හැම අලුත් අවුරුද්දක්ම ඩිංගිරි අම්මාට අයිතිය…

702

සිංහල හින්දු අලුත් අවුරුද්ද කාන්තාවට සුවිශේෂී වන්නේ නව වසරේ සිරිදුව නිවසට කැන්දන්නේ ඇය නිසාවෙනි. පැරණි හෙළ කුල සිරිත් විරිත් අනුකූලව චාරිත‍්‍ර වාරිත‍්‍ර විදි පවත්වමින් පවුලේ එකමුතු බව රැුකගනිමින්, ඉදිරි පරපුරට ආදර්ශමත් චරිතයක් වන්නට කාන්තාවට ලැබෙන හොඳම අවස්ථාවද සිංහල හින්දු අලුත් අවුරුද්දය.

මේ සා මේ තාක් සිය අභිමානය රකිමින් පරපුරක අභිමානය රකින්නට පෙළගැසුණු කාන්තාවන් අතර සබරගමුවේ සුවිශේෂී වූ සිරිත් විරිත් චාරිත‍්‍රවිදි පවත්වාගෙන ගිය පරපුරක් මුණගැසිණි. ඔවුහු අදටත් සිංහල අලුත් අවුරුදු චාරිත‍්‍ර විදි ආරක්ෂා කරමින් සිටිති. සබරගමුව ඉතිහාසය සංස්කෘතික ලක්ෂණ හා බද්ධව ඉදිරියට පැමිණ තිබේ. පුරාවෘත්තවල සඳහන් වන පරිදි සහ අතීතයේ සිට පැවත එන මතයන්ට අනුව සුප‍්‍රසිද්ධ සමන් දේවාලය ඉදිකොට ඇත්තේ ද ක‍්‍රිස්තු වර්ෂ 1236 ත් 1270 ත් අතර කාල වකවානුව තුළය. ඒ දෙවන පරාක‍්‍රමබාහු රජතුමා විසිනි. ඔහු ඖෂධ පූජා පැවැත්වීමට රුසියෙකි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඖෂධීය ගුණයේ බලපෑම ගැන විශ්වාසය තැබූ ඔහු එකළ පටන් සිය ජනයාට ඖෂධීය පැලෑටිවල වටිනාකම කියා දුන් අයෙක් බව ඉතිහාස පොත පතෙහි සඳහන් වේ.

මෙවන් පසුබිමක් සහිත බිමක සිට සිය නිවැසියන්ට සෞඛ්‍යාරක්ෂිතව අවුරුදු සිරිතෙන් සංග‍්‍රහ කරන්නටම උපන් හපන් කමක් ඇති මාතාවකි ඞී. එම්. ඩිංගිරි මැණිකේ. ඇය අදටත් අවිවාහකය. එහෙත් ඇය සිය නිවසේ වෙසෙන සියලු පිරිස සමග හරි හරියට දේශීය ආහාර සකසන්නීය. වයස අවුරුදු හැටපහකටත් අධික කලක් කෑගල්ලේ සියඹලාපිටිය ගමේදී වසරක් පාසා අවුරුදු චාරිත‍්‍ර යෙහෙන් ආරක්ෂා කරන ඩිංගිරි මැණිකේ සියලු චාරිත‍්‍රවාරිත‍්‍ර සුරකින්නේ ඒ මත දැඩි විශ්වාසයක්ද තබාය.

ඇයගේ කතාවයි මේ……,

”ඉස්සර නම් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගේ අලුත් කරන්න පටන් ගන්නේ, මාර්තු මාසයේ අග සිටමයි. ගෙවල් පිහලා අලුතින් හුණු පිරියම් කරලා, අලුත් පාටකින් තීන්ත ගානවා. අලුතින් මුළු ගෙදරම දොර ජනේලවලට දොරරෙදි දානවා. ඒ හැමදෙයක්ම සිදුවන්නේ නිවසේ කාන්තාවගේ කැමැත්ත විදිහට. නමුත් මේ හැම දෙයක්ම කරන්න වුවමනා කරන බඩු ගෙනැවිත් දෙන්නේ නිවසේ ස්වාමිපුරුෂයා.

ඉන් පස්සේ, අවුරුදු කැවිලි පෙවිලි හදන්න වුවමනා කරන පැණි මුලේ හකුරු මුලේ ඉඳන් සෑම දෙයක්ම ස්වාමියා විසින් ගෙනැවිත් දෙනවා. අවුරුදු දා ඉවුම් පිහුම්වලට වගේම, නව අවුරුදු උදාවේ ඉඳන් ඉදිරි කාලයේ ඉවුම් පිහුම්වලටත් එක්කම තුනපහේ, හදා ගන්නේ නිවසේදියි. මිරිස් කරල්, කොත්තමල්ලි සූදුරු මහදුරු මේ හැම දෙයක්ම වගේ සෝදලා අව්වේ වේලලා පහේ හදා ගන්නවා. මිරිස් කොටලා කහ කොටලා ලෑස්ති කර ගන්නවා.

ඒ විතරක් නෙවෙයි අලුත් මේස රෙදි ඇඳ ඇතිරිලි කොට්ට උර ආදියත් අලුතින් මහනවා. ගෙදර හැම දෙනාටම ඇ`දුම් මහනවා. මේ හැම කාර්යක්ම ස්වාමි දුවගේ රාජකාරියක්.

අවුරුදු දිනයේදිත් කාන්තා පාර්ශ්වයට හිමි වුණ විශේෂ චාරිත‍්‍ර විදි මේ පළාතේ සිදු කෙරෙනවා. අවුරුදු උදාවෙන් අනතුරුව ලිප ගිනි මෙළවූ විට ස්වාමි දුව කිරිබත ලිපේ තියනවා. මේ වෙලාවට ස්වාමිපුරුෂයා අලුත් ඇ`දුම් ඇඳගෙන හිසේ ජටාවක් බැඳගෙන මුළුතැන්ගේ පැත්තෙන් එළියට බහිනවා. නිවසේ තවත් පිරිමි දරුවන් සිටිනවා නම් ඒ අයත් එක්ක. මුලින්ම ගෙවත්තේ තිබෙනවා නම් නියඟලා වැලක් ඒ වැල ළඟට ගිහින් නියඟලා වැලේ දල්ල කඩලා අයින් කරනවා. ඉන් අනතුරුව දකුණු පසට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ ආරම්භයේ සිටම තිබෙන සෑම ගහකින්ම පුංචි දල්ලක් කඩා ගන්නවා. ඒ කාලයේ ඉඳන් කට වචනයෙන් පැවතගෙන ආවේ දලු එකසිය අටකින් බෙහෙත් පැහියක් සාදා කිරිබත් සමග මුසු කොට අනුභවය නිරෝගි ඉදිරි වසරක් උදෙසා මැනවයි කියලායි.

ඒ මත පිහිටලා ගෙවත්තේ තිබෙන ඖෂධ පැලෑටි විතරක් නෙවෙයි, අලිපේර දල්ලක් කරපිංචා, කළු කම්බේරියා ඔය හැම දෙයකින්ම දල්ලක් බැගින් කඩා ගෙන දලු මිටක් ගේනවා. අනතුරුව දලු ටිකට සුදුලුනු ගම්මිරිස් එක්ක ගලේ අඹරනවා. කිරිබත ඉදුනායින් පසුව ඉන් තරමක කොටසක් අයින් කරලා මේ අඹරපු දලු ගුලිය එකතු කරලා බෙහෙත් පැහිය හදා ගන්නවා. එයට ගෙදර හදාපු හැම රසකැවිල්ලකින්ම කුඩා කොටසක් කෙසෙල් කැබැල්ලකද එකතු කරනවා. පිරිත් කියමින් හොඳින් මිශ‍්‍ර කරලා, එය හැම දෙනාගෙම පිඟන්වලට කුඩා ගුලියක්

ගානේ බෙදනවා. නැකතට ආහාර අනුභවයේදී මේ බෙහෙත් පැහැ මිශ‍්‍ර කිරිබත තමයි අනුභව කරන්නේ. කෑම මේසයේ පහනක් පත්තු කරන්නත් මේ කෑම සතා සිව්පාවන්ට ඉ`දුල් නොවෙන්නත් වග බලා ගන්නවා.

සබරගමුවේ හත්මාළු වත් හරිම ප‍්‍රසිද්ධයි. හත්මාළුව හදන්නෙත් අවුරුදු දා කිරිබත අනුභවයට. වට්ටක්කා දලු කොස් ඇට කජු බටු මෑ කරල් අළු කෙසෙල් ඇඹුල් කෙසෙල් එකතු කරලා දියකිරි මිටිකිරි ලුණු දාලා අලුතින් ගෙදර හදා ගත්ත කහ මිරිස් තුනපහ දාලා කිරිබතට හාල් ලිපේ තියන වෙලාවෙම ලිප තියනවා. හොඳින් උතුරද්දී හැඳි ගාලා ගිනි රස්නය තියෙන අඟුරු උඩ තියලා හෙමින් ඉදවනවා. ආහාර අනුභවයෙදී කෑමට ගන්නවා.

මේ හැම දෙයකම අවසාන ඵලය නිරෝගිකම ආරක්ෂා කර ගැනීම. බෙහෙත් පැහියෙ වගේම හත්මාළුවෙන් සිදු වන්නේත්, ඇගේ ප‍්‍රතිශක්තිකරණය වැඩිවෙන එක. ලෙඩක් දුකක් නැති නව වසරක් සඳහා ස්වාමිදුවත් ස්වාමි පුරුෂයත් එක්ව නිවසේ සෙසු අය වෙනුවෙන් කරන චාරිත‍්‍රයක් විදිහටයි මෙය අපි අහලා තිබෙන්නේ. එහි සත්‍ය බවකුත් තිබෙනවා. බඬේ අමාරු වාත අමාරු නිතර ලෙඩදුක් වැළඳීම බොහොම අඩු බවක් අපට දැනෙනවා. අනිත් උදවියත් එක්ක සසදලා බැලුවාම.

ලිඳ සමග ගනුදෙනු කරන්නෙත් නිරෝගි ජීවිතයකට පිරිසිදු වතුර පොදක් ඉදිරි වසරේදී නොඅඩුව ලැබේවා කියන ප‍්‍රාර්ථනයෙන්. ඒ චාරිත‍්‍රය සිදුවන්නේ ස්වාමිපුරුෂයා අතින්. ගනුදෙනු කරන්න මුලින් පටන් ගන්නේ ලිඳත් එක්ක. හාල් මිරිස් කරලක් කහ ලුණු කාසියක් එක්ක පුංචි පොට්ටනියක් බැඳලා දෙන්නේ ස්වාමි දුව. එය රැගෙන ගොස් ලිඳට දාලා, වැදලා වතුර කලයක් ගන්නේ ස්වාමි පුරුෂයා විසින්. දැන් දැන් වෙද්දි මේ චාරිත‍්‍රය ස්වාමි දුව අතිනුත් සිදු වෙනවා. ලිඳට දමන පොට්ටනියත් ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වෙනවා.

මේ හැම දෙයකින්ම ඉස්මතුවෙන්නේ ගෙදර උදවියගේ එකමුතුව සමගිය නිරෝගි බව වගේම ඉදිරි නව වසරේ සෞභාග්‍යය. ඇත්තෙන්ම මේ චාරිත‍්‍ර හරිහැටි ඉටු කළවිට බලාපොරොත්තු වන සතුට සැනසීම ලැබෙනවා කියලා කියන්න පුළුවන්. හැමෝම එකතු වෙලා චාරිත‍්‍රයක් කරනවිට ඇතිවන සහයෝගි බව තුළම සතුට රැඳනවා. නිරෝගි බව තුළම සතුට රැඳනවා. අතීතයේ පටන් මේ චාරිත‍්‍ර රැකගන්නේ ඒ නිසා. නිවසේ බාහිර අභ්‍යන්තර දෙයාකාරයට බැලුවත් සියල්ල සම්පූර්ණ වගක් අලුත් අවුරුදු උදාවත් සමග ලැබෙනවා කියන හැ`ගීම එදා ඉඳන්ම තිබෙනවා. අලුත් පරපුර දැන් වෙනස් ආකාරයට අලුත්වෙලා නිසා මේ චාරිත‍්‍ර රැුකගෙන යාවිද කියන්න අමාරුයි. නමුත් පෙර සිට පැවත එන මේ චාරිත‍්‍ර තවදුරටත් රැුක ගත්තොත් එය ලංකාවේ සංස්කෘතිය වගේම හෙල සිරිත් විරිත් චාරිත‍්‍ර ආරක්ෂා කරගැනීමටත් නිරෝගි ජීවිතයක් ගත කිරීමටත් උදව් වන බව කියන්න පුළුවන්.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment