හිටියා ඇති දැන්වත් බැහැල යන්න – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස

194

රට තුළ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබේ. ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරයකුගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පසුගියදා පැවැත් වූ උද්ඝෝෂණය එහි කූටප‍්‍රාප්තිය ලෙස හැඳින්විය හැකිය.මෙම උද්ඝෝෂණ රැල්ල ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳ විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ කළ එම සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මිරිහාන පෞද්ගලික නිවස අභියසට පැමිණි ජනතාව ඔහුට විරෝධය පළ කරමින් පසුගිය (31 වැනිදා) රාත‍්‍රියේ උද්ඝෝෂණයක නිරත වුණා. ඇතිවෙමින් පවතින්නේ වෙනස් තත්ත්වයක් නොවේද,?

පිළිතුර – ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයකුගේ පෞද්ගලික නිවසක් වටලා ජනතාව එලෙස උද්ඝෝෂණයක නිරත වුණේ. මෙය කිසිසේත් නොසලකා හැරිය යුතු තත්ත්වයක් නෙවෙයි. එතැනට වැඩිපුරම එක්ව සිටියේ තරුණයින් සහ කාන්තාවන්. රට තුළ පවතින තත්ත්වය යටතේ මේ සියලූ දෙනාගේ ආර්ථිකය බිඳ වැටී තිබෙන්නේ. එම නිසයි ජනතාව ජනාධිපතිවරයාගේ නිවස වටලෑම දක්වා වූ තැනට පැමිණියේ.

රට තුළ පවතින පීඩාකාරී තත්ත්වයන්ට ජනාධිපතිවරයා, අගමැතිවරයා, මැති ඇමැතිවරුන්ගේ සිට කිසිදු වගකිවයුත්තෙක්ගෙන් මේ වනතෙක් සාධාරණයක් ඉටු කර නැහැ. ඔවුන් ඒ වෙනුවට එක එක හෑලි කියමින් සිටිනවා පමණයි. මැති ඇමැතිවරු කියන කරන දේවලින් ජනතාවගේ කෝපය තව තවත් ඉහළ යනවා. ජනතාව තෙල් පෝලිමේ දවස් ගණන් ගත කරද්දී තෙල් ඇමැති කියන්නේ තෙල් ඇති තරම් තිබෙනවා. වැඩිපුර තෙල් බවුසර් නැවත කැඳවූවා වගේ අදහසක්. ඇත්තටම ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය ආණ්ඩුව කැඳවා ගත් උද්ඝෝෂණයක්. ආණ්ඩුව ඊට ප‍්‍රතිචාර දැක්වූයේ කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර සහ වෙඩි ප‍්‍රහාර එල්ල කරමින්. අද (01 වැනිදා) උදෑසන අපට නොනිල වශයෙන් (මෙම සාකච්ඡාව සිකුරාදා (01 වැනිදා) උදෑසන ලබා ගත් සාකච්ඡාවකි.) ආරංචි වූයේ උද්ඝෝෂකයන්ට ආරක්‍ෂක අංශ වෙඩි තබා ඇති බවත් ඉන් පුද්ගලයන් දෙදෙනකුට තුවාල සිදුව ඇති බවත්ය. මෙහෙම ආණ්ඩුව ප‍්‍රතිචාර දක්වන්නේ නම් ජනතාවගේ ප‍්‍රකෝපයට සීමාවක් නැහැ.

ප‍්‍රශ්නය – ආණ්ඩුව මෙම උද්ඝෝෂණය මීට වඩා සාමකාමීව විසඳා ගන්න තිබුණේ යැයි ඔබ සිතනවාද?

පිළිතුර – ඇත්තටම ආණ්ඩුවට මෙය මීට වඩා සාමකාමීව විසඳා ගන්න තිබුණා. ආණ්ඩුව උත්සාහ ගන්නේ සහ ඉදිරියට ගන්න යන්නේ බලය යොදා මහජන නැඟිටීම් යටපත් කරන්නයි.

ඔබට මතකද ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පසුගියදා සඳහන් කළ කාරණය. හූ කිව්වොත් බලාගන්නම් යැයි ඔහු කිව්වා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කිව්වේ අපිට ගැහුවොත් අපි ගහනවා කියලයි. ජනතාව තුළින් නැගෙන ආතතිය ඔවුන් තේරුම් ගන්නේ එහෙමයි. ඇත්තටම මේ පාලකයන් ජනතාවගේ දුක දන්නේ නැහැ. එවන් පිරිසකගෙන් ජනතාව සාධාරණයක් බලාපොරොත්තු වන්නේ කොහොමද?

ජනාධිපතිවරයාට අපි කියන්නේ ඔබ හිටියා හොඳටම ඇති කියලයි. කරුණාකර අසුන්වලින් බැස යන්නයි ඔවුන්ට අපි කියනවා. හැබැයි අසුන්වලින් බැස රට යන්න එහෙම නැත්නම් පුරවැසිකම් ලබාගෙන සිටින රටට යන්නැයි අපි කියන්නේ නැහැ. අපට ඔබලත් සමඟ බේරා ගන්න ලොකු ගනුදෙනුවක් තිබෙනවා. එය අපගේ පුද්ගලික ගනුදෙනුවක් නෙමෙයි. මෙතරම් කාලයක් හොරා කෑ මහජනතාවගේ ප‍්‍රකෝටි ගණනක් මහ ධනය නැවත රටට ලබා ගත යුතුව තිබෙනවා.

ඒ නිසා ඔබ අසුනින් බැස යථාර්ථයට මුහුණ දීමට බලා සිටින්න. මෙම සාකච්ඡාව කියවන මම ඔබෙන් අසන්නේ ඔබෙන් ඔවුන් නිරපරාදේ ගත් ඒ මහා ධනය නැවත ගත යුතු නැද්ද කියලයි. කරුණාකර තේරුම් ගන්න. ඔවුන් අප සමාජය කොටවා බේද භින්න කර ඔවුන්ගේ සුඛෝපභෝගී පැවැත්ම නිරන්තරයෙන් සලසා ගන්නවා. දැන්වත් වසර 74 ක තට්ටු මාරු සාපලත් පාලනය පරාජය කළ යුතුයි.

ප‍්‍රශ්නය – ජනපති ගේ වටලෑමේ උද්ඝෝෂණයට ජවිපෙ තිරය පිටුපස කාර්යයක් සිදු කර තිබෙනවාද?

පිළිතුර – කෙසේවත් නැත. මෙය පක්‍ෂ හෝ සිවිල් සංවිධාන සංවිධානය කළ සැලසුම් සහගත එකක් නෙමෙයි. එය මුළුමනින්ම ජනතා කෝපය පුපුරා යෑමක්. මෙම උද්ඝෝෂණ තුවක්කුවෙන් උණ්ඩයෙන්, බෝම්බයෙන් ඇඟේ පතේ හයියෙන් මැඬලිය නොහැකියි. කුඩාවට ආරම්භ වූ සාමකාමී උද්ඝෝෂණයන් අවසානයේ නතර වූ තැන කොතැනද?

එම උද්ඝෝෂණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කරවීම සඳහා කැපවී කටයුතු කළ ඡුන්දය භාවිතා කළ ජනතාව සිටියා. රජය දැන් මේ විරෝධතාවන්ට එක එක ලේබල් අලවන්න හදනවා. ජනාධිපති මාධ්‍ය අංශය එය දැක ඇත්තේ කලහකාරී ලෙස හැසිරුණේ අන්තවාදී පිරිසක් ලෙසයි. මහජන පීඩනයට අන්තවාදී ලේබලය ඇලවීම පහසුයි. නමුත් එය ගැටලූවට පිළියමක් නොවන බව ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතුයි. එසේ නොවන්නේ නම් ඉදිරියේදී අත්විය හැකි තත්ත්වය මීට වඩා බරපතළ වේවි.

ප‍්‍රශ්නය: අද (03 වැනිදා) උදෑසන 9.00 ට ළඟම නගරයට එන්න යනුවෙන් දන්වමින් ආණ්ඩුවට එරෙහි ජනතා පෙළගැස්මක් සඳහා නිර්නාමික ආරාධනාවක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් යනවා. ඇත්තටම එය මේ වනකොට සමාජ මාධ්‍ය තුළ වැඩිපුරම සංසරණය වන පෝස්ටුවක් බවට පත්ව තිබෙනවා. මේ නිර්නාමික ආමන්ත‍්‍රණය ජ. වි. පෙ. යැයි ඇතැමුන් කියනවා.

පිළිතුර: එයට ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගයේ කිසිදු සම්බන්ධතාවක් නැහැ. අපි ආණ්ඩුවට එරෙහිව විරෝධතාව දක්වන්න ජනතාවට ඇති අයිතිය ඉහළින්ම පිළිගන්නවා. ජනතාව ආණ්ඩුව සමඟ දැඩි විරෝධයකින් සිටින්නේ. එයයි මේ තැන් තැන්වලින් එළියට පනින්නේ.

නමුත් මෙය විරෝධතා සංවිධානය කරන්නෙක් නොමැතිවීම සැලකිය යුතු තත්ත්වයක්. ජනතාව පාරට කැඳවීමේදී පක්ෂයන් හෝ සංවිධානයක් වගකීම ගන්න අවශ්‍යයි. මොකද එහිදී ඕනෑම සිදුවීමක් සිදුවිය හැකියි.

ආණ්ඩුවට හිතවත් පාර්ශ්වයන් යොදාගෙන එහිදී යම් යම් සිදුවීම් නිර්මාණය කරන්න පුළුවන්. එවැනි කටයුත්තක් සඳහා මෙම ආණ්ඩුව උත්සාහ නොකරනවා කියන්න බැහැ. අපගේ කොළඹ උද්ඝෝෂණයට, ඒවගේම ගම්පහ උද්ඝෝෂණයට ආණ්ඩුවේ හෙන්චයියන් බිත්තර ගැහුවේ ඒ අරමුණින්. ඇත්තටම මේ සියලූ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් තමයි උද්ඝෝෂණයන් සංවිධානය කළ යුතු වන්නේ.

ප‍්‍රශ්නය: සංවිධානයක් නොමැති එම උද්ඝෝෂණය සඳහා ඇතැම් පාර්ශ්ව උප්පැන්න සහතික ලියාගන්න උත්සාහ ගනිමින් ඉන්න බව පෙනෙන්න තිබෙනවා.

පිළිතුර: මේ ඔස්සේ ලකුණු දාගන්න ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන බව පේනවා. සජිත් පේ‍්‍රමදාස, රාජිත වගේ සජබය නියෝජනය කරන අය මේ සඳහා එක්වන මෙන් සෘජුව සඳහන් කරනවා. ඔවුන් මෙය සංවිධානය කළාද අපි දන්නේ නැහැ. සංවිධානයක් නොමැති වගකීමක් නොගන්න උද්ඝෝෂණයන් තුළින් පවතින තත්ත්වය තවත් ව්‍යාකූල විය හැකියි.

ප‍්‍රශ්නය: ඇත්තටම මේ මොහොතේ ජනතාව පාරට බැසිය යුතු තත්ත්වයක්ද රට තුළ පවතින්නේ.

පිළිතුර: පිළිකාවක් තිබෙන මනුෂ්‍යයෙක් බේර ගන්න නම් පිළිකාව නසන්න වෙනවා. පිළිකාව ඉවත් කර ඉන් අනතුරුවයි ප‍්‍රතිකාර කළ හැකි වන්නේ. මේ ආණ්ඩුව හැකි පළමු මොහොතේදිම පලවා හැරිය යුතුයි. ඒ ගැන කිසි දෙගිඩියාවක් නැහැ. මෙම ජන පීඩක ආණ්ඩුව පලවා හැරිය යුතුමයි. අර්බුදයේ නිර්මාපකයන් පලවා නොහැර ප‍්‍රශ්නයට පිළිතුරු සෙවිය නොහැකියි. පාරට බැසීම සාධාරණයි.

ප‍්‍රශ්නය: ජවිපෙ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය පසුගියදා නුගේගොඩ පවත්වපු උද්ඝෝෂණයේදී එහි නායක අනුර කුමාර දිසානායන මහතා සඳහන් කළේ ව්‍යවස්ථා නීති ගැසට් එක මොහතක ලියැවිල්ලකට පමණක් සීමා වන බවයි. මෙය මහජන අරගලයකට සංඥා නිකුත් කිරීමක් නෙවෙයිද?

පිළිතුර: ලෝක දේශපාලන ඉතිහාසය දෙස බලන්න. ආණ්ඩු මාරුවී ඇත්තේ වසර ගණනාවක් එන මැතිවරණවලින් පමණක් නෙමෙයි. ජනතාව ඡුන්දයෙන් පත් කළ ආණ්ඩුවලට එරෙහිව නැගී සිට ඔවුන් පලවා හැරි අවස්ථා තිබෙනවා. එවැනි ජනතා නැඟිටීමක් හමුවේ ව්‍යවස්ථා නීති වලංගු වන්නේ නැහැ. එය ලෝකයේ අත්දැකපු යථාර්ථයක්. එතැන ඡුන්දයක් එනතෙක් බලය පෙරලීම වැනි කාරණා නැහැ. ආණ්ඩුවක් ජනතා අපේක්ෂාවන් ඉටු නොකරනවා නම් රටේ ස්වෛරීත්වය හෑල්ලූ කරනවා නම් ඔවුන් රට විනාශයෙන් විනාශයට ගෙන යනවා නම් එවන් ආණ්ඩුවක් පලවා හැරීමට ජනතාවට ශුද්ධ වූ අයිතියක් තිබෙනවා.

ප‍්‍රශ්නය: ජ. වි. පෙ. ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණයක්ද මේ කරන්න යන්නේ.

පිළිතුර: එවැනි කිසිදු කුමන්ත‍්‍රණයක් ජ. වි. පෙ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය කරන්නේ නැහැ. අපි සියලූ දේ ජනතාව සමඟ කියනවා. අපි කරන සිදුවීම් කරන්නේ එළිපිට. බලය ගන්නා ආකාරය, බලය ගෙන රට කරන ආකාරය ඇතුළු සියලූ කරුණු කාරණා අප ජනතාව සමග මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා. එතැන කුමන්ත‍්‍රණ හැංගි හොරා ගැහැලි කිසිවක් නැහැ. එවැනි දේ තිබුණේ බලය ගත් ආණ්ඩුවලටයි. පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් දෙන්න ආපු අය අද මොකද කරන්නේ. අපි බොරු කරලා බලය ගන්න අය නොවෙයි. අප විවෘතයි. අපට ජනතාවගෙන් විතැන් වූ හැංගි හොරා කටයුතු නැහැ.

ප‍්‍රශ්නය: ආණ්ඩු පාර්ශ්ව විමසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් කර ගේන්නේ සජිත් ද අනුරද කියලා. ඔවුන් එම තනතුරට සුදුසු ද යන්න ඔවුන්ගේ පැනය වෙනවා.

පිළිතුර: මොහොතින් මොහොත සිදුවන විනාශය වැළැක්වීමට ගෝඨාභය රාජපක්ෂ නොව රාජපක්ෂ පවුල ඇතුළු ආණ්ඩුව පලවා හැරිය යුතුයි. ඒ වගේම මේ රට විනාශ කරන්න තීන්දු තීරණ ගත් සියලූ දෙනා කොන්දේසි විරහිතව එළවා දැමිය යුතුයි. ඔවුන්ට දඬුවම් කළ යුතුයි. ඔවුන් පලවා හැරිය පසු රට නිකන් තබන්නේ නැහැ. ඒ අවස්ථාව ඩැහැගන්න මේ අර්බුදයේ අනෙක් නිර්මාණකරුවන් වන සජිත් පේ‍්‍රමදාස ඇතුළු පිරිස උත්සාහ කරනවා නම් ඊට අප ඉඩ තබන්නේ නැහැ. මේ අර්බුදයට පිළියම ඇත්තේ සජිත් හෝ රනිල් ළඟ නොවෙයි. රටට වෙනත් ආණ්ඩුවක් අවශ්‍යයි. ආණ්ඩුවේ මුහුණුවර හා ප‍්‍රතිපත්ති සියල්ල වෙනස් විය යුතුයි. ගෝඨාභය ප‍්‍රමුඛ ආණ්ඩුව පරාජය කර ජවිපෙ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගයේ රජයක් පත් කළ යුතුමයි.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment