හැම ආත්මයකම ඔහු මගේ ම වෙන්න ඕනෑ – මිල්ටන් මල්ලවආරච්චිගේ බිරිඳ ස්වර්ණා කතා කරයි  

722

මිල්ටන් සමුගෙන 10 වැනිදාට වසර 24යි

වසර 1971 කඳාන නාගොඩ පාරේ නිවසක හැන්දෑවේ අක්ක නෙඟා් හතරදෙනකු රේඩියෝ එක වට කරගෙන මොන මොනවාදෝ රහසින් තෙපලූ හ. පස්වෙනියා වූ බාලයාට මෙය මහත් ගැටලූවකි. ‘අම්මේ මෙන්න මෙයාලා මට කියන්නැතිව මොනවදෝ කුටු කුටු ගානවා. පුංචි අනෝමාගේ හඬ ගේ දෙවනත් වන තරමට ය. ‘මේක නම් කේළම් මල්ලක්‘ වැඩිමල් සොහොයුරිය ඇයට චෝදනා කළා ය.
 නවක ගායකයකුගේ හඬින් ගීතයක ආරම්භ සටහන් විය. හැම දෙනාම නිහැඬියාව ඵල කළහ. ගීතයේ මුල්පද පේලි විකාශය වනවිට ම සොහොයුරියන්ගේ මුහුණු සතුටින් පොපියන්නට විය. එහෙත් ඇය මඳක් ලජ්ජාවෙන් මුහුණු බිමට හරවා මුනිවත රැක්කා ය.

ඈත එපිට දුර ආකාසේ
වලාකුළු වලින් මිදී බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ….

ඔහු තම පෙම්වතිය වෙනුවෙන් උතුරා යන ආදරණීය හැඟීමෙන් ගැයූ ඒ ගීතය ගුවන්විදුලි තරංග ඔස්සේ රට පුරා විකාශය විය. මේ නව යොවුන් ගායකයා ගේ හඬට ඒ වනවිටත් වශී වූ ශ‍්‍රාවකයන් ලක්‍ෂ සංඛ්‍යාවක් සිටිය හ. ලක්‍ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් ඔහුගේ හඬට” ඔහුට ආදරය කළ ද ඔහු ආදරය කළේ ඇත්තට ම හදවතින්ම ඇයට පමණකි. එවකට පාසල් වියේ හුන් ඇය ස්වර්ණා පනංගල නම් විය.

ශී‍්‍ර ලාංකීය විරහා ගීතයේ සදාතනික රිදී රේඛාව මිල්ටන් මල්ලවආරච්චි ඔබ අප අතරින් සමුගෙන මාර්තු 10 වැනි දිනට වසර 24ක් ගෙවී ගොස්ය. එහෙත් ඒ ලයාන්විත කට හඬේ දෝංකාරය තවමත් හැම හදවතක ම රැුව් පිළිරැුව්දේ.

හැම ආත්මයකම ඔහු මගේ ම වෙන්න ඕනෑ - මිල්ටන්  මල්ලවආරච්චිගේ බිරිඳ ස්වර්ණා කතා කරයි  


ඔබ අප ආදරය කළ ඒ රසවතාගේ ආදරය දිනාගෙන” ජීවිතයේ සෙවනැල්ල වී ගෙව් දශක තුනක කාල වකවානුව” සුන්දර මතකයන් අද ඇයගේ කඳුළු බිඳු අතරේ බොඳව පවතී.

දැනට ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ජීවත් වන ඇය දින කිහිපයකට ලංකාවට ආ මොහොතේ ඇය අප හා ඇගේ මතකයත් අවදි කළා ය. මං ඉස්කෝලේ ගියේ බුඩිස් ලේඩිස් කොලේජ් එකට. අපිට ඉස්කෝලෙ තිබුණේ හවස් කාලයේ. අපි යන්නේ එවකට ජාඇල ටවුන් හෝල් ඩබල් ඩෙකර් බස් එකේ.

දවස් ගාණක් එයා බස් එකට නැඟලා මං දිහා බල බලා ආවා. ඒත් මං දැනගෙන හිටියේ නෑ එයා කවුද කියලා. දවල්ට එන වෙලාවට එයා පෑලියගොඩ නවලෝක හන්දියෙන් බස් එකට නැඟලා මා දිහා බල බලා ටවුන් හෝල් එකට එනවා. හවස 5ට ඉස්කෝලෙ ඇරුණා ම පෑලියගොඩ ඉඳන් කඳානට එනකල් එනවා. දවසක් මගෙන් එයා එයාගේ හිතේ තිබුණු දේ ඇහුවා. මං ඉස්කෝලෙ යන නිසා හොඳට ම බය වුණා. ටික දවසකින් මං එයාට කැමැති වුණා. අපි බස් එකේ කතා කර කර යන එක ගැන කොන්දොස්තර අපේ තාත්තට කියල තිබුණා. සින්දු කියන කෙනෙක් කියල දැනගත්තෙ මමත් ටික කාලයකට පස්සේ. අම්මට ආරංචි වෙලා සින්දු කියන අයට අපේ කෙල්ලො දෙන්නෙ නෑ කියල අම්මා මට නිතරම දොස් කිව්වා.

ඒ කාලේ නාවික හමුදා බෑන්ඞ් කණ්ඩායමේ ලීඩර් හැටියට කටයුතු කළේ නිමල් සිරිවර්ධන කියලා අපේ ඥාති අයියා කෙනෙක්. මිල්ටන් ඒ බෑන්ඞ් එකටත් සින්දු කියන්න යනවා. එයාගේ මාර්ගයෙන් අපේ ගෙදරින් අහලා තිබුණා. අම්ම නම් කැමැති වුණේම නෑ. මිල්ටන් ඒ කාලේ වැඩ කළේ නවලෝක ව්‍යාපාරයේ සාමාන්‍ය ලිපිකරවෙක් හැටියට. රේඩියෝ එකේ සින්දු කියන එක්කෙනෙක් කියල මං දැනගත්තේ අපි යාළුවෙලත් දවස් ගාණකට පස්සේ.

අපේ අයියත් ඒ කාලේ වැඩකළේ නවලෝක ව්‍යාපාරයේ. ඔහුටත් මේ සම්බන්ධය ආරංචිවෙලා. හොයල බලලා තිබුණා. ධර්මදාස මුදලාලි අපේ පවුලේ අයව හොඳින් හඳුනනවා. ඔහු අයියට කියල තිබුණා මිල්ටන් හොඳ කොල්ලෙක් ගතිගුණ හරිම හොඳයි කියලා. පස්සේ අයියා දවසක් නිපොන් හෝටලයට මිල්ටන්ව ගෙන්නලා කතා කරල තිබුණා. ඊට පස්සේ මිල්ටන්ට අපේ ගෙදර එන්න අවසර ලැබුණා. ඔය අතරේ මිල්ටන්ගේ අම්මා නැතිවුණා.

හැම ආත්මයකම ඔහු මගේ ම වෙන්න ඕනෑ - මිල්ටන්  මල්ලවආරච්චිගේ බිරිඳ ස්වර්ණා කතා කරයි  

1973 දෙසැම්බර් 29 දා අපි විවාහ වුණා. වෙඩින් එක ගත්තේ අපේ ගෙදරම යි. ඒ වනවිට මිල්ටන් ලංකාවේ ජනපි‍්‍රයම ගායකයන් අතරට ඇවිල්ලා. වෙඩින් එකට ගායක ගායිකාවෝ නළු නිළියෝ ගොඩාක් ආවා.

අපි බැඳලා ටික කාලයක් මිරිහානේ ගෙයක් කුලියට අරගෙන හිටියා. පස්සේ උඩහමුල්ලේ ඉඩම අරන් ගේ හැදුවා. රනිල්” තාරක පුතුන් දෙදෙනාත්” හර්ෂණී” නදීජා දියණියන් දෙදෙනාත් අපට ලැබුණා. මිල්ටන් කිහිප වතාවක් ම අසනීප වුණා. දරුවන්ටත් මටත් හරිම ආදරෙන් හැමදාම එකට හිටියා. කවදාවත් හිත රිදෙන්න වචනයක්වත් කියලා නෑ. ඔහු ඉතා චාම් අහිංසක හිතක් තියෙන කෙනෙක්. 1998 මාර්තු 10 වැනිදා අපි හැමෝට ම දරාගන්න බැරි දුකක් දීලා ඔහු යන්න ම ගියා. අපිට රටේවත් ඉන්න හිත දුන්නේ නෑ. දුක වැඩිකමට මුහුදින් එතරට ආවා. ඔහු අපෙන් ඈත්වෙලා ගියත් ඔහු දුන් ආදරය තවමත් අපේ හිත්වල සදාකල්ම තියෙනවා. ඔහු දරුවන්ට හොඳ පියෙක්” මට හොඳ ස්වාමියෙක්. ඔහු ඔහු ගේ යුතුකම් අපි වෙනුවෙන් හැමදේම නොපිරිහෙළා ඉටුකළා. මතු හැම ආත්මේදීත් මිල්ටන් මට ම හමුවෙන්න කියලයි මං ප‍්‍රාර්ථනා කරන්නේ.

ධම්මික සල්වතුර
ඡායාරූප – වාසල සේනාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment