හැම තැනම ජරාව

713

ශ්‍රී ලංකාවේ සමෘද්ධිලාභීන්ගෙන් 40% ක් පමණ සමෘද්ධි දීමනාව ලැබීමට නුසුදුස්සන් බව ලෝක බැංකුව කළ සමීක්‍ෂණයකදී හෙළි වී තිබේ. මෙහිදී හෙළිදරව් වී තිබෙන වැදගත් ම කාරණය වන්නේ නුසුදුස්සන්ට සමෘද්ධිය දෙන විට එසේ දෙන නිලධාරීන් එම දීමනාවෙන් කොටසක් ජරාව වශයෙන් කා දමන බව ය. සමෘද්ධි දීමනාව ලබාදීමේ වැඩපිළිවෙළට පළාතේ මන්ත්‍රී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිලධාරි සහ සමෘද්ධි නිලධාරි යන මහත්වරුන් හෝ නෝනලා සම්බන්ධය. කිසියම් පුද්ගලයෙකුට සමෘද්ධි දීමනාව සැපයීම සුදුසු ද යන්න මූලික වශයෙන් තීරණය කරන්නේ ග්‍රාම නිලධාරි ය. පසුව එම ඉල්ලීම සමෘද්ධි නිලධාරියා විසින් ‘ටියුන් අප්’ කරනු ලබයි. මීට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිර්දේශය ද සමෘද්ධිය ලබාදීම සඳහා අවශ්‍ය ය. මේ හැම තැනම නිලධාරීන් සිටින අතර ඔවුන් අතරින් සමහරකුට ජරාව දීමෙන් වැඩේ ගොඩදමා ගතහැකි ය.

ඉන්දියාව හා ලංකාව යන රටවල ජරාව දීම සහ ගැනීම සංස්කෘතියේ කොටසක් බවට පත්ව තිබේ. පොලිසිය විසින් අප දැමූ පැමිණිල්ල විභාග කළ විට ඕඅයිසීට ජරාවක් දීමට අප තුළ සිතක් පහළ වේ. එසේම අප විසින් පවත්වාගෙන යනු ලබන අපායක් වැනි කුණු ජරා හෝටලයට පනින පීඑච්අයි ට මුදලින් ගනුදෙනුවක් දී නඩු නොගොස් සිටීම අපට මෙන්ම පීඑච්අයිට ද පුරුදුය. ඇතැම් පීඑච්අයිලාගේ කෙරුවාව හොඳටම බලාගත හැකි මෑත කාලීන අවස්ථාවක් වූයේ කොවිඩ් වසංගතය පැමිණි වකවානුව ය. එම වකවානුව තුළදී කොවිඩ් වැළඳුනු ධනවත් පුද්ගලයන් සම්බන්ධයෙන් පීඑච්අයිලා අනුගමනය කළ ක්‍රියාමාර්ගය ඉතාම පක්‍ෂග්‍රාහී විය. ඔවුන් එවැනි දේ කරන ලද්දේ අරක්කු බෝතලයක් හෝ රෝස් කළ කුකුළකු වෙනුවෙනි. දේශපාලනඥයා ඡන්දදායකයාට රස්සාවක් දෙන අතර එම රස්සාවේ සෑම පියවරක් වෙනුවෙන් ම රටේ සිටින අය කප්පම් ගනිති. අප පෙර ද සඳහන් කළ පරිදි දූෂණය සහ වංචාව අපේ සංස්කෘතියේ කොටසක්ව තිබේ.

සමෘද්ධි ව්‍යාපාරය යනු යූඑන්පී ජනසවියේ ශ්‍රී ලංකා මුහුණුවර වේ. ජනසවිය අරඹන ලද්දේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ය. ස්ථිර වශයෙන් ම සාමාන්‍ය මිනිසාගේ මිතුරකු වූ හෙතෙම තම මිතුරා නංවාලීම සඳහා ඔහුට ගෙයක් දොරක් ලබාදීමෙන් ද, රස්සාවක් ලබාදීමෙන් ද, රස්සාවක් ලබා දීමට නොහැකි නම් එය ලැබෙන තුරු ජනසවිය ලබාදීමෙන් ද උදව් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පොදුජන එක්සත් පෙරමුණ බලයට පැමිණි පසු ජනසවියේ හැඩය වෙනස් කර පොඩි තීන්ත පාරක් ගා සමෘද්ධිය නමැති නම එයට තබන ලදී. ප්‍රේමදාස ජනාධිපතිගේ කාලයේදී ජනසවිය දීමේදී සිදු වූ වංචනික ක්‍රියා ප්‍රමාණය 5% ක් නම් චන්‍ද්‍රිකා බලයට පැමිණි පසු එය 50% දක්වා ඉහළ නැග්ගේය. හොරකම යනු පුරුදු වූ විට අපමණ සනීපයක් දෙන ක්‍රියාවකි. මෙය කොතරම් සැපදායකද යත් හොරකම ම ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ලෙස යොදාගත් නිලධාරීහු ද දේශපාලනඥයෝ ද අද මේ රටේ සිටිති. අප දන්නා පරිදි ගම් මට්ටමේ සිටින ඇතැම් සිල්ලර කඩ මුදලාලිලාටද සමෘද්ධිය ලැබේ. ගමේ ප්‍රධානතම කසිප්පු ව්‍යාපාරිකයාට ද සමෘද්ධි දීමනා ලැබෙන අතර කසිප්පු පෙරීමට දිනකට අවශ්‍ය කරන ඊස්ට් ටිකවත් ගැනීමටවත් එම මුදල ප්‍රමාණවත් නැත. මේ නිසා සමෘද්ධිය යනු පුනරීක්‍ෂණය කළ යුතු සහ සංශෝධනය කළ යුතු දේශපාලන සහ ආර්ථික ක්‍රියාවලියක් බවට පත්ව තිබේ. සමෘද්ධිය බොහෝ විට මන්ත්‍රීතුමාගේ ඥාතීන්ට ලැබේ. මස්සිනාට ලැබෙයි. මස්සිනාගේ බිරිඳගේ මල්ලීටත් ලැබේ. ඒ මල්ලීගේ කසාද පවුලටත්, පෙම්වතියටත් ස්ථිරවම ලැබේ.

සමෘද්ධිය වැනි දීමනාවක අරමුණ වන්නේ දුප්පත්කම නැතිකිරීම නොව පොහොසත්වීමේ ගමන ආරම්භ කරන තුරු දුප්පතා පණපිටින් තබා ගැනීමය. එහෙත් අද ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට අනුව සමෘද්ධිය නිසි තැනට නොයන බැවින් එමගින් ලොකු විභවයක් රටට නොලැබේ. සමෘද්ධිය ප්‍රතිසංවිධානය කරන්නේ කෙසේද යන්න වෙනම කතන්දරයකි. දේශපාලනඥයන් සහ නිලධාරීන් නැති ලෝකයක මෙකී ප්‍රතිසංස්කරණය ඉතාම හොඳින් කළ හැකිය. එහෙත් අපේ කරුමයට එවැනි ලොවක් දැනට පහළවන්නේ නැත. එබන්දක් පහළවන විට මනුෂ්‍ය වර්ගයා මේ ලෝකයෙන් වඳව ගොස් ය.

advertistmentadvertistment
advertistmentadvertistment