හිඟන්නාගේ පාත්තරයට සෞරග්‍රහ මණ්ඩලය කඩන් වැටීම

1121

ඔක්තෝබර් මස 24 වන දිනට පෙර ගල් අඟුරු පටවාගත් නැව් මෙරටට නොආවොත් දිනකට පැය 8 ක් හෝ දහයක් විදුලිය කැපීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර ඇත. නැව් නොඑන බව ජනක රත්නායක කී හැම විටකම එම නැව් නියමිත ආකාරයෙන් පැමිණි බව ඉතිහාසය විසින් පෙන්වා දෙනු ලැබ ඇත. ඒවා එක්කෝ තෙල් නැව්ය; නැත්නම් ගල් අඟුරු නැව්ය. පැය 12 ක හෝ 14 ක විදුලි කප්පාදුවක් මේ රටේ හටගනු ඇතැයි පුරෝකතනය කළ දේශපාලනඥයන්ද නිලධාරීන්ද අපි දැක ඇත්තෙමු. එහෙත් කවදාවත් මේ රටේ ලයිට් කැපිල්ල ඒ මට්ටමට ගොස් නැත. යකා කියන තරම් කළු නැත. ඒ නිසා බලධාරීන් කියන දේවල් ගැන රටේ ජනයා ඒ තරම් කලබල විය යුතු නැත. පාන් රාත්තලක් රුපියල් 500 ට යන බව පසුගිය සති කිහිපය තිස්සේම කියන ලදී. එහෙත් අදටත් බේකරියේ පාන් රුපියල් 180 කි. වැඩිම වුණොත් රුපියල් 200 කි.

රජයේ සේවකයන්ට මේ මාසයේ පඩි ගෙවීම සඳහා සල්ලි නැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා සල්ලි අච්චු ගැසීමට බැරි බවත් බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා පවසා තිබේ. මෙවිට පඩි නැතිව නොකා නොබී සිටීමට සිදු වෙතැයි සිතා මේ රටේ ජනතාව කලබල වනවා ඇත. ආර්ථික බැරි අමාරුකම් නිසා දැනටමත් බෙහෙවින් දුකට පත්ව සිටින මේ රටේ ජනයා තවදුරටත් දුකට පත්වන අයුරින් කතන්දර පැතිරවීම දේශපාලනඥයන් විසින් හෝ රාජ්‍ය නිලධාරීන් විසින් කිසිවිටකත් නොකළ යුතුය. ප්‍රමාණයකට පමණක් කතා කරන ලෙස ජනාධිපතිතුමා දැනටමත් ස්වකීය ඇමැතිවරුන්ගෙන් ඉල්ලා තිබේ. අපට වැටහෙන පරිදි මේ රටේ දේශපාලනඥයන් දැනට කට ඇරිය යුත්තේ කෑම ගැනීමට පමණි. රට යථා තත්ත්වයට පත්වූ පසු ඇරියස් සමගම කතා කරනු පිණිස මේ රටේ මැති ඇමතිවරුන්ට පිළිවන.

මේ දිනවල තිබෙන ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ පන්සලේ ලයිට් එක පිළිබඳ ප්‍රශ්නයයි. මේ රටේ පූජනීය ස්ථානවල ලයිට් බිල ගෙවීමේදී සහනදායක ප්‍රතිපත්තියකට අනුව කටයුතු කිරීම දිගු කලක පටන් සිදුවේ. ඒ නිසාම විවිධ ආගමික උත්සව වලදී මේ රටේ පූජනීය ස්ථාන බල්බ් වැල් වලින් සරසා විසිතුරු බවට පත්කිරීම සිරිතකි. ඒ අතර ඇතැම් පෞරාණික විහාරස්ථාන විදුලි ආලෝක පූජා පවත්වනු ලැබේ. ආලෝක පූජා යනු අපගේ සංස්කෘතියේ කොටසකි. පන්සල්වල ලයිට් නැති කාලයේදී එනම් එක්දහස් අටසිය ගණන් වලදී මේ රටේ ජනයා පොල් තෙල් හෝ මී තෙල් යෙදූ මැටි පටන් පත්තු කර ආලෝකපූජා පවත්වමින් ස්වකීය ආගමික භක්තිය ප්‍රදර්ශනය කළහ. ඒ අතර මේ රටේ විදුලි බල ඇමැති කංචන විජේසේකර ඇමැතිතුමා මාර බාල්දියක් පෙරළුවේය. පූජනීය ස්ථානවලට දෙන විදුලි ගාස්තු සහනය ඔහු විසින් කපාහරින ලදී. මෙමගින් විශාල අවුලක් හටගත්තේය. විදුලි සහනය කපා හැරීමට විරුද්ධ වූ භික්ෂුන් වහන්සේ ඒ බව පිළිබිඹු වන සටන් පාඨ ප්‍රකාශයට පත්කළ අතර ආණ්ඩුවේ විදුලි බිල් තීන්දුවට පක්ෂපාත වූ භික්ෂුන් වහන්සේ වෙනත් සටන් පාඨ මුදා හැරියහ. මේ ළඟදී එක්තරා පන්සලක නායක භික්ෂුවක් ගෝල හිමිනම විසින් ඝාතනය කරන ලදී. පන්සලේ තිබූ රුපියල් කෝටි හතරක් වටිනා වාහන දෙකක් ගෝල හිමිනම විසින් විකුණා එම මුදල් මැද පෙරදිග සිටින ස්වකීය පෙම්වතිය වෙත යැවීමට සැලසුම් කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවිය.

පන්සල්වල රුපියල් කෝටි හතරක වාහන තිබේ නම් පන්සලේ විදුලි බිලට සහනයක් දෙන්නේ මන්දැයි එක් භික්ෂුන් වහන්සේ නමක් ප්‍රශ්න කළහ. මෙහිදී AC කර ඇති පන්සල් ගැනද ප්‍රශ්නයක් මතුවී තිබේ. නගරයේ පන්සල් AC කළාට ඇතැම් ගමේ පන්සල්වල සිටින භික්ෂුන් වහන්සේට දානේ සපයා ගන්නටවත් වත්කමක් නැත. පෘථජනයා කවර බයිලා කීවද භික්ෂු ජීවිතය ඉතා දුෂ්කරය. ඒ දුෂ්කර බව දරාගැනීමට නොහැකි ඇතැම් තරුණ භික්ෂුන් වහන්සේ උපැවිදි වෙති. මේ නිසා කිසියම් ආදායමක් ලැබෙන පන්සල් විදුලි බිල සම්බන්ධ ප්‍රශ්න ටිකකට අමතක කර නැති බැරි පන්සල් කෙරෙහි අවධානය යොමුකළ යුතු බව අපගේ වැටහීමය. පූජනීය ස්ථානවල විදුලි බිල සඳහා සහනයක් දෙන බව ජනාධිපතිතුමා විසින් දැනටමත් නිල නොවන මට්ටමින් පොරොන්දු වී ඇත. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන කලබලයක් නොකර අප විසින් පෙර ඉල්ලන ලද පරිදි භික්ෂුන් උපැවිදි වීමේ අනතුරට පත්ව ඇති ගරාවැටෙන ගමේ පන්සල් වලට උපකාරයක් කිරීම අත මිට ඇති පූජනීය ස්ථානවල වගකීමය. එම වගකීම ඉටුකිරීම මෙලොවට මෙන්ම පරලොවට ද වැඩදායකය.

එහෙත් ජනතාවගේ විදුලි බිල වැඩිවීම නම් කිසිසේත්ම දැරීමට නොහැක. මෙය හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා පමණක් නොව සෞරග්‍රහ මණ්ඩලයම කඩා වැටීම හා සමාන වැඩකි. ඒ නිසා මධ්‍යම පන්තියට සහ පහළ මධ්‍යම පන්තියටත් ඉනුත් පහළ සිටින දුගී ජනයාටත් සාධාරණයක් ඉටුවන පරිදි විදුලි බිලට සහනයක් දෙන්නැයි අපි රජයෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment