හැලොවින් දා මෙලොවින් සමුගත් ජිනාත් එලොව ගියේ මළවුන් නිසාද?

724
මොහොමඩ් ජිනාත්

කොරියාවේ රැකියාවට ගොස් හරියටම වසර 03 ක් පිරුණු දා
ජීවිතයෙන් සමුගත් ශ්‍රී ලාංකික තරුණයාගේ කතාව….
මෘත ශරීරය හොයා ගත්තෙ හැලොවින් පැවැත්වූ තැන සිට කිලෝමීටර් 11 ක් දුරින්…..
අවුරුදු 03 ක් අපි එක කාමරයෙ හිටිය…. කාටවත් කරදරයක් නැති මිත්‍රයෙක්
අරක්කු සිගරැට් බිව්වෙ නෑ….
හැලොවින් පවත්වන ස්ථානයවත් දැනගෙන හිටියෙ නෑ

සමීපතම මිත්‍රත්වය යනු ජාති, ආගම්, කුලමල භේද ඉක්මවා යන ගැඹුරු මානව බැදීමක්ය. ඒ බව මනාව පසක් වන්නේ ඉකුත්දා දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැත්වූ හැලොවින් සැමරුමක් අතරතුර මෙලොවින් සමුගත් ශ්‍රී ලාංකික තරුණයාගේ අකල් වියෝව පිළිබඳව එරට රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකික මිතුරන් විසින් පවසා සිටින කතාව අසා සිටින විටය. සාමකාමී තැන්පත් දිවිපෙවෙතක් ගත කළ තම මිත්‍රයාගේ ජීවිතය කිසි විටෙකත් තැලී පොඩි වී මිය යායුතු එකක් නොවන බව ඔවුන්ගේ හැඟීම බවට පත්ව ඇත. ඔවුන් සඳහන් කර සිටින්නේ මියගිය තම මිත්‍රයා වන ජිනාත් කිසි විටෙකත් කා බී විනෝද වන සෙල්ලක්කාර ජීවිතයක් ගතකළ තරුණයකු නොවන බවත් වසර 03ක් පුරා ඔහුත් සමග පවත්වන ලද සමීප ඇසුර තුළ ඒ බව මනාව පසක් වූ කරුණක් වන බවත්ය. කොතරම් යහපත් දිවිපෙවතක් ගතකළ ද මරණය පැමිණි කළ ඊට අවනත විය යුතුය. ජිනාත්ගේ හදිසි වියෝව විසින් ඒ බව යළි යළිත් පසක්කර දී ඇත.

27 හැවිරිදි ගෝනගල ගෙදර ස්මයිල් මුනව්ෆර් මොහොමඩ් ජිනාත් 2019.10.30 වන දින කටුනායක ගුවන්තොටුපළින් කොරියාව බලා පිටත්ව යන්නේ රැකියාවක් පිණිසය. එය ඔහුගේ ජීවිතයේ ජයග්‍රාහී දිනයක් බව ජිනාත් විසින්ම ඔහුගේ මිතුරන් හා නිතර නිතර පවසා ඇත. එතැන් සිට වසර 03 කට ආසන්න කාලයක් එරට රැකියාවේ නිරත ජිනාත් මීට මාස කීපයකට පෙර නැවත මෙරටට පැමිණ ඇත්තේ තම විවාහය පිණිසය. ඒ අනුව මීට මාස දෙකකට පෙර විවාහ ජීවිතයට ඇතුළත් වන ජිනාත් තාවකාලික නිවාඩුවකින් අනතුරුව නැවතත් රැකියාව පිණිස කොරියාව බලා පිටත්ව ගොස් ඇත.

හැලොවින් දා මෙලොවින් සමුගත් ජිනාත් එලොව ගියේ මළවුන් නිසාද?
හැලොවින් සැමරුම පැවැත්වූ ස්ථානය

එතැන් සිට මේ කතාව අප හා පවසා සිටින්නේ මේ වනවිටත් කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකික තරුණ පිරිසක් විසින්ය. ජිනාත් හා සමීප ඇසුරක් පවත්වන ලද ඔවුන් තම මිත්‍රයා පිළිබඳ ‘හිත මිතුරු’ මතක අවදි කර සිටියේ ඔහුගේ අකල් වියෝව විසින් ඇති කරන ලද පහව නොයන කම්පනයෙන් යුතුවය.

“ජිනාත් කොරියාවේ රැකියාවට ඇවිත් හරියටම වසර තුනක් සම්පූර්ණ වූ දවසෙ තමයි එයාගෙ මරණය සිද්ධ වෙන්නෙ. ඒක අදහා ගන්නත් අමාරු සිද්ධියක්. නමුත් කොහොම හරි ඒක සිද්ධ වුණා. අපිට හිටිය හොඳම මිත්‍රයෙක්. ඒ වගේම කාමර සගයෙක්. ඒ හින්දා අපි එයාගෙ පෞද්ගලික ජීවිතය මොන වගේද, ගති පැවතුම් කොහොමද කියලා හොඳින්ම දන්නවා. ජිනාත් කියන්නෙ සිගරැට් අරක්කු ටිකකවත් නොබිව්ව පුද්ගලයෙක්. එයා අදහන ආගමට අනුව කටයුතු කරමින් තමයි හැම දෙයක්ම කළේ. හැලොවින් යන්න තියා එයා එහෙම උත්සවයක් තියෙන තැනක්වත් දැනගෙන නොවෙයි ඔය වගේ ගමනක් ගිහින් තියෙන්නෙ. නමුත් ඒ සිද්ධියෙන් මෙයා මියයෑමත් එක්ක ලංකාවෙ හුඟ දෙනෙක් හිතන්න ගත්ත මෙයත් හැලොවින් සමරන්න ගිහින් මියගියා කියලා. ඒක වැරදි මතයක්…”

කොරියාවේ රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකික තරුණයන් කීපදෙනෙක් තම මිතුරාගේ හදිසි වියෝව පිළිබඳව සඳහන් කරමින් එසේ ප්‍රකාශ කර සිටින්නට විය. “එසේ නම් ජිනාත් මිය ගියේ කෙසේද? අප විසින් පෙරලා ප්‍රශ්න කිරීමත් සමග මියගිය ජිනාත්ගේ කාමර සගයෙකු වූ ශ්‍රී ලාංකික තරුණයෙක් ඒ පිළිබඳව මෙලෙස විස්තර කර සිටින්නට විය.

“ජිනාත් වැකේෂන් එකකට ලංකාවට එන්න කළින් වැඩකළ කම්පැනිය තිබුණෙ සෝල් කිට්ටුව. එයා එතන අවුරුදු දෙකකට වැඩිය වැඩ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කොරියාවේ එක කම්පැනියක අවුරුද්දක් එක දිගට වැඩ කළොත් ඒ වැඩ කරපු මාස 12 ට අමතරව තව මාසයක පඩි ගෙවනවා. එතකොට මෙයා වැඩකළ අවුරුදු දෙකක කාලය අනුව අමතර මාස දෙකක පඩිය ලැබෙන්න තිබුණත් ඒ කම්පැනි අයිතිකාරයෝ ජිනාත් ලංකාවට යද්දි ඒ සලිල් දීලා තිබුණේ නැහැ. කොහොම හරි ජිනාත් මේ පාර ලංකාවට

ගිහින් ආවට පස්සේ ඒ කොම්පැනියෙ වැඩට ගියේ නැහැ. අපේ වෙන යාළුවෙකුගේ කාමරයේ නතර වෙලා ටික දවසක් තාවකාලික රස්සා කරගෙන හිටියා. නමුත් එයාගෙ පාස්පෝට්, ඇඳුම් පැළඳුම් ඇතුළු වෙනත් ලියකියවිලි තිබුණෙ අර කළින් ජොබ් එක කරද්දි නතර වෙලා හිටිය කාමරේ. එදා ඔය සිද්ධිය වෙන්න දවසකට කළින් ඒ බඩු ටික අරන් එන්න තමයි මෙයා දැන් නැවතිලා ඉන්න කාමරෙන් පිටත් වෙලා යන්නෙ. මෙයා මේ පාර නතර වෙලා හිටිය තැන ඉඳලා ඔය කියන තැනට කිලෝමීටර් 45ක් වගේ දුරක් යන්න ඕන.”

හැලොවින් දා මෙලොවින් සමුගත් ජිනාත් එලොව ගියේ මළවුන් නිසාද?
මියගිය පිරිස සිහිකිරීම පිණිස එරට වැසියන් මල් තැන්පත් කර තිබෙන අයුරු

ඔක්තෝබර් 28 වන දින රාත්‍රී 8.30 ට පමණ එලෙස කාමරයෙන් පිටත්ව යන ජිනාත් පළමුව බස් රථයක නැගී දුම්රිය ස්ථානයක් වෙත ළඟා වී ඇත. ඉන් අනතුරුව ඉතිරි මග දුම්රියකින් ගමන් කරන ජිනාත් ඔහුගේ පුරුදු නවාතැන්පළ පිහිටි සෝල් අගනුවර වෙත සමීපව ඇත. එදින රැය තමන් වසර දෙකකට අධික කාලයක් නවාතැන් ගත් කාමරය පිහිටි ෂඒැඅදබ වෙත ළඟා වී නැත. එහිදී ඔහුට පැරණි මිතුරෙක් මුණගැසෙන අතර මහනුවර ප්‍රදේශයේ උපන් ඔහු කොරියාවේ රැකියාව බලා පිටත්ව ගොස් ඇත්තේ මීට වසර කීපයකට ඉහතදීය. එදින රැය තම මිතුරා සමග ගත කරන ජිනාත්ට පසුදා එනම් 29 වන සෙනසුරාදා ප.ව. 2.00 ට පමණ දුරකථන ඇමතුමක් ලැබී ඇත. එම දුරකථන ඇමතුම ලබාදෙන්නේ ජිනාත් ගේ සමීපතම මිතුරකු වන ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිට කොරියානු රැකියා අවස්ථාවක් ලද එහි ගොස් සිටින ශ්‍රී ලාංකිකයකු විසින්ය. මේ ඔහු විසින් පවසා සිටින කතාවය.

“මම කොරියාවට ඇවිත් වසර 17 ක් පමණ වෙනවා. ජිනාත් හා මා අතර ලොකු හිතවත්කමක් තිබුණා. මුලින් වැඩ කළ කම්පැනියේ එයාගේ මුදල් වගයක් තියෙනවා. ඒක අරගන්න සහයෝගය දෙන්න කියලා මට අවස්ථා කීපයකදීම එයා කියලත් තියෙනවා. ඒ පාර මම දන්න කියන කීපදෙනකුටම කතා කරලා එයාට අලුත් රස්සාවක් හොයා දුන්නා. ඒකෙ වැඩට යන්න තිබුණේ පසුගිය 31 වැනිදා. ඊට කළින් එයාගෙ බඩු මුට්ටු ටිකයි ලියකියවිලි ටිකයි ගේන්න තමයි මෙයා යන්නෙ. කම්පැනි අයිතිකාරයා මාස දෙකක පඩි සල්ලි හිරකරගෙන ඉන්න නිසා ඒ පිළිබඳව නීති මාර්ගයෙන් ක්‍රියාකරන්නත් මම සහයෝගය දීගෙන හිටියෙ. එදා ඔය සිද්ධිය වෙන්න පැය කීපයකට කළින් මම කතා කරලා කිව්වා පහුවෙනිදා (ඉරිදා) ලෝයර් කෙනෙක් මුණගැහෙන්නත් තියෙන හින්දා සෙනසුරාදාට ආපහු එන්න කියලා. කොහොම හරි එදා රෑ 8.30 ට විතර මෙයයි මෙයා හිටිය කාමරයෙ දැනටත් ඉන්න නුවර යාළුවයි කාමරයෙන් පිටත් වෙලා තියෙනවා. ඔය හැලොවින් සැමරුම තිබුණ තැන ඉඳලා මේ අය හිටිය කාමරයට මීටර් දෙසීයක විතර දුරක් තියෙනවා. දෙන්නත් එක්ක එකට ඒ දුර ඇවිත් නුවර යාළුවා රෑ වැඩට ගිහින් තියෙනවා. මෙයා තව පැත්තකට යනවා. ඊට පැය 1 1/2 ට විතර පස්සෙ තමයි අධික තෙරපීම හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත් වෙලා ඉන්නවා කියලා ආරංචිය කොරියාව පුරා පැතිරෙන්න ගත්තෙ. ජිනාත් ගියේ ඒ ප්‍රදේශයට හින්දා අපි කීපදෙනෙක් එයාට ඇමතුම් ගත්තා. නමුත් ඒ වනවිටත් එයාගෙ දුරකථනය ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට පස්සෙ පාන්දර 5.00 ට විතර ජිනාත්ගේ තව යාළුවෙක් කෝල් එකක් ගත්තම ඒක ආන්සර් කරලා තිබුණෙ කොරියාවෙ පොලිසියෙන්.”

ජිනාත්ට සිදුවූයේ කුමක්ද ඔහුගේ දුරකථනයට ඇමතුමක් ගත්විට පොලිස් නිලධාරියකු ඊට පිළිතුරු දුන්නේ මන්ද යන්න පිළිබඳව විමසිලිමත් වෙමින් එරට වෙසෙන ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් එක්ව ඒ වනවිට ද ජිනාත් සොයාගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇත. ඒ අනුව කණ්ඩායම් කීපයකට බෙදුන ඔවුන් රෑ පුරා ජිනාත් සොයමින් විවිධ ස්ථාන වෙත යමින් ඒ කටයුත්තේ නිරතව ඇතත් අතුරුදන්ව සිටින තම මිත්‍රයා පිළිබඳව කිසිම හෝඩුවාවක් සොයාගැනීමට අසමත්ව ඇත. මේ අතර කොරියානු මාධ්‍ය විසින් මෙම සිදුවීම දිගින් දිගටම වාර්තා කරන්නට වූ අතර පසුදා අලුයම එරට මාධ්‍ය මගින් හෙළි කරන ලද පුවතකින් මියගිය පිරිස අතරට ශ්‍රී ලාංකික තරුණයෙක් ද අයත්ව සිටින බවය. එය අදහාගත නොහැකි පුවතක් වුවද වහාම ක්‍රියාත්මක වන ජිනාත්ගේ මිතුරන් පිරිස ඔහුගේ මෘත දේහය සොයා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇත. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ ජිනාත්ගේ තවත් මිතුරෙක් එම කටයුත්ත සිදු කළ ආකාරය පිළිබඳ විස්තර කරන්නට වූවේ මේ ආකාරයෙන්ය.

“මියගිය එකසිය පනහකට අධික පිරිස අතරේ ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා කියලා එරට ප්‍රවෘත්තිවලින් ප්‍රකාශවීමත් එක්ක අපි හුඟක් කලබල වුණා. මියගිය අයගෙ මෘත දේහ හොස්පිටල් 39 ක තැන්පත් කරලා තියෙනවා කියන ආරංචියත් එක්ක අපි කණ්ඩායම් කීපයකට බෙදුනා. අපි ඒ හැම හොස්පිටල් එකකටම ගියා. එහෙම යද්දි ඔය හැලොවින් සැමරුම පැවත්වූ ස්ථානයේ ඉඳලා කිලෝමීටර් 11 ක් පමණ දුරකින් පිහිටි හොස්පිටල් එකක තිබුණ මෘත දේහ අතරේ ජිනාත්ගේ සිරුරත් තියෙනවා කියලා ආරංචිය ආවා. අපි ගිහින් බලනකොට ඒ ආරංචිය සත්‍යයක් ජිනාත්ගෙ සිරුරත් එතන තිබුණා. අපේ ආදරණීය මිත්‍රයා අපට අහිමිවෙලා තිබුණා.”

මහනුවර උඩතලවින්න උපන් ජිනාත් ගේ ජීවිතය කොරියාවේදී පරව යන්නේ ඒ ආකාරයෙන්ය. පසුගිය 31 දා අලුත් රැකියාවක නිරතවීම පිණිස තම ඇඳුම් පැළඳුම් සහ ඔහු ඊට පෙර සේවය කළ රැකියා ස්ථානයෙන් ලැබිය යුතුව තිබූ හිඟ මුදල්ද රැගෙන ඒම පිණිස පිටත්ව ගිය ජිනාත්ට මුහුණදීමට සිදුවන්නේ ඔහුවත් ඔහුගේ හිත මිතුරන්වත් කිසිසේත් අපේක්ෂා නොකළ අනපේක්ෂිත සිදුවීමකටය.

අවසානයේ සිදුවන්නේ තමන්ටම කියා ගෙයක් දොරක් ඉදිකර ගැනීම, කිසිවෙකුට අතනෝපා ජීවත් වීම ආදී සිහින රාශියක් සමග විදෙස්ගත වන ඔහුට සීල් කරන ලද පෙට්ටියක සැතපී මෙරටට පැමිණීමටය. තම මිතුරා අහිමි වීමේ දුක දරාගත් ජිනාත්ගේ මිතුරන් ඒ කටයුත්ත පිණිසද නිර්ලෝභීව ඉදිරිපත් වී ඇත. ජිනාත් ගේ මෘත දේහය මෙරටට එවීම පිණිස එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉමහත් මෙහෙවරක් කළ බව සඳහන් කර සිටින ජිනාත්ගේ මිතුරන් අවසන් වරට ද සඳහන් කර සිටියේ ජිනාත් මේ වනවිට මෙලොව හැරගොස් ඇතත් ඔහු විසින් ඉතිරිකොට ගිය මිතුරු මතකය ඔවුන්ගේ සිත් තුළ තවත් බොහෝ කාලයක් පවතින බවය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment