හිටපු ජනපතිට ජාත්‍යන්තර මුක්තිය අහිමි වෙයි… චෝදනා 63ක පැමිණිල්ලක් සිංගප්පූර් නීතිපතිට

652

ගෝඨාභය අත්අඩංගුවට ගනු – යස්මින් සුකා ඉල්ලයි

වැඩබලන ජනාධිපතිවරයකු පත්කර ගැනීම ගැන සමස්ත ජනතාවගේ දැඩි අවධානය යොමුවී ඇති අවස්ථාවේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීහරන් ශ්‍රීධරන් ඇතුළු කණ්ඩායමක් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නිලධාරීන් සමග රහස් සාකච්ඡාවක නිරතවී සිටි බව ජනතාව දැනසිටියේ නැත.

එහෙත් වන්නි යුද සමයේ කොටි සංවිධානයට දැඩි ලෙස උදව්කළ කොළඹ ද්‍රවිඩ පුවත්පතක් ශ්‍රීධරන් ඇතුළු පිරිසගේ ඇමරිකානු ගමන දැනසිටි නමුත් ජනතාවට හෙළිකළේ එම ඇමරිකානු සංචාරයෙන් පසුවය. ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ බලධාරීන් හමුවූ ශ්‍රීධරන් ඉල්ලා සිටියේ කුමක්ද?

එම ඉල්ලීම් මෙරට බහුතරයේ දැඩි අවධානයට හෙළි කරන්නෙමු.

  1. උතුරු නැඟෙනහිරට ස්වයං පාලනය ලබාදෙනු
  2. යුද අපරාධවලට වගකිවයුතු පිරිස් හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයට ගෙනයනු
  3. උතුරු නැඟෙනහිරින් හමුදාව ඉවත් කරනු
  4. උතුරු නැඟෙනහිර විසඳුමක් දෙනතුරු අන්තර්කාලීන ජාත්‍යන්තර ආරක්‍ෂක යාන්ත්‍රණයක් ස්ථාපිත කරනු

මෙහි තේරුම නම් ද්‍රවිඩ ජනතාව සඳහා විදේශ හමුදාවක් උතුරු නැඟෙනහිර රඳවා තැබීමයි.

  1. උතුරු නැඟෙනහිර සඳහා ජාත්‍යන්තර අධීක්‍ෂණය යටතේ ජනමත විචාරණය පවත්වනු.

මෙවන් ඉල්ලීම් ඇමරිකානු කොංග්‍රස් බලධාරීන්ට ඉදිරිපත් කළ මේ ශ්‍රීධරන් කාගේ කවුද?

උතුරේ කොටි හමුදා නායකයාව සිටි තිපන්ගේ සොහොයුරිය විවාහ වී සිටින්නේ ශ්‍රීධරන් සමග ය. තිපන් යනු අංක එකේ ත්‍රස්තයෙකි. මෙයට වසර 2කට පෙර ශ්‍රීධරන් තමිල්නාඩුවේ චෙන්නායි නුවරට ගොස් ප්‍රභාකරන් මළේ නැති බවත් ඔහු ජීවතුන් අතර සිටින බවත් පළකළේය. එසේම ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ කාන්තාවන් විශාල සංඛ්‍යාවක් අතවරවලට ලක්කළ බව ද කියා සිටියේය.

මේ ශ්‍රීධරන් නැමැති නරුමයාගේ සොහොයුරු ශ්‍රී කුගන් පදිංචිව සිටින්නේ ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරය. ඔහු එහි සිට විකාශනය කරන ලංකාසිර් නමින් වෙබ් අඩවියක් මෙහෙයවයි. එහි කොළඹ කාර්යාලය කොටහේන ජම්පටා වීදියේ සිට ක්‍රියාත්මක වේ.

එසේම උතුරේ කොටි සුසාන භූමියක් නඩත්තු කිරීම සඳහා මන්ත්‍රී අරමුදලට ලැබුණු මුදල ලබාදුන්නේය. 1983 දී යුද හමුදාව උතුරේ ස්ථාපිතව සිටි තත්ත්වයට යළිගෙන ආ යුතු බව ද ඔහු ඉල්ලා ඇත. මේ හැර ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළේය.

එහෙත් තම බිරියගේ සොහොයුරු තිපන් යුද අපරාධ කර තිබියදී එය වසන් කරනු ලැබීය.

මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් ශ්‍රීධරන්ට ඇමරිකානු කොංග්‍රස් බලධාරීන් හමුවීමට අවකාශ ලැබීමයි.

ඒ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චැන්ගේ අනුග්‍රහයෙනි. මෙවන් පසුබිමක් මැද ශ්‍රීධරන් අන්තර්කාලීන ජාත්‍යන්තර ආරක්‍ෂක යාන්ත්‍රණයක් හෙවත් විදේශ හමුදාවක් මෙරටට කැඳවීමට ඇමරිකාවේ සහාය පැතීම රාජ්‍ය ද්‍රෝහි ක්‍රියාවකි. එහෙත් රජයේ හෝ විපක්‍ෂයේ කිසිදු දේශපාලකයෙක් ශ්‍රීධරන් ඇමරිකානු රජයට යොමුකළ එම ඉල්ලීම ගැන විරෝධය පළකළේ නැත. එසේ වුවත් තමිල්නාඩුවේ දේශපාලකයෙක් මෙවන් ඉල්ලීමක් කළානම් ඔහු අත්අඩංගුවට ගනු නියතය.

එසේම ශ්‍රී ලංකාවේ අර්බුදයක් තිබියදී ඇමරිකානු කොංග්‍රස් බලධාරීන් ශ්‍රීධරන් සමග සාකච්ඡා කිරීමේ අරමුණ කුමක්ද?

මෙවන් පසුබිමක් මැද නිමලන් විශ්වනාදන් නමින් හඳුන්වාගත් ද්‍රවිඩයෙක් ශ්‍රී ලංකාවේ විදේශ ණය බරවූ ඩොලර් මිලියන 57ක් ගෙවා දැමීමට දෙමළ ඩයස්පෝරාව සූදානම් බව ප්‍රකාශ කර ඇත. එහෙත් නෙදර්ලන්තයේ පදිංචි මේ ද්‍රවිඩයාගේ එම ප්‍රකාශය ගැන කොටි ඩයස්පෝරාව කිසිදු ප්‍රකාශයක් කර නැත.

නිමලන් විශ්වනාදන් කැමැත්තෙන් කිසිදිනෙක ඩයස්පෝරා කරළියට පැමිණ නැති අතර ඔහුගේ එම ප්‍රකාශය ගැන රටින් පිටත ඊළාම් ආණ්ඩුව සංවිධානයේ නායක විශ්වනාදන් රුද්‍රකුමාරන් පවා මෙතෙක් සඳහනක් කර නැත. එසේ නම් ඩයස්පෝරා නායකයා යැයි හඳුන්වාගත් නිමලන්ගේ භූමිකාව කුමක්ද?

හිටපු ජනපතිට ජාත්‍යන්තර මුක්තිය අහිමි වෙයි… චෝදනා 63ක පැමිණිල්ලක් සිංගප්පූර් නීතිපතිට

මේ අතර ප්‍රභාකරන්ගේ කළුකොටි ත්‍රස්ත කල්ලිය සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරවලදී මියගිය කළුකොටි ත්‍රස්තයන්ගේ පවුල්වල අය ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ සිටින බව සනාථ වී ඇත. පසුගිය සතියේ දිනෙක පැරිසියේ බොබ්ගිනි පළාතේදී කළුකොටි ත්‍රස්තවාදීන්වූ සුදියන් අන්බාරන් ඇතුළු සිව්දෙනකු සැමරීමේ උත්සවයක් පවත්වා ඇත. ලොව බටහිර රටවල් ත්‍රස්තවාදීන් පිළිබඳව අනුගමනය කරන දෙබිඩි පිළිවෙත මෙයයි. මෙම පසුබිම මැද හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මුක්තිය අහිමිවී ඇත. ඔහු ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ද එතැනින් සිංගප්පූරුවට සම්ප්‍රාප්ත විය. මේ ගැන කැනඩා කොටි හිතවාදී මන්ත්‍රී ගැරී ආන්ද සංගරී ඔටාවා නුවරදී ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිට ජනපතිවරුන් සඳහා වූ මුක්තිය හෙවත් වරප්‍රසාද හිමිකම අහිමිවීම නිසා ඔහුට සම්බාධක පනවන ලෙස කැනඩා රජයෙන් ඉල්ලා ඇත. එසේ නම් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝට ද මුක්තිය අහිමිවිය යුතුය. මන්ද ඔහු ද යුද අපරාධකරුවෙකි. කොටි ත්‍රස්තවාදීන්ට දේශපාලන රැකවරණ ලබාදීම, කළුකොටි සැමරීමට ඉඩදීම, කොටි ත්‍රස්තයන්ට අරමුදල් එකතු කිරීමට ඉඩදීම යන චෝදනාවලට ඔහු වරදකරු වේ.

සිංගප්පූරුව විසින් හිටපු ජනපතිට වීසා ලබා දී ඇත්තේ දින 15කට ය. එහෙත් ඇමරිකාව ඔහුට වීසා ලබාදීම ප්‍රතික්‍ෂේප කළේය. හිටපු ජනපතිවරයා පාලන බලයේ සිටිය දී ඇක්සා වැනි ආරක්‍ෂක ගිවිසුම්වලට එකඟ විය. එහෙත් අද සිදුවී ඇත්තේ කුමක්ද? ඇමරිකානු රජය ලබන සැප්තැම්බර් මස ආරම්භ වන 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඔහුට ද හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට මෙන් ඇමරිකාවට පැමිණීමේ තහනමක් පැනවීමට සූදානම් වේ.

මෙය විශ්ව අධිකරණ පද්ධතිය මත ක්‍රියාත්මක වේ. ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ එම විශ්ව අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරන ලෙස බටහිර රටවලින් ඉල්ලා තිබේ. ඇමරිකාව දැනටමත් හමුදා නිලධාරීන් තිදෙනකුට එම පනත ක්‍රියාත්මක කර ඇත.

ඇමරිකාවේ මේ ක්‍රියාදාමය ගැන අප මෙයට පෙර අනතුරු ඇඟවූවත් හිටපු ජනපතිවරයා ක්‍රියාකළේ අන්ධයකු මෙනි. තමාට සහයවූ විදේශගත දේශප්‍රේමීන් පසෙකට දමා ඔහු ඩයස්පෝරාව සමග එක්වීමට කටයුතු කළේය. එසේම යුද අපරාධ චෝදනාවලට ඔහු අභියෝග කළේ නැත. ඒ වෙනුවට පැතිමාරු කළ දේශපාලකයකුගේ උපදෙස්වලට සවන් දුන්නේය. එහි ප්‍රතිඵලය ඔහුට පාරාවළල්ලක් විය. මේ පසුබිම මැද දේශප්‍රේමීහු ඔහු සමග උරණ වූහ. එසේම සතුරන් ඔහු සමග එක්විය.

මේ අතර යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් 58ක් ඇත. මේ හමුදා නිලධාරීන්ගේ ඉරණම කුමක්ද?

එසේ වුවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ දක්වා ම කිසිදු කොටි ක්‍රියාකාරියකුට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර නැත. රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක වරක් සඳහන් වූයේ කොටි ක්‍රියාකාරීන් 46ක් යුද අපරාධකර ඇති බවයි.

එම වාර්තාව ගැන ඇමරිකානු රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත. මෙවන් වාතාවරණයක් මැද නව රජය යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් ගැන ගන්නා ක්‍රියාමාර්ගය අනාවරණය වී නැත. එහෙත් 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාවේ ඉල්ලීම්වලට එකඟ වීමට රජයට සිදුවේ. මේ අතර ඇමරිකානු සී අයි ඒ සංවිධානයට සම්බන්ධ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු ප්‍රධානි මිනක්‍ෂි ගංගුලි නැමැත්තිය ප්‍රකාශයක් කරමින් මෙරට හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂට ජාත්‍යන්තර මුක්තිය අහිමිවී ඇති බවත් ඔහුට එරෙහිව යුද අපරාධ චෝදනා මත ක්‍රියාකළ යුතු බව ද ප්‍රකාශ කර ඇත.

එහෙත් ඉන්දීය හමුදාවට එල්ලවී තිබූ යුද අපරාධ චෝදනා ගැන පියවර ගතයුතු බව ඇය පැවසුවේ නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment