හැසිරීම හොඳ නෑ; ඇප දෙන්න බෑ රිෂාඞ් යළිත් ඇතුළේ

590

මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියක කෲරත්වයට පත්කිරීම සහ වධ හිංසාවට ලක්කිරීම ඇතුළු චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතා ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (01 දා* නියෝග කළාය.

එම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් ඇප මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට හා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බව පවසමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැක්වූ විරෝධතාවය පිළිගත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරමින් එම නියෝගය කළාය.

එම සැකකරු බන්ධනාගාරගත කර සිටියදීත් හැසිරී ඇති ආකාරය අනුව ඔහු ඇප මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් මෙන්ම සාක්‍ෂිකරුවන්ට බලපෑමක් විය හැකි බවට තම අධිකරණයට ද පෙනී යන්නේ යැයි ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරමින් පෙන්වා දුන්නාය.

තමන් විසින් අධිකරණය හමුවේ දක්වනු ලැබූ කරුණු පටිගත කළ බවට සැකකරන පුද්ගලයා රිෂාඞ් බදුර්දීන් මහතාට කොටස් හිමි යූ.ටී.වී. නමැති මාධ්‍ය ආයතනයේ බාහිර මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ අයකු බවත්, ඔහු පටිගත කළ එම හඬපට බන්ධනාගාරගත කර සිටින රිෂාඞ් බදුර්දීන් මහතා වෙත යොමු කළ බවට සැකයක් මතුවී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කරන වකවානුව තුළදී නීත්‍යනුකූලව කිසිවකුට ව්‍යාපාරයක් කිරීම හෝ කොටස්වලට හිමිකාරිත්වය දැරීම කළ නොහැකි වන්නේ යැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා සැකකරුගේ එවැනි හැසිරීම් රටාව අනුව ඔහු ඇප මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධා වීමේ හැකියාවක් නැතැයි කිසිවකුට සහතික කළ නොහැකි බව ද පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment