හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාපයේ පෝෂණ වැඩසටහනේ කෝටි 4ක මුදල් වංචාවේ සැකකරුවෝ රිමාන්ඩ්

106

හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි 04කට අධික මුදල් වංචාවක් සම්බන්‍ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම අපරාධයට සම්බන්‍ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 23 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් ආර්. එම්. මාලන් හිසර ජයසූරිය මහතා 15 දා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ හිඟුරක්ගොඩ, ආර්.බී.01 යන ලිපිනයේ පදිංචි ජී.එම්.අපරැක්ක සහ හිඟුරක්ගොඩ, රෝහල හන්දිය පදිංචි ආර්. එම්. අමරජීව රත්නසිරි යන දෙදෙනාය.

හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රාථමික පාසල්වල අධ්‍යාපන ලබන දරු දැරියන්ගේ පෝෂණ තත්වය නැංවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩ සටහනෙන් රුපියල් කෝටි 04කට වැඩි මුලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම මුදල් වංචාව සම්බන්‍ධයෙන් සැකපිට හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කළ විෂය භාර ලිපිකරුවකු මීට පෙර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පමුණුවා තිබේ.

පාසල් දරුවන්ගේ පෝෂණ ආහාර සැපයුම්කරුවන් වෙත මුදල් ගෙවීමේදී නියමිත මුදලට වඩා විශාල වශයෙන් වැඩිපුර ගෙවීම්කර මෙම මුදල් වංචාකර ඇති බව විගණන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විගණන පරීක්‍ෂණයකදී හෙළිවීමෙන් පසුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය විසින් පොලොන්නරුව පොලිස් විශේෂ වංචා විමර්ශන අංශයට මේ සම්බන්‍ධව ප්‍රථමයෙන් පැමිණිලි කර තිබුණි.

කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම මූල්‍ය වංචාව සම්බන්‍ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බව එහි නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියහ.
කරුණාරත්න ගමගේ, අතුල සූරියබණ්ඩාර – හිඟුරක්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment