හික්කඩුවේ පාසල් බිමේ කුඩු විකුණූ ඩබල දැලේ

497

පොලිසියට කිව්වාට වැඩක් වුණේ නැති නිසා එස්.ටී.එෆ් එකට කිව්වා – විදුහල් ප්‍රකාශකයෙක් කියයි

ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක දරුවන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි ප්‍රබල කුඩු ජාවාරම්කාරියක වන කළුපේ නංගි මල්ලි හෙවත් බබියා සහ ඇගේ සගයකු වූ බේබි නමැත්තකු හෙරොයින් ග්‍රෑම් නවයකට ආසන්න ප්‍රමාණයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පාසල් භූමිය තුළ දීම අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත හම්බන්තොට කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඒ.වී.වී. දිසානායක මහතාගේ අධීක්‍ෂණයෙන් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් සිදුකළ විශේෂ මෙහෙයුමක දී මෙම කාන්තාව සහ අනෙක් සැකකරු කොටුකර ගෙ න ඇත.

මෙම කාන්තාව පාසල් දරුවන් ඉලක්ක කරගෙන කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරම සිදුකළ බවට කරුණු අනාවරණය වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කාන්තාව 29 වැනි වියේ පසුවන්නියක වන අතර අනෙක් සැකකරු 22 හැවිරිදි පුද්ගලයෙකි. මොවුන් හික්කඩුව කළුපේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට ද හඳුනාගෙන තිබේ.

මේ පිළිබඳව හික්කඩුව ප්‍රදේශයේ පිහිටි අදාළ පාසලේ ප්‍රකාශකයෙක් ගෙන් කළ විමසීමේදී මෙම කුඩු ජාවාරම පිළිබඳව හික්කඩුව ප්‍රදේශයේ පොලිස් බලධාරීන්ට තොරතුරු ලබා දුන්න ද ඔවුන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා පසුව පොලිස් විශේෂ කාර්ය බළාකායට දැනුම් දුන් බව හෙතෙම සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වැටලීම සිදු කළ අවස්ථාවේ ජාවාරම්කාර කාන්තාව එක්වරම අත තිබූ යමක් ගිල දැමීමට උත්සාහ කළ ද නිලධාරීන් වහා ක්‍රියාත්මක වී එය වැළකූ බව ද එම ප්‍රකාශකවරයා පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ රත්ගම කඳවුරේ උප පොලිස් පරීක්‍ෂක ජී.කේ. නන්දපාල මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හික්කඩුව පොලිසියට භාරදී ඇත.

සමන් ගමගේ, නෝමන් පලිහවඩන සහ  වාද්දුව විශේෂ ගාමිණී ගුණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment