හැම බලවේගයක්ම එකතුවන වර්ජන රැල්ලක් අපි දියත් කරනවා – සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න

239

මෙරට ජනයා දැන් ඉන්නේ ‘පාන් කියාගන්න’ බැරිවය. ගන්නා පඩියට වෙන්නේ මොනවාදැයි දැන්නේ නැති බව ජනතාව පවසති. මුදල් ඇති අයටද මිලදී ගැනීම සඳහා භාණ්ඩ වෙළෙඳපොළේ නැත. ඉදින් ඉදිරියේදී එන සාගතයක් ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වේ. ඊට පණපොවන පිරිස අතර ජවිපෙ ද වේ. ඔවුන් කියන්නේ රජයේ කිසිදු සැලැස්මක් නැති කාබනික කෘෂිකර්මාන්ත ප‍්‍රතිපත්තිය නිසා මෙලෙස ආහාර හිඟයකට ඉදිරියේදී මුහුණදීමට සිදුවන බවය. විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට ජලාශවල ජලය කිසිදු සොයාබැලීමක් තොරව මුදාහැරීම නිසා ඉදිරියේ යල කන්නයට අලූත් ප‍්‍රශ්නයක් නිර්මාණය කර ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසන්නේය. එමෙන්ම රජය කිසිදු කොන්දේසියකින් තොරව ගොවියාට වන්දි ලබාදිය යුතු බවද ඔහු කියන්නේය. මේ ඔහු ‘ඉරිදා දිවයින සංග‍්‍රහය’ සමග පැවැසූ දේය.

ප‍්‍රශ්නය – රජයේ කාබනික කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය මේ වෙද්දි අර්බුදයට ලක්වෙලා. නමුත් ඒ වෙනුවෙන් වූ වැඩපිළිවෙළින් රජය තාමත් අයින්වී නැති බව ජනාධිපතිතුමා පසුගිය දිනයක පැවැසුවා. ඒ කියන්න රජය තාම කාබනික කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අත්හැර නැති බව. ඔබ මුල සිටම රජයේ කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විවේචන කරපු අයෙක්. මොකද අද තත්ත්වය ගැන හිතන්නේ….?

පිළිතුර – ලබන මාසෙ 15න් පස්සෙ යල කන්නය පටන්ගන්නව. යල කන්නයෙදි කිසිම ගැටලූවක් වෙන්නෙ නැතිව අවශ්‍ය පොහොර සපයන බව රජය කියනවා. එහෙම නම් ඒ සඳහා අවශ්‍ය පොහොර, කෘමි මර්දනය සහ වල් මර්දනයට ක‍්‍රමවේද, පොහොර සහනාධාර, ප‍්‍රමිතියෙන් යුක්ත බීජ ආණ්ඩුව ගොවියන්ට පෙන්වන්න ඕන. කෝ එහෙම සූදානමක් රජයේ නෑ. මහකන්නයෙ යන්තම් හරි වගාකරල අස්වැන්නක් ගන්නව. ඒ ගන්නෙත් කාබනික පොහොර නිසා නෙමෙයි. ගොවියන් ළඟ ඉතිරි වුණු රසායන පොහොර තිබුණ. ඒවායින් තමයි වගා කළේ. මහකන්නයෙ වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ තිහකට ආසන්න අස්වැන්නක් නෙළනව. නමුත් මේ පාර ඒක මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 15ක්, 13ක් ප‍්‍රමාණයකට අස්වැන්න පහත වැටෙනව. එහෙම තත්ත්වයක් තියෙද්දි යල කන්නයෙ වගා කරන බිම් ප‍්‍රමාණය කොහොමත් අඩුයි. මොකද වතුර ප‍්‍රශ්නය එනව. එතකොට යල කන්නයේ වී වගාකරන ගොවියොත් ඒක අතහරිනව.

ප‍්‍රශ්නය – ඔබ කියන විදිහට යල කන්නයේ එන ජල හිඟයත් එක්ක තත්ත්වය වඩා තීව‍්‍ර වන බවද?

පිළිතුර – කොහොමත් යල කන්නයට වහින්නෙ නෑ. හැබැයි මේ පාර මේ තත්ත්වය වඩා තීව‍්‍ර වෙනව. මොකද දැන් අලූත් ප‍්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනව. අපි කවුරුත් දන්නව මේ වෙද්දි ලොකු විදුලි අර්බුදයක් තියෙනවනෙ. විදුලි අර්බුදයට ඞීසල් ප‍්‍රශ්නය බලපාල තියෙනව. අපේ රටේ තාමත් බලශක්තිය උත්පාදනය කිරීමේ ප‍්‍රධාන ප‍්‍රභවය බවට පත්වෙලා තියෙන්නෙ ජලවිදුලිය. ඞීසලූත් නැති නිසා වැඩි විදුලි උත්පාදනයක් සඳහා පසුගිය දවස්වල ජලවිදුලිය ගැන තමයි රජය වැඩි විශ්වාසය තිබ්බෙ. ඒ නිසා ජලාශවල තියෙන ජලය ටික ඉවක් බවක් නැතිව පිටකළා විදුලි උත්පාදනයට. ඒක වෙන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ එකඟතාවකින් තොරව, කෘෂිකර්මාන්තය ගැන අබමල් රේණුවක්වත් හිතන්නෙ නැතිව, ගොවියන්ගෙ
වගාවන්ට වතුර ඕන බව අමතක කරල. එහෙම කිසිම හොයා බැලීමකින් තොරව ටර්බයින් කරකවන්න වතුර ටික ඇරිය. පසුගිය සමයෙ හොඳටම වැහැල ගංවතුර තත්ත්වයට ආව. ජලාශ ඔක්කොම වාන් දැම්ම. අද වෙද්දි ඒ ජලාශ ඔක්කොම හිස්කරල. විදුලිය උත්පානය කරන්න.

දැන් මොකද යල කන්නයට වෙන්නෙ. දැවැන්ත ජල අර්බුදයක් එනව. ඒක බරපතළ තත්ත්වයක්. ආහාර ප‍්‍රශ්නයට ආණ්ඩුව අලූතෙන්ම නිර්මාණය කරපු ප‍්‍රශ්නය තමයි ඕක. යල කන්නයට ජලාශ පිරෙන්න වාන් දාන්න වහින්නෙ නෑ. අපේ රජවරු රජකාලෙ වැව් හැදුවෙ වැහි කාලයට වතුර ගබඩාකරල, වහින්නෙ නැති කාලයට ප‍්‍රයෝජනයට ගන්න. මේ රජය දැන් වැහි කාලය පුරවගත්ත ජලාශ ටික වැහි නැති කාලෙ එන්න කලින් හිස් කරලා. ඉතින් කොහොමද යල කන්නය වගාකරන්නෙ. මේක තමයි සාගතයකට අතවනන අලූත්ම කාරණය.

ප‍්‍රශ්නය – ජවිපෙ ඇතුළු රජයට විරුද්ධ පාර්ශ්වයන් කලක ඉඳල කියන දෙයක් තමයි සාගතයක්, ආහාර හිඟයක් එනව කියල. හැබැයි ආණ්ඩුව කියන්නෙ ඒක නැති බිල්ලෙක් මැවීමක් විදිහට…

පිළිතුර – මේ වෙද්දි වී වගාකරන බිම් ප‍්‍රමාණය අඩුවෙලා තියෙනව. වාණිජ වගාවන් විදිහට කරපු වී ගොවිතැනින් ගොවියො අද බැහැරවෙලා තියෙනව. අක්කර 5ක් විතර කුඹුරු වගාකරන ගොවියෝ අපේ රටේ සියයට විසිහතක් ඉන්නව. ඒ අය ඒ ප‍්‍රමාණය වගා කළේ නෑ. වගාකරපු ගොවියන්ට පොහොර ලැබුණෙ නෑ. අස්වැන්න අඩුයි. වී කරලෙ ඇට ගාණ අඩුවෙලා. හොඳට වැඩුනු ගොයම් ගහක වී කරල් 30ක් විතර හැදෙනව. දැන් ඒ කරල් ප‍්‍රමාණය අඩුවෙනව. එළවළු වගාවෙත් වගාකරන බිම් ප‍්‍රමාණය අඩුවෙලා. වගාකරපු බිම්වල අස්වැන්න අඩුයි. ඒවාට කෘමි හානි මර්දනයට ක‍්‍රමවේදයක් නෑ. අපේ බඩඉරිඟු වගාවෙන් 20%ක්වත් මෙදා පාර වගාකරන්නෙ නෑ. බඩඉරිඟු වගාකරපු බිම්වල උක්වගා කරල. බඩඉරිඟු වගාකරන්න බිම් සකස් කරල ඒවා වගා කළේ නෑ. අතහැරිය. බඩඉරිඟු බීජ මෙටි‍්‍රක් ටොන් 1500ක් ගේනව බීජ විදිහට. මෙදා පාර ගෙනාවෙ මෙටි‍්‍රක් ටොන් 600යි. විකුණුනෙ මෙටි‍්‍රක් ටොන් 150යි. එතනින්ම පැහැදිලි වෙනව බඩඉරිඟු හිටවපු ප‍්‍රමාණය. මේකත් එක්ක බඩඉරුඟු හිඟයක් එනව. මේක පියවන්න නම් රටින් ගේන්න ඕන. රටින් ගේන්න ඩොලර් ඕන. කෝ ඩොලර්. කොහෙන්ද මේවා කෙළවර වෙන්නෙ. කුකුළු කෑම හදද්දි 50%ක්ම දාන්නෙ බඩඉරිඟු. බඩඉරිඟු හිඟවෙද්දි ඒවා හදන්න හාල් ගන්නව, වී ගන්නව. වී ගන්නකොට වෙන්නෙ හාල් අර්බුදයක් එනව.

ප‍්‍රශ්නය – දවසින් දවස හාල් මිල ඉහළ යනව. මේ හාල් මිල ඉහළ යන්නෙ ඇත්තට මේ මොහොතේ රට තුළ වී හිඟයක් තියෙන නිසාද?

පිළිතුර – මේ වෙද්දි රටේ හාල් හිඟයක් නෑ. මේ වෙලාවෙ මේ මිල වැඩිවීම කෘතීමව කරපු එකක්. අපේ මාසික සහල් පරිභෝජන අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 2යි. අවුරුද්දටම අවශ්‍ය වෙන්නෙ මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 24යි. එතකොට හාල් කිලෝවක් හදන්න වී කිලෝ එකයි ග‍්‍රෑම් හයසීයක් යනව. හාල් කිලෝ මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 24ක් හදන්න අපිට අවුරුද්දකට වී ඕනවෙන්නෙ මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 36යි. බිත්තර වීවලට අවශ්‍ය වෙනව වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක්. එතකොට අපේ අවුරුද්දේ වී අවශ්‍යතාව වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 37යි. 2019 වී නිෂ්පාදනය කළා වී මෙටි‍්‍රක් ටොන් 47,92,000ක්. ඒකෙන් 37,00,000 ගියාම, එතනින් 2020ට ඉතුරුවෙනව 10,92,000ක්. 2020 වී නිෂ්පාදනය 50,38,000ක්. ඒකට එකතුවෙන්න ඕන කලින් අවුරුද්දෙ ඉතුරුවෙච්ච 10,92,000. අපි 92,000යි, 38,000යි අයින් කරමුකො. එතකොට මෙටි‍්‍රක් ටොන් 60,00,000යි. එහෙම නම් 2020 අවුරුද්ද අපි ගත කළේ වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ හැටක් එක්ක. ඒ ලක්ෂ හැටෙන් 2020 වැයවුණෙ 37,00,000යි. එහෙම අයින් වුණාම 23,00,000ක් ඉතුරුවෙනව. 2022 අපි පටන් ගන්නෙ වී මෙටි‍්‍රක් ටොන් 23,00,000ක් එක්ක. 2021 අවුරුද්දෙත් යල කන්නයේ අස්වැන්න යම්කිසි ප‍්‍රමාණයක් අඩුවුණත් නමුත් මහ කන්නයෙ අඩුවුණෙ නෑ. මහකන්නයෙ මෙටි‍්‍රක් ටොන් 30කට ආසන්න ප‍්‍රමාණයක් අපි ගන්නව. යලකන්නයෙ තමයි අඩුවුණෙ. එතකොට යල කන්නයත් එක්ක ගණන් බැලූවොත් 40,00,000ක් විතර වී අස්වැන්නක් ගත්ත කියල අනුමාන කළොත් 2020 වසරෙන් ඉතුරු වුණු 23,00,000යි එක්ක 63,00,000ක් තිබුණ. එතකොට 2022 පටන් ගනිද්දි මෙටි‍්‍රන් ටොන් 26,00,000ක් තියෙනව. ඒ කියන්නෙ 2022 පටන් ගන්නෙ වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 26ක් එක්ක. දැන් මහ කන්නයෙ වී කැපෙනව. එතනිනුත් ලක්ෂ 15ක අස්වැන්නක් විතර එනවනෙ. අපි හිතමු අවම විදිහට දහයක්වත් ලැබෙයි කියල. එහෙම ලැබුණත් වී මෙටි‍්‍රක් ටොන් 36,00,000ක් තියෙනව. එතකොට මේ අවුරුද්දට අවශ්‍ය වී අර්බුදයක් නෑ. මේ අවුරුද්දෙ කන්න වී තියෙනව. මහකන්නයෙ එකම වී ඇටයක්වත් ආවෙ නැතත් 2022 අවුරුද්දෙ මැද වෙනකම් රටේ වී තියෙනව. මම මේ කිව්වෙ මගේ ඉලක්කම් නෙමෙයි. රජයේ දත්ත.

ප‍්‍රශ්නය – පසුගිය දවස්වල ජනාධිපතිතුමා වී අලෙවි මණ්ඩලයට කියල තිබුණ වී ගොවියන් ළඟට ගිහින් වී මිලදී ගන්න කියල.

පිළිතුර – මේ රජයෙ සහ ඩඞ්ලිලාගෙ කට ඇරෙන්නෙ මහ කන්නයෙ ගොවියන්ගෙ වී අස්වැන්න නෙළන්න පටන් ගනිද්දි. මේ කට ඇරීම තුළ වුණෙ රුපියල් 100ට තිබුණු වී කිලෝ එක රුපියල් 75ට බැස්ස. මේ අය හැමෝම කරල තියෙන්නෙ ගොවිය අමාරුවෙන් හරි යම් අස්වැන්නක් ගත්ත නම් ඒ අස්වැන්නත් අඩු මිලකට මෝල් හිමියන්ට ගන්න අවස්ථාව හදපු එක. බලන්නකො අස්වැන්න අරන් ගොවියන්ගෙ වී ටික මිලදී ගත්තට පස්සෙ ඔය හැමෝගෙම කටවල් වැහෙනව. ඊට පස්සෙ වී වෙළෙඳපොළේ වී කිලෝවක් රුපියල් 150කට, 160ට යනව. ඒකට ගැළපෙන විදිහට හාල්මිල ඉහළ දානව. එතකොට හාල් කිලෝ එක රුපියල් 300ට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ. මේ මාෆියාවෙදි මෝල්කරුවනුත්, රජයත් එක වංගියකදි ගොවියව හූරගෙන කනව. අනෙක් වංගියෙදි පාරිභෝගිකය මංකොල්ල කනව.

ප‍්‍රශ්නය – කාබනික වගාව සම්බන්ධයෙන් රජයෙන් සිදුවූ අඩුපාඩු පාවිච්චි කරමින් ජවිපෙ ගොවියන් සහ ගොවි සංවිධාන උසිගන්වමින් මේ කරන්න හදන්නෙ බොර දියේ මාළුබෑමක් නේද?

පිළිතුර – අපි ඒක ප‍්‍රතික්ෂේප කරනව. අපිට ඒ චෝදනා කවුරු හරි කියනව නම් අපි අහනව ඇයි අපිට එහෙම කරන්න ඉඩකඩ හදන්නෙ. ඒ නිසා ගොවියාගෙ මේ ප‍්‍රශ්නයට හඬක් තියෙන්න ඕන. ඒ හඬ තමයි අපි මේ දෙන්නෙ. අපේ හඬ වහන්නනම් ආණ්ඩුව මේකට විසඳුමක් දෙන්න ඕන.

ප‍්‍රශ්නය – ගොවියා බේරගන්න ජවිපෙට වැඩපිළිවෙළක් තියෙනවද?

පිළිතුර – ඔව් පැහැදිලි වැඩපිළිවෙළක් තියෙනව. සමස්ත ලංකා ගොවිජන සංවිධානය අපිත් එක්ක එකතුවෙලා හදපු වැඩපිළිවෙළක් තියෙනව. ඒ වැඩපිළිවෙළ හැදුවො කෘෂිකර්මාන්තය පිළිබඳ ප‍්‍රාමාණිකයො එක්වෙලා. අන්න ඒ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ අර්බුදයෙන් රට බේරගන්න පුළුවන්. ඒකට මේ පවතින සහ පැවතුණු ක‍්‍රම වෙනස් කරන්න ඕන. ඒකට අලූත් පිරිසකට බලය දෙන්න ඕන.

ගොවියන්ට වන්දි ගෙවීම් කටයුත්තෙදි අපි ආණ්ඩුවට කියනව කොන්දේසි දාන්න එපා. ජනාධිපතිමයි කිව්වෙ මහ කන්නයෙ ගොවියන්ගෙ අස්වැන්න අඩුවුණොත් ඒකට වන්දි ගෙවනව කියල. එහෙම කියල දැන් ගොවියට කොන්දේසි දානව. අපි ආණ්ඩුවට කියනව කොන්දේසි දාන්න එන්න එපා, සියලූම ගොවීන්ට ඒ කියන්නෙ වී ගොවියන්, එළවළු ගොවියන් ආදී සියල්ලන්ටම වන්දි ගෙවන්න. අක්කරයකට රුපියල් ලක්ෂයකට වඩා මුදලක් ගෙවන්න ඕන.

ප‍්‍රශ්නය – නොදුන්නොත් ඔබලගෙ ඊළඟ ක‍්‍රියාමාර්ගය මොක්කද?

පිළිතුර – නොදුන්නොත්… මේ ආණ්ඩුව අපි එළවනව. ඒක පැහැදැලිවම අපි කියනව. ජනාධිපති කිව්ව හමුදාව යොදවල ඕනනම ගොවියාව කුඹුරට දක්කන්න පුළුවන් කිව්ව. අපි කියනව මේ ආණ්ඩුව කංගෙඩියෙන් අල්ලල දොට්ට දාන තත්ත්වයට මේ රටේ මහජන මතය ගේනව කියල. අපි ඒ වෙනුවෙන් දැවැන්ත උද්ඝෝෂණ මාලාවේ ආරම්භය පසුගියදා දඹුල්ලෙන් පටන් ගත්ත. මේ 26 වැනිදා ඇඹිලිපිටියෙත් එහෙම දැවැන්ත උද්ඝෝෂණයක් කරනව. ඊට පස්සෙ පෙබරවාරි 01 වැනිදා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනව. පෙබ. 18 වැනිදා වැලිමඩ, බණ්ඩාරවෙල ගොවිජනපද පදනම් කරගෙන අපි දැවැන්ත උද්ඝෝෂණ සංවිධාන කරනව. මේක අවසානය ගත්තොත් තීරණාත්මක සටනකට ගොවියො විතරක් නෙමෙයි, මේ රටේ පාරිභෝගික ජනතාව, අනෙකුත් සංවිධාන, ප‍්‍රගිතිශීලී සංවිධාන ආදිය සියල්ල එකතුකරගෙන අනාගතයේ අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව ගෙදර යවන තැන දක්වා මේ සටන තීව‍්‍ර කරනව. ආණ්ඩුවට ඒව වළක්වන්න ඕන නම්, ගොවියට වන්දි දෙන්න, ප‍්‍රමිතියෙන් යුක්ත පොහොර දෙන්න, ප‍්‍රමිතියෙන් යුක්ත බීජ සාධාරණ මිලට දෙන්න. ඒ කළොත් අපේ ක‍්‍රියාවලිය අඩපණ කරන්න පුළුවන්.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment