හිටපු ටෙනිස් ශූරියට එකවර පිළිකා දෙකක්

365

අසූව හා අනූව දශකවල වසර ගණනාවක් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ලෙස නම් දරා සිටි චෙකොස්ලොවේකියානු ජාතික මාටිනා නවරතිලෝවා උගුරේ හා පියයුරු පිළිකාවන්ගෙන් පෙළෙන බව වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ලෝක කාන්තා ටෙනිස් සංවිධානය විසින් නිවේදනය කර තිබේ.

එකවර පිළිකාවන් දෙකකින් පෙළෙන බව තහවුරු වීම දරුණු සෞඛ්‍ය ප්‍රශ්නයක් වුවද එය සුවපත් කරගැනීමේ අවස්ථාවක් තිබෙන බවත් තමා ඒ සඳහා සිය උපරිම ශක්තියෙන් සටන් වදින බව නවරතිලෝවා පවසා ඇති බව කාන්තා ටෙනිස් සංවිධාන වෙබ් අඩවියෙහි පළ කර ඇති නිවේදනයෙහි දැක්වේ. සිය පිළිකාවන් දෙකම මුල් අවස්ථාවේ පසුවන බවද ඇය සඳහන් කර ඇත. නවරතිලෝවා 2010 වසරේද පියයුරු පිළිකාවකින් පෙළීම නිසා ප්‍රතිකාර සඳහා යොමු වී තිබිණි. 66 හැවිරිදි නවරතිලෝවා වසර ගණනක සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන අතර ඇය සිය පිළිකාවන් සඳහා වන ප්‍රතිකාරයන් සඳහා මෙම මාසයේදී යොමු වන බව සඳහන් කර තිබේ. සිය ක්‍රීඩා දිවිය තුළදී කේවල ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 18ක්, යුගළ ශූරතා 31ක්, මිශ්‍ර යුගළ ශූරතා 10ක් වශයෙන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 59ක් දිනාගෙන ඇති නවරතිලෝවා 1994 වසරේදී වයස අවුරුදු 38ක් වන විට කේවල ටෙනිස් තරගවලින් විශ්‍රාම ගිය අතර වයස අවුරුදු 40 වන තෙක් යුගළ ටෙනිස් තරග ක්‍රීඩා කරමින් ශූරතාවන් දිනාගෙන තිබිණි. සිය ක්‍රීඩා දිවිය තුළදී ටෙනිස් ශූරතාවන් 167ක් දිනා ගනිමින් ඇය මෙතෙක් එතරම් විශාල ටෙනිස් ශූරතාවන් සංඛ්‍යාවක් දිනාගත් ලොව එකම ටෙනිස් ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වී තිබේ. ඇය ක්‍රීඩාවෙන් සමුගත් පසුද කාන්තා ටෙනිස් සංවිධානයට සම්බන්ධ වෙමින් ටෙනිස් ක්‍රීඩා පුහුණුකාරිනියක් හා ටෙනිස් තරග නිවේදකයකු ලෙස කටයුතු කරමින් සිටින්නීය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment