හිටපු මහා බැංකු අධිපති ආචාර්ය කුමාරස්වාමිගෙන් මැති ඇමැතින්ට කනේ පහරක්, ඡන්ද දායකයන්ට අවවාදයක්!

1732

කැබිනට් මණ්ඩලයේ ප‍්‍රකාශක ලෙස ඩලස් අලහප්පෙරුම හෝ එහි සම ප‍්‍රකාශක ලෙස වෛද්‍ය රමේෂ් පතිරණගෙන් මෙරට මාධ්‍ය දැනගතයුතු කරුණු කාරණා චීන තානාපතිවරයා ප‍්‍රකාශ කිරීම කැබිනට් මණ්ඩලය බැඳී සිටින සාමුහික වගකිමේම කොටසක් විය යුතුය. පසුගියදා කිංග්ස්බරි හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී චීන තානාපතිවරයා පැවසුවේ ශ‍්‍රී ලංකාව 2020 මාර්තු සිට ලබා ගෙන ඇති ඇමෙරිකන් ඩොලර් බිලියන 2.8 ණය සහ අනෙකුත් පහසුකම්වලට අමතරව තවත් ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5 ඉල්ලා ඇති බවයි. ඉන්දියාවෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 1 ක ණයක් ලබා ගැනීමට ගිවිසුම්ගත වීමත් සමගම චීනය ශ‍්‍රී ලංකාවෙන් කළ නව ඉල්ලීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළේය. මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාවේදී (මාර්තු 24) ශ‍්‍රී ලංකා රජය චීනයෙන් තවත් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් අදහස් ප‍්‍රකාශ කර නැත. කියන්න දෙයකුත් නැත.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහා බැංකුවේ 14 වැනි අධිපතිවරයාය. ආචාර්ය කුමාරස්වාමි ජනතාවගේ අවධානයට යොමු වූයේ යහපාලන සමයේ ක‍්‍රියාත්මක කළ මහා බැංකු බැඳුම්කර මංකොල්ලයෙන් පසුව මහා බැංකුවේ නායකත්වයට පත් වීම ලැබූ නිසාය. මහ බැංකු බැඳුම්කර වංචාවන්ට චෝදනාවට ලක්වූ සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන්ගේ සේවා කාලය 2016 ජුලි මාසයේදී අවසන්විය. එවකට ජනාධිපති වූ වර්තමාන පොහොට්ටු පක්ෂය නියෝජනය කරන මෛත‍්‍රිපාල සිරිසේන කුමාරස්වාමි මහතාව එම තනතුරට පත් කළේ අගමැති රනිල් වික‍්‍රමසිංහ තව දුරටත් මහේන්ද්‍රන් මහා බැංකු අධිපතිවරයා ලෙස සිටිය යුතු බවට ප‍්‍රකාශ කළ තත්ත්වයක් යටතේය. සිරිසේන සහ වික‍්‍රමසිංහ අතර විරසකය 2016 ජුලි මාසයේදී කළ පත්වීම නිසා තව දුරටත් වර්ධනය විය. නමුත් ආචාර්ය කුමාරස්වාමි තම රාජකාරිය 2016 ජුලි සහ 2019 දෙසැම්බර් කාලය තුළ නිසි ලෙස ඉටු කළේය.

එතුමා මහා බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූයේ 2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ රටේ නායකත්වයට පත් වීමත් සමඟය. එම තනතුරට පත්වූයේ මහාචාර්ය ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන්ය. මූල්‍ය තත්ත්වය වේගෙන් පිරිහීම සිදුවිය. හිටපු නියෝජ්‍ය මහා බැංකු අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්ලිව්. ඞී. විජේවර්ධන පවසන්නේ රුපියල 2021 අපේ‍්‍රල් මාසයේදී අවප‍්‍රමාණ කළ යුතුව තිබූ බවයි. නමුත් එය එසේ නොවීය. තත්ත්වය මැඩ පැවැත්වීමට හිටපු මහා බැංකු අධිපතිවරයකු වූ එවකට රාජ්‍ය මූල්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී මහ බැංකු අධිපති ධුරයට පත්වන්නේ 2021 සැප්තැම්බර් මාසයේදීය. ඔක්තෝබර් මාසයේදී ආර්ථිකය ගොඩනැංවීමට සය මසක මාර්ග සිතියමක් කබ්රාල් ඉදිරිපත් කළේය. එම යෝජනා අතර රුපියල අවප‍්‍රමාණ කිරීම තිබුණේ නැති බව රහසක් නොවේ. ආර්ථිකය ස්ථාවර කිරීමට යෝජිත සය මසක කාලය සම්පූර්ණ වීමට සති කීපයකට පෙර රුපියල අවප‍්‍රමාණ කිරීමට මහා බැංකුව තීරණය කළේය.

අපේ‍්‍රල් 2021 ගත යුතුව තිබූ එම තීරණය 2022 මාර්තු මාසයේ ගන්නා විට මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 5,500 ක් රුපියල කෘතිමව පවත්වා ගෙන යෑමේ මෙහෙයුමට පූජා කර හමාරය. මහ බැංකුවේ ක‍්‍රියාකලාපය ආචාර්ය විජේවර්ධන පැවසුවේ සරුංගලයේ නූල මහ බැංකුව අතහැර ඇති නිසා එය කොහේ පත් විය හැකි දැයි කිසිවකුට කිය නොහැකි බවයි. ඒ ‘හිරු’ නාලිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය. වසර 40 ක් මහ බැංකුවේ සේවය කර ඇති විශ‍්‍රාමික නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයකුට එසේ පැවසීමට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයක් නොවේද?

නමුත් පොහොට්ටු ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ ඔඩුදුවමින් පවතින ආර්ථිකයේ සැබෑ තත්ත්වය තේරුම් ගෙන තිබේද?

පසුගිය බදාදා ජනාධිපති මන්දිරයේ ආරම්භ වූ ආර්ථිකය ගලවා ගැනීමේ සර්ව පාක්ෂික සමුළුව තවත් ඇස්බැන්දුමක් නොවන්නේද? ශ‍්‍රීලනිපය මාර්තු 8 වන දින කළ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති පොහොට්ටු – ශ‍්‍රීලනිප සාකච්ඡාවේදී කළ යෝජනාව අනුව ක‍්‍රියාත්මක කළ එම ක‍්‍රියාවලිය වර්තමාන ආර්ථික අර්බුදයට කිසිසේත්ම පිළිතුරක් නොවේ. නැවතත් අවධාරණය කළ යුතු වන්නේ එය ඇස්බැන්දුමක් පමණක් බවයි. එම අවස්ථාවට සහාභාගිවූ දේශපාලන පක්ෂ මෙන්ම එම අවස්ථාව ප‍්‍රතික්ෂේප කළ පක්ෂද වර්තමාන අර්බුදයේ සැබෑ තත්ත්වය නොසලකා හැර ඇත.

වර්තමාන අභියෝගයේ දිග පළල පිළිබඳව අබමල් රේණුවක තරම්වත් අවබෝධයක් තිබේ නම් සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවූ කිසිදු දේශපාලන පක්ෂයක් නව අයවැයක් ඉදිරිපත් කිරීමට යෝජනා කරන්නේ නැත. එලෙසෙම එම යෝජනාව සලකා බලන බවට රජයේ පාර්ශ්වය පවසන්නේද නැත. ශ‍්‍රී ලංකාවේ මූල්‍ය අස්ථාවරභාවයට ප‍්‍රධානතම හේතුව අය – වැය ඉදිරිපත් කිරීම තුළින් රජය (කුමන පක්ෂය බලයේ සිටියත්) විසින්ම ඇති කරන තත්ත්වයයි.

එසේ නම් 2021 දී පුපුරා ගියේ දශක ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය තුළ සියලූම ආණ්ඩු ක‍්‍රියාත්මක කළ මූල්‍ය ප‍්‍රතිපත්ති නොවේද? වර්තමාන අර්බුදයට වගකිව යුත්තේ පාර්ලිමේන්තුව නොවේද? පොහොට්ටු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ යෝජනා කර ඇති ආකාරයට ජනාධිපතිවරයාගේ විධායක බලතල කැබිනට් මණ්ඩලයට පැවරීම ඇතුළු ක‍්‍රියාමාර්ග සමූහයක් තුළින් වර්තමාන අර්බුදයට විසඳුම් සෙවිය හැකිද? අර්බුදය නිර්මාණය කර ඇති පාර්ලිමේන්තු ක‍්‍රමය නියෝජනය කරන කිසිවකු පිළිබඳව ජනතාවට විශ්වාසය තැබිය හැකිද?

වර්තමාන අර්බුදයට ප‍්‍රධානතම හේතු සහ එය කළමනාකරණය කරගත යුතු ආකාරය පිළිබඳව මෙම ලියුම්කරු ආචාර්ය කුමාරස්වාමි මහතාගෙන් පසුගියදා කළ විමසීමකදී එතුමා දුන් පිළිතුර සමස්ත රැවටිලිකාර පාර්ලිමේන්තුව හරහා ක‍්‍රියාත්මක පක්ෂ දේශපාලනයට එල්ල කළ ප‍්‍රබල අතුල් පහරකි. ශ‍්‍රී ලංකා මහා බැංකුවේ 14 වැනි අධිපතිවරයා වූ කුමාරස්වාමි අප රටේ ක‍්‍රියාත්මක දේශපාලන පක්ෂවල විනාශකාරී තත්ත්වය ජනතාව ඉදිරියේ තබා ඇත. එතුමා පවසන්නේ ශ‍්‍රී ලංකාව එංගලන්තයෙන් නිදහස ලබාගත් පසුව බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම පාහේ අය – වැය යෝජනා ක‍්‍රියාත්මක කිරීම තුළින් ආර්ථිකය අස්ථාවර කළ බවයි. ඡන්ද ඉලක්ක කරගෙන අති විනාශකාරී ජනප‍්‍රිය දේශපාලන තීන්දු තීරණ ගැනීම සහ බදු මුදල් කිසිදු වගකීමකින් තොරව නොයෙකුත් දේශපාලන ව්‍යපෘති සඳහා වැය කිරීම මූල්‍ය පරිපාලනය අනතුරේ හෙළා ඇති බවට එතුමා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ ආචාර්ය කුමාරස්වාමිගේ ප‍්‍රකාශයට අවධානය කළ යුතු නොවේද? සර්ව පාක්ෂික සමුළුවට වර්තමාන තත්ත්වය සහ දේශපාලන ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය නම් ආචාර්ය කුමාරස්වාමි මහතාගෙන් උපදෙස් පැතිය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට සූදානම් ආණ්ඩුවකට හිටපු මහා බැංකු අධිපතිවරයකුගෙන් උපදෙස් ලබා ගැනීම ප‍්‍රශ්නයක් වන්නේ නැත. කිසිවකුට ප‍්‍රශ්නයක් විය යුතුද නැත.

ආචාර්ය කුමාරස්වාමි පවසන්නේ දශක ගණනාවක් තිස්සේ සියලූම ආණ්ඩු සහනදායී තත්ත්වයන් යටතේ ලබාදුන් විදේශීය ණය සහ මූල්‍ය ප‍්‍රදානවල පිහිටෙන් රටට දරාගත නොහැකි ආකාරයට ජීවත් වූ බවයි. ශ‍්‍රී ලංකාව මැදි අදායම් ලබන රටක් බවට ප‍්‍රකාශ වීමත් සමඟ සහනදායී තත්ත්වයන් යටතේ ලබාදුන් විදේශීය ණය සහ මූල්‍ය ප‍්‍රධාන අහිමි වී ඇත. එලෙසෙම දීර්ඝකාලීන ණය සපයා ගැනීමේ මාර්ග සැලකිය යුතු ලෙස අඩුවී ඇත. එම තත්ත්වය යටතේ ශ‍්‍රී ලංකාව මිල අධික ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ වෙත යොමුවී ඇත. නමුත් මූල්‍ය කළමනාකරණය සහ විනය සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටීම තුළ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ විශ්වාසය දිනා ගැනීම සහ එය තහවුරු කර ගැනීමේ අභියෝගයට ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටියි.

මූල්‍ය වගකීම ව්‍යවස්ථානුකූලව පැවරෙන්නේ පාර්ලිමේන්තුවටයි. දේශපාලනඥයන් මූල්‍ය භූමිය නිසියාකාරව තේරුම් නොගන්නා සහ තම වගකීම් පැහැර හරින තත්ත්වයක් තුළ කිසිසේත් මූල්‍ය විනය පවත්වාගෙන යෑමට නොහැකිය. ආචාර්ය කුමාරස්වාමි අවධාරණය කළේ මූල්‍ය විනය සම්බන්ධයෙන් ජනතා දැනුවත් කිරීමේ වගකීම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ට ඇති බවයි. දේශපාලන පක්ෂ සහ එම පක්ෂ නියෝජිතයන් තම වගකීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඡන්දය දෙන ජනතාව ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවද හිටපු මහ බැංකු අධිපතිවරයා අදහස් පල කළේය. ඔහුගේ ප‍්‍රකාශය ආන්දෝළනාත්මකය. නමුත් වගකිව යුතු තනතුරක් දැරූ කිසිදු ඉහළ නිලධාරියකුගෙන් එවැනි ප‍්‍රකාශයක් මීට පෙර කර නැත.

ආචාර්ය කුමාරස්වාමි පැවසුවේ සර්ව ජන ඡන්ද අයිතිය ඉතාමත් කල්පනාකාරීව සුදුසු පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීමට පාවිච්චි කළ යුතු බවයි. අය -වැය පරතරය වැඩිවන තරමට උද්දමනය වැඩි වන බවත් එම සමස්ත ක‍්‍රියාකාරීත්වය තුළ අවසන් ප‍්‍රතිඵලය රුපියලේ අගය අවප‍්‍රමාණය වන බවත් එතුමා අවධාරණය කර ඇත. තව දුරටත් ජනතාව රැවටීමට අවශ්‍ය නැත. පවුල් පිටින් තම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට දිගු පෝලිම්වල පැය ගණන් රස්තියාදුවෙන ජනතාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ වගකිව යුතුය. වග විය යුතුය. ළඟ එන සිංහල ද්‍රවිඩ අලූත් අවුරුද්දට ජනතාවට සහන දෙන බවට සිල්ලර පොරොන්දු දිය යුතු නැත. පසුගිය මාස කීපය තුළ ආණ්ඩුව ජනතාව නොමරා මැරුවේය. ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දය ප‍්‍රකාශ කළ සැබෑ වෙනසක් බලාපොරොත්තු වූ ඡන්දදායකයන් අද අන්ද මන්ද වී ඇත. ලියුම්කරුටද ඇත්තේ ලැජ්ජාවකි. පාර්ලිමේන්තු ක‍්‍රමය පිළිබඳව තිබූ විශ්වාසය නැති බංගස්ථාන වී ඇත. සමස්ත අර්බුදය ගෝලීය කොවිඞ් ව්‍යසනය සහ රුසියාව යුක්රේනය මත පැටවිය නොහැක.

කවුරු බලයේ සිටියත් ආර්ථික අර්බුදය පුපුරා යෑම අනිවාර්යෙන්ම සිදුවනු ඇත. කොවිඞ් ව්‍යසනය හේතුවෙන් ආර්ථික බෝම්බය අවුරුදු කීපයකට පෙර පුපුරා ගොස් ඇත. ඇත්ත වශයෙන්ම වර්තමාන අවුල රටේ ජනතාව අවදි කර ඇත. තව දුරටත් ආණ්ඩුවට ජනතාව රැවටිය නොහැක. සියලූම දේශපාලන පක්ෂවල සැබෑ මුහුණුවර පැහැදිළිය. පෝලිම්වල දුක් වි`දින ජනතාව මොනයම්ම ඡන්දයකදීවත් ඡන්ද පෝලිමකට එකතුවීමේ අවස්ථාව අඩුය. ජාතික ආරක්ෂාව සපත කළ ආණ්ඩුවක් ආහාර සුරක්ෂිතභාවය අවදානමට ලක් කර ඇත. භූමියේ සැබෑ තත්ත්වය ආණ්ඩුවට දැනෙනවාද? එක්තරා ආකාරයකට දේශපාලන පක්ෂ අද මුහුණ දෙන්නේ එදා ද්‍රවිඩ ත‍්‍රස්තවාදයට නන්දිකඩාල් හි අත්වූ ඉරණමයි.

ආචාර්ය කුමාරස්වාමි ආර්ථික ඝාතකයන් කවුරුන්දැයි පෙන්වා දී ඇත. මූල්‍ය විනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම නිසියාකාරව ඉටු නොකිරීම වර්තමාන විනාශයට හේතුව බව අමුතුවෙන් කිව යුතු නැත. ආචාර්ය කුමාරස්වාමි තමන් සහ තම සමකාලිකයන් අසාර්ථක වූ බවත්, නමුත් රටේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකියාවක් ඇති තරුණ කණ්ඩායමක් රට තුළ ඉතිරිවනු ඇති බවට විශ්වාසය පළ කළේය. ශ‍්‍රී ලංකාව හැර යෑමට අවස්ථාවක් ඇති කිසිවකු තවදුරටත් රට තුළ රැඳී නොසිටින තරමට තත්ත්වය බරපතළය. දේශීය වෙළෙඳපොළ තුළ කහ හිඟයක් ඇතිවූයේ වසරකටත් පෙරය. කහ කිලෝව රුපියල් 7,000 වඩා වැඩි විය. කොවිඞ් සමයේ මත්පැන් අලෙවි කරන ස්ථානවල මිනිස්සු පොරකමින් විෂ වතුර මිලදී ගත් මිනිස්සුන්ට ඞීසල්, පෙට‍්‍රල්, භූමිතෙල්, කිරිපිටි, ගෑස් සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමට පෝලිම්වල ලැගීමට සිදුවන බව කිසිදිනෙක සිතෙන්නට නොමැත.

ආචාර්ය කුමාරස්වාමි කළ ප‍්‍රකාශය මැතිවරණ කොමිසමේ අවධානයට යොමු විය යුතුය. නීතිඥ නිමල් පුංචිහේවාගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක මැතිවරණ කොමිසම වහාම ක‍්‍රියාත්මක විය යුතුය. සර්වජන ඡන්ද අයිතිය ලැබීමේ 90 වැනි සංවත්සරය මැතිවරණ කොමිසම මෙන්ම මාර්තු 12 ව්‍යාපාරය මෑතකදී සමරුවේ මහත් උජාරුවෙනි. නමුත් පෝලිම් යුගය ඡන්දය පාවිච්චි කිරීමේ උනන්දුව සහ අවශ්‍යතාවය බරපතළ ලෙස තර්ජනයට ලක් කරනු ඇත. එජාපය හෝ සමගි ජන බලවේගය මූල්‍ය විනය සම්බන්ධයෙන් අද කරන ප‍්‍රකාශ විමසා බැලිය යුත්තේ 2015 සහ 2016 මහා බැංකු බැඳුම්කර වංචා සම්බන්ධව එදා (2015-2019) එජාප මැති ඇමැතිවරුන් ලෙස එම මහජන නියෝජිතයන් කටයුතු කළ ආකාරය ද අවධානයට ලක් කිරීමෙනි.

ආචාර්ය කුමාරස්වාමි මෙන්ම පසුගියදා හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ (2015-2019) නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් පළ කළ ආන්දෝළනාත්මක අදහස් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂවලට අනතුරු ඇඟවීමක් විය යුතුය. ආර්ථික අර්බුදය ආණ්ඩු පෙරළියකින් සමනය කළ නොහැක. පාර්ලිමේන්තුව තුළ ඔලූ ගෙඩි මාරුවකින් ද කිසිසේත්ම වෙනසක් බලාපොරොත්තු විය නොහැක. මෙම බැ?රුම් අවස්ථාවේදීවත් පක්ෂ දේශපාලනය ඉවතලා පාර්ලිමේන්තුව තුළ එකඟතාවයක් වහාම ඇතිවිය යුතුය. ඒ ක‍්‍රමවේදයේ වෙනසක් ඇති කිරීමට බව අමුතුවෙන් කිව යුතු නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment