හිටපු ජනාධිපති මෛත‍්‍රිගෙන් කළ ඉල්ලීම්… මෛත‍්‍රි දයාසිරිට දුන් අවවාදය… ගීතා ෂාන් ගැන කී කථාව

399

ශ‍්‍රී.ල.නි. පක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් සමුළුව මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගාල්ල දඩැල්ල ප‍්‍රදේශයේ හෝටලයකදී පැවැත්විණි. මේ සඳහා පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ගාල්ල දිස්ත‍්‍රික් නායක ෂාන් විජේලාල් ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. හිටපු මහ ඇමති ෂාන් විජේලාල් ද සිල්වා විසින් නිරෝධායන නීතිරිතිවලට අනුකූලව මෙකී සමුළුව උත්කර්ෂවත් අයුරින් සංවිධානය කොට තිබුණි. හිටපු ජනාධිපතිවරයා නියමිත වෙලාවටම මෙකී සමුළුවට සහභාගිවිය. මාධ්‍ය සහෝදරයින් ශාලාව ඇතුළුට ඇවිත් සමාරම්භක අවස්ථාව වාර්තා කරන්න හිටපු ජනාධිපතිවරයා රැුස්වීම් ශාලාවට ඇතුල්වනවාත් සමග මාධ්‍ය සහෝදරයන්ගෙන් ඉල්ලීමක් කළේය. සමුළුවේ සමාරම්භක අවස්ථාව වාර්තා කිරීමට මාධ්‍යයට ඉඩ ලැබුණි. පසුව ශ‍්‍රී.ල.නි. පක්ෂ ගාල්ල දිස්ත‍්‍රික් සමුළුව ආරම්භ කෙරිණි. ෂාන් ශ‍්‍රී.ල.නි.පක්ෂයේ ඉතිහාසය හා පක්ෂය විවිධ කාලවකවානුවලදී මුහුණදුන් අභියෝගයන් පිළිබඳ සඳහන් කරමින් පිළිගැනීමේ කථාව කළේය.

maagampura

මෛත‍්‍රිපාල හිටපු ජනාධිපතිවරයාගේ කථාවේ දී ෂාන් ගැන සහතිකයක් ලබාදීමට ද හෙතෙම කටයුතු කළේය. ෂාන් දක්ෂ සංවිධායකවරයෙක්. හරි අපුරුවට සමුළුව සංවිධානය කොට තියෙනවා, මෛත‍්‍රි හිටපු ජනාධිපතිවරයා කීවේය. මේ අතර ශ‍්‍රී.ල.නි. පක්ෂයේ සංවිධායකවරු හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු විවිධ අදහස් ඉදිරිපත් කරණු ලැබීය. හිටපු ජනාධිපතිතුමනි, දැන් තමයි ඔබතුමාගේ අගය තේරෙන්නේ. ඔබතුමා කරපු සේවය ගැන දැන් කොයිකවුරුත් කථා කරනවා. ඉදිරි ජනාධිපතිවරණයට ඔබතුමා තරග කරන්න ශ‍්‍රී.ල.නි. පක්ෂයේ ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රීවරු, ආසන කළමනාකරුවන් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරණු ලැබීය. මෛත‍්‍රි හිටපු ජනාධිපතිවරයා එයට කිසිවක් කීවේ නැත. බද්දේගම ආසනය සඳහා ඉතා ඉක්මනින් සංවිධායකවරයකු පත්කළයුතු බවට බද්දේගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රි බුද්ධික කොඩිතුවක්කු ඉල්ලීමක් කළේය. මේ අතර විනය පරීක්ෂණ ගැනද ඇතැම් සංවිධායකවරුන් කථා කළේය. ආසනවල තියෙන ගැටළු සුහඳව කථාකරලා විසඳගන්න. එහෙම විසඳගන්න බැරි ඒවා තමයි අපි විනය කමිටුව වෙත ඉදිරිපත් කරන්නේ හිටපු ජනාධිපතිවරයා කීවේය. එක් ආසනයකින් සාමාජිකයින් 1000ක් බඳවා ගැනීමටද මෙහිදී යෝජනා විය.

මෛත‍්‍රි දයාසිරිට දුන් අවවාදය

පක්ෂ සමුළුවෙන් පසු හිටපු ජනාධිපතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් වෙනුවෙන් දිවා ආහාරය ගාල්ල දඩැල්ල ප‍්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක සුදානම් කොට තිබුණි. හිටපු ජනාධිපතිවරයා සමග දයාසිරි, ෂාන්, මහින්ද අමරවීර, තිසරගුණසිංහ හා ගාල්ල දිස්ත‍්‍රික්කයේ ආසන සංවිධායකවරු මේ සඳහා එක්ව සිටියහ. දයාසිරි ජයසේකර ඇමතිවරයා ව්‍යායාම කිරීම සඳහා පාපැදි පැදීම ගැනද මෛත‍්‍රි හිටපු ජනාධිපතිවරයා කථා කළේය. දයාසිරි මම ඔයාට අවවාදයක් හැටියට තමයි මේ කථාව කියන්නේ. ඔයා උදෑසන තනියෙන් බයිසිකල් පදිනවා. ඒක අවදානම් වැඩක් බයිසිකල් පදිනවානම් ආරක්ෂාව තියෙන පිට්ටනියක වගේ තැනක බයිසිකල් පදින්න මෛත‍්‍රි කීවේය. 93 වර්ෂයේ දකුණු පළාතෙන් තමයි 17 වසරක එජාප පාලනය පෙරලන්න පළමු වෙඩිමුරය පත්තු කළේ. වසර 27කට පස්සේ ශ‍්‍රී.ල.නි.පක්ෂය ශක්තිමත් කිරීම අපි දකුණු පළාතෙන් ආරම්භ කළා. අක්මීමන සංවිධායක තිසර කිවේය. ඕව්. ඔව් ඒ කථාව ඇත්ත. ෂාන්ලා ඔයාලා එකතුවෙලා මේ වැඬේ හරියට කරගෙන යනවා. අපිව කවුරුදමා ගියත් අපිට පාඩුවක් නැහැ මෛත‍්‍රී කීවේය. ඇමතිකම්වලින් අයින් වෙන්න. ආණ්ඩුවෙන් ඉවත්වෙන්න අපි ඕනෑම වෙලාවක සුදානම්. මේ අවස්ථාවේ අප කළයුත්තේ පක්ෂය ශක්තිමත් කිරීමයි මහින්ද අමරවීර කීවේය.

කොවිඞ් හා එන්නත්කරණය

ගාල්ල දිස්ත‍්‍රික්කය තුළ මේ වනවිට කොවිඞ් ආසාදිත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇත්තේය. මේ වනවිට දකුණු පළාතේ කොවිඞ් එන්නත්කරණ කටයුතු ඉතා සාර්ථකව සිදුකෙරේ. කොවිඞ් මෙහෙයුම් කමිටුවල නිර්දේශයන්ට අනුකුලව ප‍්‍රජාව සඳහා කොවිඞ් එන්නත් ලබාදෙති. මේ සඳහා සෞඛ්‍ය අංශවලට අවශ්‍ය මග පෙන්වීම හා නායකත්වය දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ විසින් ලබාදෙයි. කොවිඞ් එන්නත්කරණ කටයුතු පිළිබඳ ආණ්ඩුකාරවරයා නිරන්තරයෙන් අධීක්ෂණය කරන්නේය. මෙම වර්ෂයේ ඔක්තෝබර් මාසය අවසානය වන විට දකුණේ ජනතාවගෙන් සියයට 80කට පමණ කොවිඞ් එන්නත් ලබාදී අවසන් කිරීම ආණ්ඩුකාරවරයාගේ ඉලක්කය බවට පත්ව තිබේ. කොවිඞ් වංසගතය සමග දකුණේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවී ඇත. සංචාරක කර්මාන්තයෙන් දිවිගැට ගසාගත් විශාල පිරිසකට මේ වනවිට සිය ආදායම් මාර්ග අහිමිවී තිබේ. සංචාරක හෝටල් ක්ෂේත‍්‍රයේ සියලූදෙනාට කොවිඞ් එන්නත් ලබාදීලා සංචාරක හෝටල් විවෘත කළයුතු වෙනවා. ගස්ලබු ගෙඩිය, තැඹිලිගෙඩිය විකුණන පුද්ගලයාට පවා සිය වෙළෙඳාම් කටයුතු කරගෙන යෑමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළයුතුයි. හෝටල් සේවකයන්ට රැුකියා අවශ්‍යයි. ගොවීන්ගේ කෘෂි අස්වැන්න අලෙවි කිරීමට පහසුකම් ලබාදිය යුතුයි. රටට විදේශ විනිමය අවශ්‍යයි. මේ නිසා දකුණු පළාතේ සංචාරක කර්මාන්තයට අපි මුල්තැන දීලා දකුණු පළාතේ ප‍්‍රජාවගෙන් සියයට 80කට පමණ ඔක්තොබර් මාසය අවසානය වනවිට කොවිඞ් එන්නත් ලබාදීම දකුණ සංචාරක කර්මාන්තය සඳහා විවෘත කළ යුතුවෙනවා යැයි දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේගේ අදහසයි.

ගීතා ෂාන් ගැන කී කථාව

බෙන්තර ප‍්‍රාදේශීය සභාවේ පහළගම්යාය උපකාර්යාලය ඉකුත් සතියේ දි විවෘත විය. මේ සඳහා දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ, ඇමති රමේෂ් පතිරණ, මොහාන් පී ද සිල්වා, ගීතා කුමාරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ගීතා කුමාරසිංහ මන්ත‍්‍රිතුමියගේ උපන්ගමට නුදුරින් මෙකී උත්සවය පැවැත්විණි. මෙකී උත්සවයේ දි ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීතුමියට ලැබී තිබුණේ කුඩම්මාගේ සැලකිල්ලකි. ගීතා මන්ත‍්‍රීතුමියද ඒ බව හොඳින් දැන සිටියාය. උත්සවය ආරම්භයත් සමග පළාත් කොඩිය එසවීම දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් හා ජාතික කොඩිය රමේෂ් පතිරණ ඇමතිවරයා විසින් ද සිදුකරණු ලැබීය. ප‍්‍රදේශීය සභා කොඩිය එසවීම සඳහා ප‍්‍රදේශීය සභාවේ සභාපතිවරයාට නිවේදකයා ආරාධනා කිරීමත් සමග ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීතුමිය එම ස්ථානයට ගොස් පළාත් කොඩිය ඔසවනු ලැබුවාය. මෙකී උපකාර්යාලය ඉදිකිරීම සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන්කොට තිබුණේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී වන අතර එවකට හිටපු මහ ඇමතිවරයා වුයේ ෂාන් විජේලාල් ද සිල්වාය.

එවකට පළාත් පලාන ඇමතිවරයා වූ වජිර අබේවර්ධන මේ සඳහා මුල්ගල් තබා තිබුණි. මෙකී උත්සවයේ ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීතුමියට ද කථාවක් ලැබී තිබුණි. ගීතා මෙහි ඉතිහාසය මතක්කර දුන්නේය. මේ අවස්ථාවේ දී ෂාන් හිටපු මහ ඇමතිතුමා මතක් කළ යුතුයි. එතුමා ලක්ෂ 20ක ප‍්‍රතිපාදන මේ සඳහා වෙන්කර දි තිබුනා. ඒ විතරක් නෙවෙයි ආනන්ද පද්මසිරි හිටපු මන්ත‍්‍රිතුමා ලක්ෂ 02 මුදලක් වෙන්කර දී තිබුනා. ගම නැගුම ව්‍යපෘතිවලට නායකත්වය ලබා දුන්නේ බැසිල් ඇමතිතුමා එතුමාගේ නමත් මේ ඵලකයේ තිබුනා නම් වටිනවා ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීතුමිය කීවාය.

ආණ්ඩුකාරතුමාට ඇතිවු බය

වැටුප් විෂමතාවන් මුල්කරගෙන ගුරු විදුහල්පතිවරුන් විසින් මේ වනවිට රටපුරා විරෝධතා ව්‍යාපාර පත්වාගෙන යති. දකුණු පළාත තුළද ගුරු විදුහල්පතිවරුන් විසින් නගර කේන්ද්‍රකරගෙන සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා විරෝධතාවන් පවත්වාගෙන යති. ඉල්ලිම් හා තම වෘත්තිය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වෘත්තිය අරගල කළයුතුය. පාලකයන්ද මේ සඳහා කඩිනමින් විසඳුම් ලබාදිය යුතුය. ගුරුවරුන් විසින් ආරම්භකොට ඇති විරෝධතා පිළිබඳ දකුණු පළාත් ආණ්ඩුකාරතුමා නම් සිටින්නේ කණස්සල්ලෙනි. දකුණු පළාතේ ගුරුවරුන්ගේ ආපදා දීමනාව රුපියල් ලක්ෂය දක්වා වැඩිකළා. හිඟ ගුරු වැටුප් සඳහා රුපියල් මිලියන 300ක මුදලක් වෙන්කරලා දුන්නා. මේ වර්ෂය අවසානය වනවිට ගුරුහිඟ වැටුප් ගෙවලා අවසන් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. උත්සව අත්තිකාරම් දීමනාව දකුණු පළාතෙන් තමයි මුලින්ම ලබා දුන්නේ. දකුණු පළාතේ ගුරුවරු 30,000ක් විතර ඉන්නවා. සුළු පිරිසක් තමයි විරෝධතාවලට සහභාගිවන්නේ. ගුරුවරුන්ගේ අයිතිවාසිකම් දිනා ගතයුතුයි. ඔවුන්ට වෘත්තිය ප‍්‍රශ්න ඇති. ඒ ගැන ගැටළුවක් නෑ. මා හැමවිටම වෘත්තිය ගැටළු සදහා ප‍්‍රමුඛත්වය ලබා දෙනවා. කොරෝනා වසංගතය නිසා රට පත්ව ඇති මේ අවස්ථාවේ දී වෘත්තිය අරගල කිරිමේ දී මීටවඩා සැලකිලිමත් විය යුතුයි. දකුණු පළාතේ අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ. මට භයක් තියෙනවා දකුණේ අධ්‍යාපනය කඩාවැටේවිද කියා. ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේයන් තම කර්යමණ්ඩලය සමග ගුරුවරුන්ගේ විරෝධතා පිළිබද කථා කළේ ඒ අයුරිනි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment