හිටපු ඇමැති මහින්දාන්ද සහ  ලේකම් මට පහර දුන්නා – පහර කෑ  නිශාන්ත කුමාර

537

මම පහර දුන්නේ නෑ ඒක වෙන ආරවුලක් – හිටපු ඇමැති මහින්දානන්ද  අලුත්ගමගේ

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් චාමික ජනාත් ධර්මතිලක නොහොත් සෑම් යන දෙදෙනා පහර දුන්නා යැයි පවසා නාවලපිටිය, වැටකේදෙණිය සමගි ජන බලවේගයේ කොට්ඨාස නායක චන්දන ශාන්ත කුමාර යන අය ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

මේ පහරදීම පිළිබඳව ඔහු හා ඔහුගේ බිරිඳ වන සමන්තිකා මධුරංගනී යන අය ගම්පොළ කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කොට තිබේ.

වැටකේදෙණිය ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට හිටපු අමාත්‍යවරයා සහභාගී වී නැවත යන ගමන් වාහනය නවතා තමා හා සැමියා පවත්වාගෙන යන වෙළෙඳසැල තුළට පැමිණි අමාත්‍යවරයා හා ලේකම්වරයා මෙම පහරදීම සිදුකළ බවට බිරිඳ විසින් මෙසේ කුරුඳුවත්ත පොලිසිය වෙතට සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

පහර කෑ චන්දන නිශාන්ත කුමාර යන අය ප්‍රකාශ කළේ, තමාගේ නිවස සමග කුඩා වෙළෙඳසලක්ද පවත්වාගෙන යන බවත්, මිරිස් පැළ බෙදීමේ අවස්ථාවකට ගමට පැමිණි අමාත්‍යවරයා එම කටයුත්ත අවසන් කර යන ගමන් තම වෙළෙඳ සැල අසල වාහනය නවතා බැසවිත්, පළමුවෙන් ඔහු තමාට පහරදුන් බවත්, ඉන්පසු ලේකම්වරයා පහරදුන් බවත්ය.

පහරදීමෙන් ඔහුගේ තොල්පට පිපිරී තිබූ අතර දතක් සෙලවෙන බවත්, කන ඇසීම අඩුව බෙල්ල හැරවීමට නොහැකි බවත් ඔහු පවසයි.

සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතුවල නිරත වීම නිසා මොවුන් මෙසේ පහරදුන් බවත්, මීට පෙර අවස්ථාවකදීද අමාත්‍යවරයාගේ පිරිස් තමාට පහර දී ඇති බවද ඔහු පවසයි.

අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වන ‘සෑම්’ නමැති අය මීට දින පහළොවකට පෙර නාවලපිටිය නගරයේ දෙදෙනකුට පහරදීම නිසා ඔවුන් ද තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කොට සිටියේය.

පහරදීම පිළිබඳව පරීක්ෂණ පවත්වන ගම්පොළ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සී. ජී. වෙලගෙදර මහතාගෙන් විමසීමක් කර අමාත්‍යවරයා මෙම සිද්ධියේ සිටිනවාද යන්න විමසූ විට, ඔහු පැවසුවේ ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

පහර කෑ චන්දන යන අයද පහරදීම නිසා අමාත්‍යවරයාගේ ලේකම් සෑම් යන අය ද කුරුදුවත්ත රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඒ පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් අමාත්‍යවරයා සඳහන් කරන්නේ තමා මෙම පහරදීම සිදු නොකළ බවත්, සෑම් යන අය සමඟ මෙම පුද්ගලයා ආරවුලක් ඇතිකරගෙන ඇති බවත්ය.

ගම්පොළ – සුරංග දිල්හාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment