමහර වෙලාවට අවුරුද්දටම එකක වගේ තමයි වැඩ කළේ. අපේ රංගන ක්‍ෂේත‍්‍රයේ දක්‍ෂයන් ඉන්නව. ඔවුන්ට ඔවුන්ගේ දක්‍ෂතා එළිදක්වන්න පුළුවන් නිර්මාණ බිහිවෙන්නෙ නෑ. ඒ නිසා අද අපිට නිර්මාණයකට ආරාධනා කළාම පිටපත බලන්න, අධ්‍යක්‍ෂවරයා ගැන විශේෂයෙන් හොයල බලන්න සිදුවෙලා. මේ අනුව රඟපාන නිර්මාණ ප‍්‍රමාණය ඉබේම සීමා වෙනව.

 * අද ක්‍ෂේත‍්‍රය තියෙන්නෙ මොන වගේ තැනකද?

මෙහෙමයි… සමහර නිර්මාණවලට මම පෞද්ගලිකව පොඞ්ඩක්වත් කැමති නැහැ. සමහර ඒවා බලන්නම බැහැ. සමහර ඒවා දිග වැඩියි. සමහර ඒවායෙ නළු නිළියො මොනවද කරන්නෙ කියල හිතෙනව. සමහර ඒවායේ අධ්‍යක්‍ෂවරයෙක් ඉන්නවද කියලත් හිතෙනව. මේ දේවල් නිසා අද වෙනකොට ක්‍ෂේත‍්‍රය තියෙන්නෙ හොඳ තැනක නොවෙයි.

 * වෘත්තීයමය රංගනයෙන් සුජානි ඈත්වෙලාද?

මම වෘත්තීයමය රංගනයෙන් ඈත් වෙලා නැහැ. වෘත්තිය මොකක් වුණත් ඒක සතුටින් කරන්න ඕන. ඒ මම විශ්වාස කරන දෙයක්. තමන් භාරගන්න නිර්මාණයට කොපමණ බරක් දරනවද කොපමණ වගකීමක් ගන්නවද කියන එක තමන්ට දැනෙන තෘප්තිය මත තීරණය වෙනව. මම යන්නෙ මංදගාමී ගමනක්. ඒකට හේතුව සතුටින් කරන්න පුළුවන් නිර්මාණවල තියෙන අඩුව.

 * ඔබ කලකිරීමෙන්ද?

මම ජීවිතේ කිසිම දවසක පසුතැවිලි වෙන දේවල් කරල නැහැ. පොඩිකාලෙ ඉඳන් ඒක මගේ පුරුද්දක්. සමහර නිර්මාණවලදි මට අවශ්‍ය සහයෝගය නොලැබෙනවනම් අතරමැදදි වුණත් කතාකරල ඒ නිර්මාණයෙන් ඉවත් වෙනව. බිමල් වැඩකරන නිසා මට බය නැතිව තීරණ ගන්න පුළුවන්. ඒ නිසා මට පසුතැවිලි වෙන්න, කලකිරෙන්න හේතු නැහැ.

 * එදා සහ අද නිර්මාණවල වෙනසක් දකිනවද?

මම රඟපෑම පටන්ගත්තෙ අවුරුදු තුනෙන්. ඒ කාලෙ හිටපු නළු නිළියො, අධ්‍යක්‍ෂවරු බැලූවාම අද වෙනකොට ක්‍ෂේත‍්‍රය බොහොම දියුණු මට්ටමක තියෙන්න ඕන. නමුත් එදා හොහොම පොහොසත් මට්ටමක තිබුණ ක්‍ෂේත‍්‍රය අදවෙනකොට බොහොම දුප්පත් වෙලා. පිටරට නිර්මාණ බැලූවාම අපිට බොහෝ දේවල් දැකගන්න පුළුවන්. අදටත් අපේ රටේ චිත‍්‍රපට, ටෙලිනාට්‍ය කර්මාන්තයක් විදිහට දියුණු වෙලා නැහැ. කතාවක් තියෙනවනෙ පහත් තැනින් හැමදේම ගලාගෙන යනව කියල. මට හිතෙන්නෙ කලාව තුළින් තමයි ඒ ප‍්‍රශ්න ටික ගලාගෙන යන්නෙ කියල. නිෂ්පාදකයන්ට එන බලපෑම් සමස්ත කලාවටම බලපානව. අද වෙනකොට මේ රට ඇතුළෙ කලාව තියෙන්නෙ ලොකු අර්බුදයක.

 * මොනවද අලූත් ආරාධනා?

පසුගිය වසරේ ජනවාරි මාසෙ ඉඳලම කරන්න වැඩ ගොඩක් තිබුණා. එකක මුහුරත් උළෙල පවා පැවැත්වුවා. නමුත් හැමදේම කල් ගියා. මේ වන විට චිත‍්‍රපට තුනක වගේම ටෙලි නාට්‍ය පහක විතර වැඩකටයුතු භාරගෙන තියෙනවා.


මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment