හිතුමතේ ජීවිතේ හැදුවේ හරිම පරිස්සමෙන්… චිත්‍රපට අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත මනම්පේරි

585

බෙහෙවින් ආන්දෝලනාත්මක කතා තේමාවක් පදනම් කරගනිමින් ගෲප් කපිතාන් ක්‍රිෂාන්ත මනම්පේරි අධ්‍යක්ෂණය කළ “ හිතු මතේ ජීවිතේ ” සිනමා කෘතිය තිරගත වීම ඉකුත් සතියේ සිට ඇරඹිණ. බි්‍රතාන්‍යයේ ආසියානු සිනමා උළෙල, ඩකා සිනමා උළෙල ඇතුළු අන්තර් ජාතික සිනමා උළෙලයන් කිහිපයක් නියෝජනයට වරම් ලද “ හිතු මතේ ජීවිතේ” ක්‍රිෂාන්ත මනම්පේරිගේ කුළුඳුල් සිනමා නිර්මාණයද වෙයි. ස්වකීය පළමු සිනමා නිර්මාණයෙන්ම ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වීමට තරම් සමත්කමක් දැක්වූ මේ නිර්මාණවේදියා හිතුමතේ ජීවිතේ නිර්මාණ පසුබිම ගැන මෙසේ කියන්නේය.

හිතුමතේ ජීවිතේ හැදුවේ හරිම පරිස්සමෙන්...  චිත්‍රපට අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත මනම්පේරි

“හිතුමතේ ජිවිතේ නම පටබැඳි පුද්ගලයාගේ කතාව අපි හැමෝම අහල තිබුණට ඇත්තටම හිතුමතේ ජීවිතේ තිර පිටපත මගේ අතින් ලයැවෙන්නෙ උදේනි සමන්කුමාර මේ චරිතය ගැන ලිව්ව පොත පදනම් කරගෙන. සත්‍ය කතාව තමයි ගත්තේ. එත් මේක සිනමාත්මක නිර්මාණයක් වෙන්න අපි විසින් එකතු කළ දර්ශන “ හිතුමතේ ජීවිතේ ” නිර්මාණය තුළ තියෙනවා. ” සිනමාපටයේ කතාව හා බැඳි පසුබිම ගැන අධ්‍යක්ෂකවරයා කියන්නෙ එවැන්නක්.

ඒත් සෑම දෙනෙක්ම මේ කතාව ගැන අවධානයක් යොමු කරන්නේ “ හිතු මතේ ජීවිතේ” නමැති පච්චය කොටාගන්න හේතු වුණ පුද්ගලයාගේ කතාවමද මේ තියෙන්නෙ කියන එක?

සමාජයේ ආන්දෝලනයට ලක්වුණ ඒ කතාව තමයි. ඒත් එක දෙයක් මම නිවැරදි කළ යුතුයි. අපි දන්නවා මෑතකදී “ හිතු මතේ ජීවිතේ” කියල පච්චයක් කොටාගත්ත පුද්ගලයෙක් දීර්ඝ කාලයක් සිරේ ඉඳල එළියට එනවා. නමුත් සත්‍ය කතාවට බඳුන් වෙන පුද්ගලයා නෙමයි ඒ මැතකදි එළියට ආවේ. මේක අපිත් දැන ගත්තෙ පස්සෙ. ඔහුත් කියන්නෙ ඒ කතාවම තමයි. ඒත් සත්‍ය පුද්ගලයා හිරේදීම මිය යනවා. හිතු මතේ ජීවිතේ කියන පච්චය කොටාගෙන මේ ඇවිත් ඉන්නෙ අනුකරණය කරන්නෙක්.

එය ඔබේ සිනමාපටයට යම් බලපෑමක් ඇති කරාද ?

කිසි සේත් නෑ. මම හිතු මතේ ජීවිතේ තිර පිටපත ලිව්වෙ උදේනි සමන් කුමාරගේ පොත ඇසුරු කරගෙන කිව්වෙ ඒකයි. ඔහුගේ ක්‍රියාව සිනමා පටයට අදාළත්වයක් නෑ.

මේ ඔබේ පළමු සිනමා නිර්මාණය. නිර්මාණය දෙස හැරිල බලද්දි මොකද හිතෙන්නෙ ?

මේ චිත්‍රපටය රූගත කළේ ගොඩක් වෙහෙස මහන්සියෙන්. සමහර දවස් වලට සීන් එකයි දෙකයි රූගත කළේ. ඒ තරම් පරිස්සමට කරපු වැඩක් මේක. මොකද මට චිත්‍රපටයක් කරන උණ පොඩි කාලේ ඉඳල තිබ්බා. නමුත් ඒක ඉෂ්ඨ කරගන්න මට අවුරුදු හතළිහක් පනහක් වෙනකන් බලා ඉන්න සිදුවුණා. ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගියාට පස්සෙ මැලේසියාවේ චිත්‍රපට ඇකඩමියෙන් සිනමාව පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරල ඒ දැනුමත් එක්ක තමයි හිතුමතේ ජිවිතේ නිර්මාණය කරන්නෙ. ඇත්තටම මම බලාපොරොත්තු වුණාට වඩා ප්‍රතිචාර හොඳයි. මේ ගෙවෙන්නේ චිත්‍රපටයේ පළමු සතිය. වාර්තාගත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එය නරඹා තිබෙනවා.

හිතුමතේ ජීවිතේ හැදුවේ හරිම පරිස්සමෙන්...  චිත්‍රපට අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත මනම්පේරි

ඒ සිනමාපටයේ පසුබිම පිළිබඳ ඔහු කියන කතාවය. මහේන්ද්‍ර පෙරේරා, දනෙත් ද සිල්වා, කුමාර තිරිමාදුර, ජයනී සේනානායක, දමිතා අබේරත්න, ජගත් චමිල, ප්‍රියංකර රත්නායක, පාලිත ද සිල්වා වැනි දක්ෂ රංගන ශිල්පීන් එකතුවකගෙන් රිදී තිරයේ දිග හැරෙන හිතුමතේ ජිවිතේ කැමරාවට නගා තිබෙන්නේ නිශාන්ත ප්‍රදීප්ය. සංගීතය අධ්‍යක්ෂණය සාගර විජේසිංහ විසින් සිදුකර ඇත.

● තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment