හැම භාණ්ඩයකම මිල ඉහළ යද්දී වී මිල අඩුවෙලා

95

තුට්ටු දෙකට වී මිලදී ගෙන පාරිභෝගිකයන්ට ගිනි ගණන්වලට හාල් විකුණනවා
ආණ්ඩුවයි මුදලාලිලයි එක්වී ගොවීන් ගසාකනවා

  • සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න

රටේ සෑම භාණ්ඩයකම මිල ඉහළ යනවිට වීවල පමණක් මිල පහළ බසින බවත්, තුට්ටු දෙකට ගොවීන්ගෙන් වී මිලදී ගෙන ගිනි ගණන්වලට පාරිභෝගිකයාට හාල් විකුණන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික හා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

කොත්මලේ මැතිවරණ කොට්ඨාසයේ නියම්ගම්දොර ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාව පිහිටුවීමේ අවස්ථාවට 22 වැනිදා එක් වෙමින් ඒ මහතා එසේ කීය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් කරුණාරත්න මහතා මෙසේද පැවැසීය.

හැම භාණ්ඩයකම මිල ඉතාමත් වේගයෙන් ඉහළ යන අවස්ථාවක අද මේ රටේ ප්‍රධානතම ගොවියාගේ නිෂ්පාදනය වන වීවලට මොකද වෙලා තියෙන්නේ? රටේ භාණ්ඩ හිඟයක් එනවා කියලා සාකච්ඡා වෙනවා. කන්න නැහැ කියලා සාකච්ඡා වෙනවා. හැම භාණ්ඩයකම මිල වේගයෙන් ඉහළ යද්දී වීවල විතරක් මිල පහළට යනවා. එහෙනම් එහෙම වෙන්නේ කොහොමද? දැන් ආණ්ඩුව කිව්වා වී මෙටි්‍රක් ටොන් තුනකට වැඩිය වී මිලදී ගන්නවා කිව්වා. ගබඩා ඇරියේ නැහැ. ගබඩා කිහිපයක් ඇරලා ආයේ ඒවා වහලා දැම්මා. ඒවා ඉබේම වැහෙන්න ඇරියා.

දැන් මහින්ද අමරවීර ඇමැතිවරයා කියනවා වී මිලදී ගන්න සල්ලි නැහැලු. බැංකු දෙකෙන් සල්ලි ඉල්ලුවාලු. සල්ලි දෙන්නේ නැහුලු. ලැබෙයි කියලා බලාගෙන ඉන්නවලු. ඒ බැංකු හසුරුවන්නේ මහා පරිමාණ මෝල් හිමියෝලු. එහෙනම් මොකටද ආණ්ඩුවක්? දැන් මේ රටේ හාල් මාෆියාව කරන අයද රට පාලනය කරන්නේ. රටේ විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවා. මහ බැංකුව, භාණ්ඩාගරය ඇතුළු මේ සියල්ලම භාරව ඉන්නේ රටේ ජනාධිපතිවරයා. එහෙමනම් ජනාධිපතිවරයාට බැරිද මේකට තීන්දුවක් ගන්න? එහෙනම් මේ මොකක්ද කරන්නේ? වෙන මොකවත් නෙවෙයි ආණ්ඩුව වී මිල දී ගන්නේ නැහැ.

සමහර ගොවීන්ගෙන් වී කිලෝව රුපියල් 80/-ට 90/-ට වැනි තුට්ටු දෙකට ඉල්ලනවා. වී කිලෝවක් නිෂ්පාදනය කරන්න ගොවියාගේ මහන්සියත් එක්ක රුපියල් 150/- කට වඩා මුදලක් වැය වෙනවා. මේ වනවිට ගොවියාගේ වී ටික මෝල් හිමියන් තුට්ටු දෙකට ගොඩ ගහ ගන්නවා. ගොවියාගේ වී ටික ඉවර වුනාට පස්සේ මේ ගොල්ලෝ වී මිල උස්සනවා. ඊට පස්සේ ඒකට ගැලැපෙන විදිහට හාල්වල මිල උස්සනවා. ඒකට මුහුණ දෙන්න ආණ්ඩුව සතුව වී සංචිත ඇත්තේ නැහැ. මේ දෙගොල්ල එකතු වෙලා මෙතන කරන්නේ පැහැදිලිවම ගසා කෑමක් යයිද ඒ මහතා කීය.

මෙම අවස්ථාවට කොත්මලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කපිල බණ්ඩාර විජේකෝන් මහතාද සහභාගී විය.
මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment