හිටපු ඇමැති හොරෙන්  ගෙන්වූ සැප රිය කොස්තාපල්වරයකු සමඟ ගාල්ලෙන් අල්ලයි

257

ප්‍රබල දේශපාලනඥයකු අමාත්‍ය පදවිය දරන අවධියේ දී තීරුබදු රහිතව ආනයනය කර තිබූ රුපියල් කෝටියකට පමණ ආසන්න වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් ගාල්ල නගරයේදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

එම අවස්ථාවෙහිදී ජීප් රථය පදවමින් සිටි ඔහුගේ නිවසේ ආරක්ෂකයකු ලෙස කටයුතු කරන ගාල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දේශපාලනඥයා මීට වසර කිහිපයකට පෙර වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පදවිය දරන අවධියේදී මෙම සුඛෝපභෝගී ජීප් රථය තීරුබදු රහිතව පිටමං කර තිබූ බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබිණි.

ජීප් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි ලියාපදිංචි අංකය ලෙස ප්‍රදර්ශනය කර තිබුණේ වෙනත් මෝටර් රථයක ලියාපදිංචි අංකයක් බව පොලිසිය කියයි.

තවත් මේ ආකාරයෙන් වාහන පිටමං කර ඇද්දැයි සොයා පුළුල් ලෙස විමර්ශන සිදුකරන බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවසීය.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ යන මහත්වරුන්ගේ මඟපෙන්වීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, පොලිස් පරීක්ෂක ජනිත කුමාර පොලිස් සැරයන් (428) ජයලාල් කොස්තාපල්වරුන් වන(91287) සංජීව, 94019 ප්‍රියන්ත (10083) හේමන්ත, (98261) රත්නායක, (80172) මංජුල යන මහත්වරු වැටලීම සිදුකළහ.

කැස්බෑව – බිමල් ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment