හිටපු කෘෂිකර්ම ලේකම් කියූ ආහාර හිඟයට ආණ්ඩුවේ ප‍්‍රතිචාරය කුමක්ද? – නාමල් කරුණාරත්න

88

සේවයෙන් ඉවත් කළ කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ඉදිරියේදී මෙරට ඇතිවිය හැකි උග‍්‍ර ආහාර හිඟය පිළිබඳව කළ ප‍්‍රකාශයට ආණ්ඩුවේ ප‍්‍රතිචාරය කුමක්දැයි ජනතාව බලා සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ට ඊයේ (23දා) පැවසීය.

මාස විසිපහක් ඇතුළත කෘෂිකර්ම අමාත්‍යාංශයට ලේකම්වරුන් පස්දෙනකු පත්කර ඇතත් ඒ කිසිවකු නිවැරදි කෘෂිකර්ම ප‍්‍රතිපත්තියක සිට කටයුතු නොකළ නිසා ඉදිරියේදී රටතුළ ආහාර හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ද හෙතෙම සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා මෙසේ ද කීවේය.

විශ්වවිද්‍යාල උපකුලපතිවරයකු, කෘෂිකර්මය පිළිබඳව මහාචාර්යවරයකු වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා කළ ප‍්‍රකාශය මේ ආණ්ඩුව සිහිනුවණින් සිතාබැලිය යුතුයි. ඒ මහතා මේ රටේ මේ මොහොතේ සහ ඉදිරියේදී ඇතිවිය හැකි ඇත්ත ආහාර ප‍්‍රශ්නය පිළිබඳව යම් සාධනීය විග‍්‍රහයක් ඉදිරිපත් කළා. ඉදිරියේ ඇති වියහැකි ආහාර හිඟයේදී මෙරට ගර්භණී මවුවරුන්, රෝගීන් සහ දරුවන් පමණක් යම් ආහාර ප‍්‍රමාණයක් ලබාගත්තත් මෙරට තරුණ පරම්පරාව යම් ආහාර සීමාවකට යටත් කළ යුතු තත්ත්වයක් ඇතිවෙමින් තිබෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

මහාචාර්යවරයා කළ එම ප‍්‍රකාශය ගැඹුරින් කල්පනා නොකර ඒ මහතාගේ සේවය අවසන් කිරීමට මේ ආණ්ඩුව ගත් තීරණය ඔලමොට්ටල නොවේදැයි අපි අහනවා.

අද එළවළු ගිනි ගණන්. හාල් ගන්නවා තියා පාන් කියාගන්නවත් බෑ. මේ සෑම දෙයකටම විසඳුම් නිලධාරීන් මාරු කිරීමෙන් හෝ ගෙදර යැවීමෙන් ලැබෙනවා නම් කළ යුත්තේ ප‍්‍රධානතම වගකීම ඇති ජනපතිවරයා අගමැතිවරයා ඇතුළු මුළු රජයම ගෙදර යෑමයි. ඒ අය යන්නේ නැති නම් ඒ අය යැවීම සඳහා මේ රටේ ජනතාව වහාම පෙළගැසිය යුතුයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment