හිටපු සභාපති  පාපන්දු ලීගවල තරගත්  ඔහුගේ ගිණුමට ලියාගෙන

219

පාපන්දු හිටපු උප සභාපති රංජිත් රොද්‍රිගු කියයි

 තමා සභාපතිධුරය දරන කාලය තුළදී දේශීය සහ ජාත්‍යන්තර පාපන්දු තරග 837 ක් පැවැත්වූවා යැයි හිටපු පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවත් පාපන්දු ලීගයන් විසින් සංවිධානය කරන ලද පාපන්දු තරග පවා ඔහු තමාගේ තරග ගිණුමට බැර කරගෙන ඇති බවත් හිටපු පාපන්දු උප සභාපති රංජිත් රොද්‍රිගු මහතා ‘දිවයින’ට ඊයේ (03 වැනිදා) පැවසීය.

 කොටින්ම පාපන්දු ලීගවල තරගද ඇතුළත් වුවත් තරග 837ක් එම කාලයේදී පැවැත්වූවා යැයි කීම කිසි ලෙසකින්වත් පිළිගත නොහැකි කාරණයක් බවද ලීගවලද ඔහු කියන තරම් තරග ප්‍රමාණයක් පවත්වා නැති බවද හිටපු උප සභාපති රංජිත් මහතා කීය.

 හිටපු සභාපතිවරයාගේ ධුර කාලය යටතේ පමණක් සංවිධානය කරන ලද සහ කණ්ඩායම සහභාගි වූ තරගාවලි වන්නේ සිව්කොන් තරගාවලිය, චැම්පියන්ස් ලීග් තරගාවලිය, පළාත් තරගාවලිය බවද හිටපු උප සභාපතිවරයා සඳහන් කළේය.

 සුපර් ලීග් තරගාවලියේ යම් තරග ප්‍රමාණයක් ඔහු විසින් සංවිධානය කළ ද ඊට පෙර හිටපු සභාපතිවරයා වූ අනුර ද සිල්වා මහතා සභාපති ධුරය දරන කාලයේ සංවිධානය කළ තරග ද ජස්වර් මහතා තම තරග ගිණුමට අපූරුවට බැර කර ගෙන ඇති බවද හිටපු උප සභාපතිවරයා කීය.

 ඒ කෙසේ වෙතත් රටේ පාපන්දු ලීග 63 විසින් සංවිධානය කරන ලද තරග ඔහුගේ තරග ගිණුමට බැර කර ගැනීම ඉතා අසාධාරණ බවත් පාපන්දු ලීගයක් සඳහා රුපියල් ලක්ෂ 10ක් ලබා දෙන බවට පොරොන්දු දී ඇත්තටම ලබා දුන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලින් පාපන්දු තරගාවලි පැවැත්වීම අපහසු හෙයින් ඔවුන් එම තරගාවලි පවත්වන්නේ තමාගේ මහන්සියෙන් අනුග්‍රහකයන් සොයාගෙන බවද හිටපු උප සභාපතිවරයා සඳහන් කළේය.

 පාපන්දු ලීගයකට ලක්ෂ 10 බැගින් ලබාදෙන බවටද පොරොන්දු වී ඊට අමතරව පාපන්දු ලීගවල ලේකම්ට දීමනාවක්, ලීග සදහා ලැප්ටොප් පරිගණක, කාර්යාල, ඇතැම් ලීගයන්ට ෆුට්සාල් ක්‍රීඩාංගණ, පාපන්දු සහ අනෙකුත් උපකරණ ද ලබා දෙන බව කීවත් ඒ කිසි පොරොන්දුවක් හිටපු සභාපතිවරයා යටතේ ඉටු නොවූ බවත් හිටපු උප සභාපතිවරයා කීය.

 ලීගවලට ලබා දුන් ලක්ෂ දෙකහමාරට අමතරව ඔහු සිදු කළේ විශේෂ මහ සභා  රැස්වීම අළලා ලක්ෂයක මුදලක් ලීගවලට ලබා දීම පමණක් බවත් පාපන්දු ලීගවලට මුදල් විශාල වශයෙන් ලබාදීම ආරම්භ කළේ තමා සභාපති ධුරය දැරූ 2013 සිට 2015 දක්වා කාලයේ දී බවත් රංජිත් රොද්‍රිගු මහතා කීය. ඊට පෙර පාපන්දු ලීගවලට ලබා දුන් රුපියල් 25000 ක මුදල් තමන් දස ගුණයකින් වැඩිකර 250000 දක්වා ඉහළට ගෙනා බවත් රංජිත් මහතා කීය.

 ඩොලරය රුපියල් 100ක අගයක් ගත් එම කාලය්දී තමන් රුපියල් දෙලක්ෂ පනස්දහසක් ලෙස ලබාදුන් මුදල දැන් ඩොලරයේ අගය අනුව පහසුවෙන් දස ලක්ෂයක මුදලක් දක්වා වැඩි කළ හැකි බවත් හිටපු උප සභාපති රොද්‍රිගු මහතා පැවසීය.

 තමා සභාපති ධුරය දැරූ කාලය තුළ චැම්පියන්ස් ලීග් තරගාවලි, ප්‍රධාන තරගාවලි 1,2,3, අන්තර් ලීග් කණිෂ්ට සහ ජ්‍යෙෂ්ඨ තරගාවලි, පාසල් තරගාවලි, වෙරළ පාපන්දු තරගාවලි, කාන්තා තරගාවලි, පාසල් සමපෝෂ සහ පාසල් චොක්ස් තරගාවලි ආදී තවත් තරගාවලි රැසක් සංවිධානය කළ බවද රංජිත් මහතා සඳහන් කළේය.

 පාස්කු ප්‍රහාරයෙන් පසුව සහ කොවිඩ් වසංගතයේ මුල් අවධිය තුළ තරග සංවිධානය කරන්නට නොහැකි වීමෙන් එම කාලය තුළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සතුව රුපියල් ලක්ෂ 4000ක පමණ මුදලක් ජස්වර් මහතා සභාපති වනවිට සම්මේලනය තුළ ඉතිරිව තිබූ බව ද එම මුදල් පාවිච්චි කර පසුව තරග පැවැත්වීමට හැකි වුවත් ඒ දේ හිටපු සභාපතිවරයා යටතේ සිදු නොවීම කනගාටුවට කරුණක් බවත් රංජිත් රොද්‍රිගු මහතා කීය.

 පාපන්දු ලීගයක සහ පාපන්දු ක්‍රීඩා සමාජයක සභාපතිවරයකු ලෙස ලීග සහ ක්‍රීඩා සමාජ මුහුණ දෙන ගැටලු මෙන්ම ක්‍රීඩකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද තමාට හොඳ අවබෝධයක් තිබෙන බව ද විනිශ්චයකරුවන්ගේ ලීගයක නියෝජිතයකු වන හිටපු සභාපතිවරයාට ක්‍රීඩකයන්, ලීග සහ ක්‍රීඩා සමාජ පිළිබඳව අවබෝධයක් නොමැති බවද රංජිත් රොද්‍රිගු මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment