හිතන්න දෙයක් නෑ… හිඟන්නෝ වැඩිවෙලා! මහනුවරින් එළියට ආපු රටේම කතාව

552

රටේ ඩොලර් ආදායමට යාචකයන්ගෙන් බාධාවක්
දරුවන් සමඟ සිඟාකෑමට නීතියෙන් වැට
තේ කෝප්පයක් ඉල්ලන්නත් ඇඟේ එල්ලෙනවා…
එන්න එන්න නගරවල යාචකයන් වැඩි වන ලකුණු
දිනෙන් දින මිනිසුන් පාරට වැටෙන කන්න නැති රටක් සිහිකරන යාචක ප්‍රජාවක්

රටේ මිනිසුන්ගේ ඇති නැති පරතරය කෙසේ වෙතත් කන්න ඇති සහ කන්න නැති මිනිස්සු ලෙස වර්ගීකරණය සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. ඊට හොඳම සාක්ෂිය යාචකයන්ගේ වැඩිවීමයි.

නගරයේ යාචකයන්ගේ වැඩි වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණි. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතායි. ඊට ප්‍රධානතම හේතුව වී තිබුණේ නගරයේ සැරිසරන ජනතාවට ඇතිවන අපහසුතා පීඩාවන් මෙන්ම රථවාහන තදබදයට යාචකයන්ගේ වැඩිවීම වක්‍රාකාරව බලපෑමයි. ඔහුගේ විමර්ශනය අනුව, මහනුවර නගරයේ දී යාචකයන් පනස් හත් දෙනකු වාසය කරයි. ඒ අතරින් පනස් පස් දෙනකු ම මහනුවර අවට ප්‍රදේශවල ජීවත්වූ අයයි.

ඔහුගේ එම විමර්ශන වාර්තාවන් සිදුකිරීමෙන් අනතුරුවද මහනුවර නගරයේ නව මුහුණුවරක් ගත් තවත් යාචක පිරිසක් දළදා වීදිය කොටුගොඩැල්ල වීදිය කොළඹ වීදිය සහ රජ වීදිය යන වීදි ආශ්‍රිතව සිඟමන් යදිනු දක්නට ලැබිණි.

ඔවුන් අතරින් බොහෝ දෙනෙක් මහ මග යන මිනිස්සුන්ගෙන් කන්නට යමක් ඉල්ලා සිටියහ.

“තේ කෝප්පයක් අරං දෙන්න….”

“කන්න මොනවා හරි අරන් දෙන්න……”

“ළමයි වේල් දෙකක් කාලා නෑ….”

“අනේ මහත්තයෝ බත් පැකට් එකක් අරන් දෙන්න…..”

ආදී ආයාචනයන් මේ මිනිසුන්ගේ මුවින් පිටවිණි.

එලෙස ඇසෙන්නේ ජනතාවගේ බඩගින්න ය. රටේ ආර්ථික පරිහානියේ ප්‍රතිඵලය. රටේ ජනතාව අතර ඇති අසමතුලිතතාවය ය. මේ සියල්ල හරහා අපට කියන්නේ කන්නට නැතිව ජීවත්වන පිරිසට මහමගට වැටෙන හැටිය. එහෙත් මෙතැන සමාජ ප්‍රශ්නයක් ගොඩනැගෙමින් තිබේ. ඒ ප්‍රධාන නගරයක ප්‍රධාන වීදිවල යාචකයන් වැඩි වශයෙන් ජීවත්වන විට ඇතිවන ගැටලුකාරී තත්වයන්ය.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ විමර්ශන වාර්තාවේ ද කරුණු සඳහන්ව තිබිණි.

හිතන්න දෙයක් නෑ… හිඟන්නෝ වැඩිවෙලා! මහනුවරින් එළියට ආපු රටේම කතාව

රටේ ප්‍රධාන නගරයක් වන මහනුවර ඓතිහාසික වටිනාකමකින් යුත් සංචාරක පුරවරයක් බැවින් එහි අලංකාරත්වය ට සහ පිරිසිදුකමට යාචක පිරිසෙන් වෙන හිරිහැරය. මේ හිරිහැරය රටේ විදේශ විනිමය ඉපයීමට ඍජුව වත් වක්‍රවත් බලපායි.

සෘජුවම බලපාන්නේ යාචක පිරිස් වීදිවල සැරිසරන විදේශිකයන්ගෙන් මුදල් ඉල්ලා පසුපස ඇවිදින විට සහ ඔවුන් අසලට එන විටය. එවන් තත්ත්වයක් යටතේම එම වීදිවල සැරිසරන්න ට විදේශිකයන් අකැමැත්ත පළ කරයි. ඒ හරහා ඇතැම් දේශීය නිෂ්පාදන සහිත වෙළෙඳ සල් ඇති වීදි මග හැර යෑමට විදේශිකයන් පෙළඹේ. මහනුවර නම් දළදා මාළිග පරිශ්‍රය අවට වැඩිවශයෙන් වෙසෙන්නේ විදේශිකයන් සඳහා තොරම්බල් විකුණන වෙළෙඳුන්ය. මල් විකුණන වෙළෙඳුන්ය. ඒ අසල යාචකයන් වැඩි වශයෙන් විසීමේ හේතුවෙන් විදේශිකයන් එම පෙදෙස් මග හැර යෑමට උත්සාහ ගනිති. මේ තත්ත්වය මත තවදුරටත් කබලෙන් ළිපට වැටෙන්නේ සුළු ව්‍යාපාරික ප්‍රජාවය.

මහනුවර නගර සංවර්ධනය සඳහා වසරින් වසර රජයෙන් රජය විවිධ යෝජනා සැලසුම් ඉදිරිපත් කරති. එහි අනුව මේ වන විට ජනතාවට පාර මාරුවීම සඳහා නගරයේ උමං මාර්ග හතරක් ඉදිකර තිබේ. එහි පළමුවැන්න වැව ආසන්නයේ ඉදිකරනු ලැබුවේ මෙයට දශක තුන හතරකට පෙරය. එම උමං මාර්ගය භාවිත කිරීම බොහෝවිට ජනතාව ප්‍රතික්ෂේප කරනු ලබන්නේ උමං මාර්ගය තුළ යාචකයන් ස්ථිර පදිංචිකරුවන් ලෙස පදිංචිව සිටීම නිසාය. දෙවෙනි උමං මාර්ගය ඇත්තේ ඔරලෝසු කණු අසල ය. එය පරණ පේරාදෙණිය පාර අවසන් වන ඔරලෝසු කණුව අසල මාර්ගය මාරුවීම සඳහා සකසා තිබේ. විස්මිත බහුතරයක් වෙසෙන්නේ යාචකයන් සහ සුළු වෙළෙඳුන් ය. තුන්වැන්න ඇත්තේ ඊට ආසන්නයේ දළදා වීදිය ආරම්භයත් මධ්‍යම වෙළෙඳ පොළ දෙසට වන මාර්ගයත් ඔරලෝසු කණුව දෙසට වන මාර්ග දෙකටත් ජනතාවට මාරු වී යෑමට ය. ඊට ප්‍රවිෂ්ඨ වන පඩිපෙළවල් සියල්ල හි මුවදොරයන්හි යාචක පිරිස් වෙසෙයි. ඉකුත් වසරේ ඒ ආසන්නයේ කුඩා දරුවන් තබා සිඟමනේ යෙදෙන පිරිස් විසුවද ඒ පිරිස් ඉවත් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබිණි.

දළදා වීදිය ආරම්භයේ සිට අවසානය තෙක් වන දකුණු පස වීදියේත් වම්පස වීදියේත් තැනින් තැන යාචකයන් ඇවිදිමින් මගී ජනතාවට හිරිහැර වන පරිදි කන්න යමක් ඉල්ලා සිටිමු දක්නා ලැබේ. මේ සියලු තත්ත්වයන් යටතේ ඔවුන් ගේ අපිරිසිදු භාවයත් ආහාරපාන ගැනීම තැන තැන දමා යෑමත් නගරයේ සුන්දරත්වය සහ පිරිසිදු භාවය නැති කිරීමට හේතු වී තිබේ.

තවත් ප්‍රබල පීඩිත කාරණයක් වන්නේ මොවුන් රාත්‍රී කාලයේ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළවල් දෙකෙහි විසීමය.

ඔරලෝසු කණුව අසල මගී නැවතුම් පොළෙහි ඇති බංකු මත නිදා ගන්නා මොවුන්ගෙන් බහුතරයක් එම කොටස් භාවිත කරන්නේ සිය නිවෙස් කොට සලකා ගෙනය. දුර ගමන් සේවා සඳහා වන බෝගම්බර බස් නැවතුම්පළෙහි ද මෙම තත්ත්වය රාත්‍රියේ දක්නට ලැබේ.

මෙම තත්ත්වය මහනුවර නගරයට පමණක් සීමා වූවක් නොවෙයි. දන්නා කාලයක සිට දිවයිනේ සියලුම නගරවල යාචකයෝ සිටිති. ඒ ඒ නගර ආශ්‍රිත ප්‍රධාන බස්නැවතුම්පළවල්හි මොවුන් වෙසෙනු දක්නා ලැබේ.

හිතන්න දෙයක් නෑ… හිඟන්නෝ වැඩිවෙලා! මහනුවරින් එළියට ආපු රටේම කතාව

මෙම තත්ත්වය සමනය කිරීම සහ මොවුන් ඉවත් කිරීම සඳහා ක්‍රියාත්මක වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම ය. ඒ බව සලකමින් මහනුවර නගර සංවර්ධන කමිටුව යාචකයන්ගේ වැඩිවීම පාලනය සඳහා පියවර ගැනීමට සාකච්ඡා කොට ඇත. මහනුවර නගරයේ දියුණු කිරීම සහ සංවර්ධනය කිරීම යටතේ සැලසුම් සකස් කරන්නෙත් තීරණ ගන්නේත් එම කමිටුව විසිනි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරිය නගර සංවර්ධන අධිකාරිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මහනුවර මහ නගර සභාව නියෝජනය කරමින් එහි ප්‍රධානීහුද මෙම කමිටුවට ඇතුළත් වෙති. ඔවුන් සාකච්ඡා කොට ඇත්තේ මහනුවර නගරයේ යාචකයන්ගෙන් බහුතරයක් ඔවුන් පදිංචිව සිටින නිවාස වෙත ගෙනගොස් ඇරලීමටය.

එයින් ද අනතුරුව නැවතත් නගරය වෙත පැමිණියහොත් එම පිරිස රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත භාර දීමට සැලසුම් කොට ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ විමර්ශන වාර්තාව මත මෙම තීරණ සියල්ල ගැනීමට සාකච්ඡා කර ඇත. යාචකයන්ගේ දින චරියාව ඔවුන්ගේ හැසිරීම් ඇසුරු කරන පුද්ගලයෙක් ආදී සියල්ල පිළිබඳ විමර්ශන වාර්තාවේ දක්වා ඇත. ඒ අනුව මෙම පිරිස් සමාජ විරෝධී හෝ දූෂණ වංචා ක්‍රියාවලට සම්බන්ධ නැති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. එපමණක් නොව වෙනත් නගරවල මෙන් ව්‍යාපාරයන් සඳහා යෙදවූ යාචකයෙක් ද මහනුවර නගරයේ නොමැති බව එම විමර්ශනයෙන් හෙළි වී ඇත. එහෙත් දිනෙන් දින මහනුවරට සේන්දු වෙන නව යාචකයන් සම්බන්ධයෙන් ගත යුත්තේ කුමන ක්‍රියාමාර්ගයක් ද යන්න අපැහැදිලිය. මන්ද ඒ ඔස්සේ පැන නගින බහුතරයක් ගැටලු සඳහා තිරසාර විසඳුම් අවශ්‍ය නිසාය. කලක සිට නුවර නගරයේ වෙසෙන යාචකයන් සමග කථා කළෙමි.

හිතන්න දෙයක් නෑ… හිඟන්නෝ වැඩිවෙලා! මහනුවරින් එළියට ආපු රටේම කතාව

ඔහුගේ පදිංචිය කුණ්ඩසාලේ ය.

“මං දැන් නගරයට ඇවිත් අවුරුදු දොළහක් පහළොවක් වෙනවා. මගේ ළමයි මාව ගෙදර තනිකරල දාල පිට පළාතක පදිංචියට ගියා. කොහොම හරි එදා වේල හොයාගන්න මොනවා හරි වැඩක් කරා ඒ අතරේ ඉනිමගකින් වැටිලා ඇවිද ගන්න බැරි වුණා. ඒත් ඒ එක්ක මොකුත් වැඩක් කරගන්න බැරි තැනට පත් වුණා. ඊටත් පස්සෙ තමයි මහමගට වැටුණේ. එදා ඉඳන් අද වනතුරුත් මිනිස්සුන්ටත් අතපානවා. මෙහෙ ඉන්න ගොඩක් දෙනෙක් හුඟක් කල් ඉඳලා හිටපු අය. ඒ අයටත් යන එන මං නෑ. කන්ඩ බොන්ඩ කීයක් හරි හොයා ගන්න එක තමයි හොඳ. මේ කාලේ කවුරු වුණත් හොඳට හිතලා බලලා තමයි කීයක් හරි දෙන්නේ. එහෙම නැතුව කවුරුත් සල්ලි දික් කරන්නේ නෑ. සමහර වෙලාවල්වලට කන්ඩ දෙයකුත් නෑ. ඒ වගේ වෙලාවට කීප දෙනෙක් එකතු වෙලා බත් එකක් අරගෙන බෙදාගෙන කනවා. ඒත් සමහර දෙනෙක් ළමයි මතක් වෙනවා කියලා කන්නේ නෑ. මොකද ඒ ගෙවල්වල කීපදෙනෙක්ම ඉන්නවා ඉස්කෝලෙ යන ළමයි.’ වෙන වැඩක් කරන්න බැරිම තැන තමයි පාරට ඇදල වැටිලා තියෙන්නේ. අපි දිහා මතුපිටින් බලලා තීරණ ගන්න බෑ. මේ’ හිතනවට වඩා හරිම වෙනස් අපේ ජීවිතේ. ….,”

බොහොමයක් දෙනා කියන්නේ එවැනි කතාය. මේ කතා මිනිස්සුන්ගේ බඩගින්න ජීවිතයේ කටුක බව ඇතුළු සියල්ල මතුකර පෙන්වන්නේ ය. දන්නා කාලයක සිට දියුණුවෙමින් පවතින ශ්‍රී ලංකාවේ දුගී දුප්පත්කම තුරන් කරන්නට අදහසක් වත් නැති සේය. මේ යාචක ජීවිත මැදින් අපේ ජීවිත ද ගලා යන්නේ කොයි මොහොතේ කුසගින්නේ පාරට ඇද වැටේ ද යන අවිනිශ්චිත හැඟීම නොවේද?

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment