හිටපු පාපන්දු සභාපති ජස්වර්ලගේ පෙත්සම් උසාවියේදී නිෂ්ප්‍රභ වෙයි

122

දින 14 ක් ඇතුළත මහා සභා රැස්වීමක් කැඳවීමට එකඟතාවක්

ක්‍රීඩා සංගම්වල නිලවරණ කාලය සහ මහා සභා රැස්වීම් පැවැත්වීමේ අවසන් දිනය දින 45 කින් දීර්ඝ කරමින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයකට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් අභියාචනාධිකරණය ඊයේ (26දා) නිෂ්ප්‍රභ කළේය.

එම පෙත්සම්වල අඩංගු කරුණු සමථයකට පත්වී නඩු කටයුතු අවසන් කිරීමට සියලු පාර්ශ්ව එකඟවීම කෙරෙහි අවධානය යොමු කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

ඊයේ (26දා) දිනයේ සිටි දින 14 ක කාලයක් ඇතුළත අතිරේක මහා සභා රැස්වීමක් කැඳවා මැතිවරණ මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමටත් ඉදිරි දින 69 ඇතුළත පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමටත් එහිදී සියලු පාර්ශ්ව එකඟවූහ.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා පෙනී සිටි අතර පැමිණිලිකාර පාර්ශ්ව වෙනුවෙන් නීතිඥ දිමුතු කුරුප්පුආරච්චි මහත්මියගේ උපදෙස් මත නීතිඥ ධමින්ද විජේරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා පෙනී සිටියේය. පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් සහ හිටපු ලේකම් උපාලි හේවගේ මහතා එම පෙත්සම් ගොනුකර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment