හිටපු ප‍්‍රා. මන්ත‍්‍රී පොලිස් අත්අඩංගුවේදී මියගිය පසු රන්න ඇවිස්සෙයි

176

හෘදයාභාදයකින් වූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ තිබෙනවා – හුංගම ඕ.අයි.සී. කියයි

මත්පැන් අලෙවි කිරීමේ චෝදනාව මත හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකු වූ පේ‍්‍රමතිලක අමරවීර මහතා (62) එම පොලිසිය තුළ පෙරේදා උඳුවප් පොහෝදා මියගොස් තිබේ.

අදාළ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා පොහොය දිනයේ මත්පැන් අලෙවි කළේ යැයි චෝදනාවක් මත හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මොහු තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍රවරයෙකි. එලෙස අත්අඩංගුවට ගත් සැකකාර හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා හුංගම පොලිසියට රැුගෙනවිත් මද වේලාවකට පසු සිරමැදිරිය තුළදී ඇද වැටී තිබේ.

පසුව ඔහුව පොලිසිය විසින් රන්න රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට පැවැසීය.

සැකකාර ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා මිය යෑමත් සමග ඔහුගේ ඥාතීන් ඇතුළු පිරිසක් කොළඹ කතරගම ප‍්‍රධාන මාර්ගය රන්න ප‍්‍රදේශයෙන් අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරෙමින් විරෝධතාවයක නිරත වූහ. මේ හේතුවෙන් වාහන ගමනාගමනයට ද බාධා ඇතිවිය.

මීට අමතරව ඥාතීහු මෙම මරණය සැක සහිත බව පවසමින් රන්න රෝහල් භූමිය තුළද විරෝධය පළ කළහ.

මේ අතර එම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා පොලිසියේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී එක්වරම ඇදවැටෙන දර්ශන පොලිසිය තුළ සවිකර ඇති සීසීටීවී කැමරාවල සටහන්වී තිබෙන බව පොලිසිය කීය.

මේ අතර මියගිය හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරි දිල්හානි අමරසිංහ මහත්මිය විසින් ඊයේ (19 දා* හම්බන්තොට රෝහලේදී සිදුකළ බවත් එහිදී මෙම මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදුවූ හදිසි මරණයක් බවට පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන්ව ඇති බවත් හුංගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කි‍්‍රෂාන්ත මහතා ‘දිවයින’ට පැවැසීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ සෝමචන්ද්‍ර යකන්දාවල

advertistmentadvertistment
advertistmentadvertistment