හැව්ලොක්ස්, ගුවන් හමුදාව, සී. එච් ඇන්ඞ් එෆ්. සී. සහ මහනුවර ජයග‍්‍රහණ ලබති

128

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක අන්තර් ක‍්‍රීඩා සමාජ ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ මූලික වටයේ තවත් තරග 04 ක් ඉකුත් සති අන්තයේ පැවැති අතර එහිදී කැපී පෙනෙන දක්ෂතා ප‍්‍රදර්ශනය කරමින් ජයග‍්‍රහණ හිමි කර ගැනීමට හැව්ලොක්ස්, ගුවන් හමුදාව, සී. එච්. ඇන්ඞ් එෆ්. සී. සහ මහනුවර යන කණ්ඩායම් සමත් විය.

ශ‍්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ලකුණු 28 – 22 ක් ලෙස පරාජයට පත් කරමින් මෙවර ලීග් තරගාවලියේ පළමු ජයග‍්‍රහණයේ මිහිරි රස පානය කිරීමට මෙට්ලන්ඞ් පෙදෙසේ පිහිටී සී. එච් ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ වැලිසර දී සමත් වීම ඒ අතරේ ඉහළින්ම කැපී පෙනුණි.

මෙවර ලීග් තරගාවලියට එක් වෙමින් තමන් මුහුණ දුන් තරග සියල්ලම ජය ගැනීමට හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය සහ මහනුවර ක‍්‍රීඩා සමාජය සමත් වීම ද ඉහළ අගයක් ගත්තේය. ඒ අනුව මහනුවර ජයග‍්‍රහණ 04 ක් සටහන් කර ගන්නා අතර වාරයේ ජයග‍්‍රහණ 05 ක් හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය වාර්තා කර ගත්තේය.

සී. එච්. ඇන්ඞ් එෆ්.සී. ලකුණු 28 – නාවික හමුදා ලකුණු 22

ජයග‍්‍රාහී සී. එච්. පිල ගෝල් දිනුම් 04 ක් මගින් ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත නාවික හමුදා පිලේ ලකුණු එකතුව ගෝල් දිනුම් 02 ක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් ආශ‍්‍රිතව සටහන් වුණි.

මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් මුහුණ දුන් පළමු තරග ද්විත්වයම පරාජය ලබා සිටි සී. එච්. පිල ඉකුත් (18) දිනයේදී තම උපරිමය ප‍්‍රදර්ශනය කරන ආකාරයක් දක්නට ලැබුණි.

තරගය ඇරඹී පළමු භාගය පුරා ප‍්‍රබල ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක් අනුගමනය කළ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ලකුණු 28 – 05 ක් ලෙස පෙරමුණ ගැනීමට සී. එච්. කණ්ඩායමට හැකි විය.

දෙවන භාගය පුරා තවත් එකදු ලකුණක් හෝ ලබා නොදීමට වග බලා ගත් නාවික හමුදාව තරගයේ පාලනය සියතට ගන්නා ආකාරයක් දිස් වූ නමුත් එය ජයග‍්‍රහණයකින් නිමා කර ගැනීමට තරම් ප‍්‍රමාණවත් නොවීම කැපී පෙනුණි.

සී. එච්. ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු රෝහිත රාජපක්ෂ එක් උත්සාහක දිනුමක් සමගින් ප‍්‍රවර්තන 04 ක් ප‍්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදි එල්ලයට යොමු කළේය. රෝහිත සමග එක්වෙමින් අවන්ත ලී 01 ප‍්‍රසාත් මධුශංක 01 සහ සැමුවෙල් ඔගබේබෝ 01 බැගින් උත්සාහක දිනුම ලබා ගනිමින් කැපී පෙනුණි.

නාවික හමුදාව වෙනුවෙන් අධීෂ වීරතුංග 01, ජනිත් ලක්සර 01 සහ නිරෝෂ් පෙරේරා 01 බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි ප‍්‍රවර්තන ද්විත්වයක් සමගින් එකම දඬුවම් පහර සාර්ථකව එල්ල කිරීමට චතුර සෙනෙවිරත්නට හැකි විය.

ගුවන් හමුදාව ලකුණු 12 – යුද හමුදාව ලකුණු 05

යුද හමුදා කණ්ඩායම වෙතින් එල්ල වූ අභියෝගයට අසීරුවෙන් මුහුණ දෙමින් ලකුණු 12 – 05 ක තියුණු ජයග‍්‍රහණයක් වාර්තා කර ගැනීමට ගුවන් හමුදාවට හැකි විය.

රත්මලානේ දී ක‍්‍රියාත්මක කෙරුණු මෙම තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට පෙරමුණ ගැනීමට ගුවන් හමුදාවට හැකි වන්නේ ලකුණු 12 – 00 ක් ලෙසිනි.

එක් ගෝල් දිනුමක් සහ එක් උත්සාහක දිනුමක් මගින් ගුවන් හමුදාව තම ලකුණු එකතුව වාර්තා කර ගත් අතර එක් උත්සාහක දිනුමක් ආශ‍්‍රිතව පරාජිත යුද හමුදාවේ ලකුණු සංඛ්‍යාව සටහන් වුණි.

ගුවන් හමුදාව වෙනුවෙන් අංජුල රවිඳු හෙට්ටිආරච්චි 01 සහ පරාක‍්‍රම රත්නායක 01 බැගින් උත්සාහක දිනුම් ලබා ගත්හ. එහි එක් ප‍්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩ ට හැකි විය.

යුද හමුදාව වෙනුවෙන් සටහන් වූ එකම උත්සාහක දිනුම සුධාරක දික්කුඹුර වාර්තා කළේය.

හැව්ලොක්ස් ලකුණු 21 – පොලිස් ලකුණු17

තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථාන ක‍්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් පොලිසිය ලකුණු 04 කින් පරාජය කිරීමට හැව්ලොක්ස් සමාජය ට හැකි විය.

ප‍්‍රථම භාගයේ දී ලකුණු 14 – 07 ක් ලෙස ඉදිරියෙන් පසුවූ හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ තරගය සඳහා නියමිත මිනිත්තු 90 ක කාලය නිමා වන විට ලකුණු 21- 17 ක් ලෙස ජයග‍්‍රහණය සටහන් කර ගත්හ.

හැව්ලොක්ස් පිල ගෝල් දිනුම් 02 ක් සහ එක් ද`ඩුවම් උත්සාහයක දිනුමක් ආශ‍්‍රිතව ලකුණු එකතුව වාර්තා කර ගත් අතර පරාජිත පොලිස් පිලේ ලකුණු එකතුව ගෝල් දිනුම් 02 ක් සහ එක් දඬුවම් පහරක් ආශ‍්‍රිතව සටහන් වුණි.

හැව්ලොක්ස් ජයග‍්‍රහණය වෙනුවෙන් ආක‍්‍රමණශීලී ක‍්‍රීඩාවක නිරත වූ රංධිත වර්ණපුර උත්සාහක දිනුම් ද්විත්වයම වාර්තා කර ගත් අතර එහි ප‍්‍රවර්තන ද්විත්වයම නිවැරදිව ප‍්‍රතිවාදී ගෝල් කණු අතරින් යොමු කිරීමට සංදේශ් ජයවික‍්‍රම ට හැකි විය. පොලිස් පිලේ හේෂාන් තිලකරත්න 01 සහ රසිත් සිල්වා 01 බැගින් උත්සාහක දිනුම් සම්පූර්ණ කළ අතර එහි ප‍්‍රවර්තන ද්විත්වය සමග ද`ඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට යොහාන් පීරිස් ට හැකි විය .

මහනුවර ලකුණු 45 – සී.ආර් ඇන්ඞ් එෆ්.සී. ලකුණු 26

ඊයේ (20) සවස නිත්තවෙල පිටියේදී පැවති තරගයෙන් ලකුණු 45 – 26 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට මහනුවර ක‍්‍රීඩකයෝ සමත් වූහ. ඒ අගනුවර සී.ආර් ඇන්ඞ් එෆ්.සී. ක‍්‍රීඩා සමාජයට එරෙහිව ය.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ලකුණු 33 – 12 ක් ලෙස පෙරමුණේ පසු වන්නට මහනුවර පිලට හැකි වන්නේ අපහසුවකින් තොරවය.

මහනුවර පිල ගෝල් දිනුම් 05 උත්සාහක දිනුම් 02 මගින් ලකුණු එකතුව සටහන් කර ගත් අතර පරාජිත පිලේ ලකුණු ප‍්‍රමාණය ගෝල් දිනුම් 02, දඩුවම් උත්සාහයක දිනුම් 01 සහ උත්සාහක දිනුම් 01 ආශ‍්‍රිතව සටහන් වුණි.

ජයග‍්‍රහී පිල වෙනුවෙන් බුද්ධිම පියරත්න 04, නයිජල් රත්වත්තේ 02 සහ ජේසන් දිසානායක 01 බැගින් උත්සාහක දිනුම් සම්පූර්ණ කළ අතර එහි ප‍්‍රවර්තන 05 ක් නිවැරදි එල්ලයට යොමු කරමින් කැපී පෙනෙන්න ට මහනුවර නායක නයිජල් රත්වත්තේ සමත් විය.

සී.ආර් ඇන්ඞ් එෆ්.සී පිල වෙනුවෙන්

ඉමංක ආරියපාල 01, සුපුන් වර්ණකුලසූරිය 01 සහ තිසිල කරුණාතිලක 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි ප‍්‍රවර්තන 02 ක් මෂීඞ් දොරේයි ගේ පාදයෙන් සාර්ථක විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment