හැව්ලොක්ස් හමුවේ ගුවන් හමුදාව පරදී

108

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක ලීග් ශූරතා රග්බි තරගාවලියේ 10 වැනි තරගයේ ජයග‍්‍රහණය සටහන් කර ගැනීමෙන් තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

පළමු භාගය නිමා වන විට ලබා ගත් ලකුණු 04ක වාසිය තරගය සඳහා නියමිත කාලය නිමාවේ ද රඳවා ගැනීමට සමත් වෙමින් ලකුණු 26 – 22ක තියුණු ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය සමත් වූයේ ප‍්‍රතිවාදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිල පරාජයට පත් කරමිනි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙවර තරගාවලියේ අපරාජිත බව ආරක්ෂා කර ගත් දෙවන කණ්ඩායම බවට පත් වන්නට හැව්ලොක්ස් පිලට හැකි විය.

ඉකුත් ඉරිදා (06දා) රාත‍්‍රී විදුලි ආලෝක ධාරා මැද ක‍්‍රියාත්මක කෙරුණු මෙම තරගයේ දී ගුවන් හමුදා ක‍්‍රීඩකයින් වෙතින් එල්ල වූ අභියෝගයට අසීරුවෙන් මුහුණ දෙමින් අදාළ ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට හැව්ලොක්ස් ක‍්‍රීඩකයින්ට හැකි වීම කැපී පෙනුණි.

පළමු භාගය අවසානයේ ලකුණු තත්ත්වය සටහන් වූයේ ලකුණු 19 – 16ක් ලෙසිනි.

ජයග‍්‍රාහී හැව්ලොක්ස් පිල ගෝල් දිනුම් 03ක් සහ එක් උත්සාහක දිනුමක් මගින් මගින් තම ලකුණු එකතුව සටහන් කරගත් අතර පරාජිත ගුවන් හමුදා පිල ගෝල් දිනුම් 02ක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත්තේය.

හැව්ලොක්ස් ජයග‍්‍රහණය වෙනුවෙන් ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වූ විමුක්ති රාහුල්, ලසිඳු කරුණාතිලක, මිතුන් හපුගොඩ සහ රමේෂ් ප‍්‍රනාන්දු උත්සාහක දිනුම බැගින් වාර්තා කර ගත් අතර එහි ප‍්‍රවර්තනය 03ක් නිවැරදි එල්ලයට යොමු කරන්නට සංදේශ් ජයවික‍්‍රමට හැකි විය.

පරාජිත පිල වෙනුවෙන් කැපී පෙනුණු ගයන්ත ඉද්දමල්ගොඩ 01, පරාක‍්‍රම රත්නායක 01 සහ නුවන් පෙරේරා 01 බැගින් උත්සාහක දිනුම් ලබා ගත්හ. එහි ප‍්‍රවර්තන 02ක් සහ එක් දඬුවම් පහරක් ප‍්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදිව යොමු කරමින් කැපී පෙනෙන්නට නුවන් පෙරේරාට හැකි විය. ඒ අනුව ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 12කි.

පොලිසිය සහ යුද හමුදාව තරගය කල් යයි

මේ අතරවාරයේ තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථාන ක‍්‍රීඩාංගණයේදී ඉරිදා (06) ප:ව:04.00ට පැවැත් වීමට නියමිතව තිබුණු පොලිසිය සහ යුද හමුදාව අතර තරගය කල් දමන්නට සංවිධායකයින් වන ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය තීරණය කළේය. ඒ ‘කොවිඞ් – 19’ අවදානම ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුට පහළ වී තිබීම හේතුවෙනි.

සී.එච්. ඇන්ඞ් එෆ්.සී සහ පොලීසිය අතර ජනවාරි මස 23 දින තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණු තරගය ද කොවිඞ් 19 බලපෑම් මත කල් දමන්නට සංවිධායකයින්හට මීට කලින් සිදු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment